Mon. Jul 8th, 2024
Spread the News

පුනරුත්ථාපනය වූ හිටපු කොටියා
දවල් මිගෙල් රෑ දනියෙල් වැඩක!

ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රන් පවුම් 110ක්‌ හා ලක්‍ෂ 9ක්‌ සොරාගෙන

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

කිලිනොච්චිය පොලිස්‌ බල ප්‍රදේශයේ කොල්ලකෑම්වල නිරතවූ කණ්‌ඩායමක සාමාජිකයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට ධර්මපුරම් පොලිසිය 17 වැනිදා සමත් විය.

අදාළ සැකකරුවන් අතර හිටපු කොටි සාමාජිකයෙක්‌ සිටියි. ඔවුන් රාත්‍රි‍  කාලයේ අධිවේගී යතුරුපැදිවලින් පැමිණ නිවෙස්‌වල මුදල් හා රන් භාණ්‌ඩ කොල්ලකෑම්වල නිරත වී තිබේ. ඒ අනුව පොලිසියට ලද පැමිණිලි අනුව කිලිනොච්චි කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී පාලිත ආර්. සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්මපුරම් පොලිසිය සිදු කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් හා ඔවුන් විසින් කොල්ල කන ලද මුදල් හා රන් භාණ්‌ඩ තොගයක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රන් පවුම් 50 ක්‌ සහ මුදලින් රුපියල් ලක්‍ෂ 05 ක්‌ ද ධර්මපුරම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රන් පවුම් 60 ක්‌ හා මුදලින් රුපියල් ලක්‍ෂ 04 ක්‌ සොරාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම කොල්ල කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු මුලින් අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලින් පසු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

මොවුන් සතුව තිබී සොරකම් කරන ලද රන් භාණ්‌ඩ, මුදල්, කඩු තුනක්‌, අංක තහඩු නොමැති අධිවේගී යතුරුපැදියක්‌ ඇතු=ළු යතු==රුපැදි තුනක්‌ පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයා පුනරුත්ථාපනය වී පැමිණ සිවිල් ආරක්‍ෂක බළකායේ සේවය කර ඇති බවයි. ඔහු දිවා කාලයේ සිවිල් ආරක්‍ෂක රැකියාවේ නිරත වන අතර රාත්‍රි කාලයේ මෙසේ නිවාස කොල්ලකෑම්වල නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිsසිය කීවේය.

සැකකරුවන් සොරකම් කරන ලද භාණ්‌ඩ බහුතරය උකස්‌ මධ්‍යස්‌ථාන වෙත ලබාදී ඇති බවත්, මෙම සැකකරුවන් උතුරේ අපරාධ සිදු කරමින් ක්‍රියාත්මක වන කොල්ල කල්ලියකට අයත් ද යන්න පිළිබඳවත් වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි. මෙම පිරිස කිලිනොච්චිය හා භාරතිපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු, කිලිනොච්චිය හා මුලතිව් භාර නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් වැලිකන්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී පාලිත ආර්. සිරිවර්ධන පුනරීන් සහකාර පොලිස්‌ අධිකාරී චන්දන කොඩිතුවක්‌කු කිලිනොච්චිය සහකාර පොලිස්‌ අධිකාරී ආර්. රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ධර්මපුරම් පොලිස්‌ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක එම්. එම්. ඩී. එන්. චතුරංග පොලිස්‌ පරීක්‍ෂක ආරියවංශ උප පොලිස්‌ පරීක්‍ෂක සුදේශ් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර විමර්ශන සිදු කරති.