Spread the News


ආරියතිලක
2024.07.30

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති දූරයේ වැඩ බැලීම අත් හිටවීම නියෝගය දෙන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. මේ භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස  ඒ නියෝගයට බලපෑම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසයකි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය සමස්ථ ලංකාවාසී ජනතාව සතු ය. ශ්‍රේෂ්ඨාධිකරණය පරමාධිපත්‍යයේ අංගයකි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මෙසේ බලපෑම් කිරීම, ඒ පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණයට කරන බලහත්කාරකමකි. සමස්ථ පොදු ජනතාව සතු ශ්‍රේෂ්ඨාධිකරණයට බලහත්කාරකම් කිරීම සාධාරණ නඩු විභාගයකට ඇති ඉඩ අහුරාලීමක් ද වේ.


පොලිස්පතිවරයාට දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය දෙන ලද්දේ පොලිස්පතිවරයා පත් කිරීම  සම්බන්ධ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත යයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ගොනුකළ පෙත්සම් 9 ක් සලකා බැලීමෙනි. පොලිස්පති ධූරය ජනතාව සතු ය. පොලිස්පති ධූරය යම් පුද්ගලයෙක් දරන්නේ  ද ඒ ධූරයේ බලය ජනතාව සතු ය. පොලිස්පති ධූරය තනි පුද්ගලයෙකුගේ බූදලයක් නොවේ.  ඒ ජනතාව සතු හිමි කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 3 සහ 4 ව්‍යවස්ථා ප්‍රකාරව ලත් පරමාධිපත්‍යයයේ බලය ය. පරමාධිපත්‍යය අන්සතු නොකළ යුතු බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම පනවා ඇත. රාජ්‍ය නිළයකින් පරිපාලනමය වශයෙන් යම් අගතියක් කවරකු හට වන්නේ ද ඒ අගතියට ප්‍රතිකර්ම සලසා ගැනීමට ප්‍රතිපාදන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 17 වන සහ 126 වන ව්‍යවස්ථා ප්‍රකාරව මූලික අයිතිවාසිකම් හෝ භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කර ඇති බවට හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ප්‍රතිකර්ම සලසා ගැනීමට හිමි කමක් සෑම පුරවැසියකුට ම හිමි වී ඇත. ඒ හිමි කමට එරෙහි වීමට ගිහි, පැවිදි, ස්ත්‍රී, පුරුෂ කිසිවෙකුට ත් ම හිමිකමක් නැත. එසේ යමෙක් එරෙහි වනවානම් ඒ කියා සිටින්නේ ඒ ඒ පුද්ගලයා සතු පරමාධිපත්‍ය අත් හැරීමට කරන බලපෑමක් ලෙස ය.

සාධාරණ වූ අධිකරණ බලයට  කරන බලපෑම නො තකා හැරිය නො හැක. අයුතු ලෙස අධිකරණයට කරන බලපෑම,සාධාරණ ලෙස පණ රැක ගැනීමට කරන උත්සාහයට කරන අපහාසයකි. අවමානයකි.