Fri. Jul 5th, 2024
Spread the News

භියට පත්වූ මිනිසා ගස් ගල් පර්වත සරණ යන බව, වසර 2567 කට ඉහත දී බුදුන් බුදුන් වහන්සේ පවසන විට බුදු දහම කියා දෙයක් ස්ථාපිත වී තිබුණේ නැහැ.

එදා සිට අද දක්වා වූ කාල පරිච්ජේදය තුළ මිනිස් හැසිරීම හැඩගැසුණු ආකාරය සාර්ථකද අසාර්ථකද යන්න විමසා බලනවාට වඩා මේ ලියන මොහොතේ මිනිසා විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් කොයිබටද කියා විමසන පුංචි ආවර්ජනයකි මෙය.

පුදුමයකට මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන අය සතුරන් ලෙස හදුනා ගන්නේ මෙතෙක් රට විනාශ කළ තමන්ව පාගා බොටුව මිරිකාගෙන සිටින දුෂ්ට පාලක පන්තිය නොව ඔවුන් ඒ තත්ත්වයෙන් මුදවා ළීමට උත්සහ කරන දෑහිතකාමී පිරිස් ය.
මා වෙත නිරන්තර ම එල්ල වන, ” කවුද මේකට ආචාර්ය උපාධියක් දුන්නෙ, ඔය මිනිහා හොර ප්‍රොෆෙසර් කෙනෙක්, රට හැරදා ගිය නිවටයෙක් ආදී වශයෙන් නිරන්තරවම එල්ල කරන ගල් මුල් ප්‍රහාර වලට ගල් මුල් වලින් ම ප්‍රතිචාර දක්වනවා වෙනුවට
සමස්ත ක්‍රියාදාමයේ සංෂිප්තයක් ලෙසින්
මෙම සටහන තබමි.

1980 නොවැම්බර් මාසයේදී ජර්මනියේ ප්‍රකාශයට පත් වුණ මාගේ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධනයට පදනම් වන්නේ මිනිස් හැසිරීමට බලපාන මූලික අභිප්‍රේරණ සාධකයයි.

එනම් බිළිඳෙකු ලොවට බිහිවන මොහොතේ සිට මියයන අවස්ථාව දක්වා සෑම මොහොතකම අනාරක්ෂිත භාවයෙන් පෙළෙන නමුදු, බුද්ධිය, දැනුම,ඔරොත්තු දීමේ හැකියාව, අධිෂ්ඨානය හා සාමූහික විඥානය බෙදා ගැනීම තුළින් මිනිසා අනාරක්ෂිත භාවයෙන් මිදෙන අයුරු මා විෂයබද්ධ තත්ත්වයන් යටතේ මනාව පැහැදිලි කර ඇත්තෙමි.

එය තත්කාලීන සමාජ ආර්ථික දේශපාලන හා ආගමික සාධකයන්ට නතුව අඩුවැඩි වෙමින් පවත්නා පුද්ගලවූ මෙන්ම සමාජමය ප්‍රපංචයක්.

ආරම්භයේදී පර්යේෂණ ප්‍රතිඵල අනාරක්ෂිතභාවය හා සබැඳුණු න්‍යායාත්මක නිර්නායකයන් අධ්‍යයනය කිරීමට කැප කළෙමි.

බර්ලින් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ එවකට ප්‍රධානියා වී සිටි මහාචාර්ය Johannes Gordesch මහතා මාහට ඇරයුම් කළේ 1981 ජනවාරි මාසයේ සිට සහකාර මහාචාර්ය ධූරයේ වැඩ භාර ගන්නා ලෙසයි. මාගේ පර්යේෂණ ප්‍රතිඵල (Magna cum Laude ) ගැන ඉතාමත් සතුටට පත් වී සිටි එතුමා බලාපොරොත්තු වූයේ පර්යේෂණවල දෙවන අදියර වන empirical research (ආනුභවික පර්යේෂණ) වෙනුවෙන් මා උනන්දු කිරීමක්.

මාගේ උපන් භූමියට සේවයක් කළ යුතු නිසා එම තනතුරත් ඊට නියමිත Deutsch Mark 6000 ක වැටුපත් කෘතඥ පූර්වක ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන්නේ මගේ දැනුමෙන් දුක් විඳින ජනතාවට සේවයක් ඉටු කිරීමට මගේ තිබුණු බලවත් කැමැත්ත නිසයි.(එය බොඳවූ සිහිනයක් පමණයි).

කෙසේවෙතත් ලංකාවේ සේවය කළ (1981-1987) කාලය තුළදී මාලත් කටුක අද්දැකීම් එක්තරා අන්දමක කළු වළාකුළක රිදී රේඛාවන් බවට පත්වීම වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා.

අනාරක්ෂිත භාවයට පත්වන මිනිසුන්ගේ චර්යා රටාවන් ප්‍රායෝගිකව අධ්‍යනය කළ හැකි
ආනුභවික පර්යේෂණ (empirical research) සඳහා මා හට ලැබුණ ජීවමාන පසුබිම ලංකාවේ ගත කළ කාල පරිච්ඡේද තුළ ඉතා හොඳින් අත්දුටුවා.

1980දී මා විසින් හෙළිකල විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසීන් අනාරක්ෂිත භාවයට පත්වී ඇති හේතු සාධක දෛනික මට්ටමෙන් වර්ධනය වන අයුරු මා මගේ සියැසින්ම දුටුවා.

පොත් දහසක් කියවා ලබන දැනුමට වඩා විෂය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබාගන්නට මහඟු අවස්ථාවක් මා හට ලැබුණත් එය ඛේදවාචකයකින් අවසන් වූයේ පාලකයින්ගේ සිට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් දක්වාවූ සෑම තරාතිරකම කුහකයින්, ඊර්ෂ්‍යාකාරයින්, ඝාතකයින් මා පසු පස ලුහු බැඳි නිසයි.

ශ්‍රී ලංකාවේ වෘතිකයින් බහුතරයක් මාරාන්තික තරඟ කාරිත්වයක පැටළී සිටින පසුබිමකයි මා හට රැකියාව කිරීමට සිදු වුණේ.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ජීවිතයෙන් 1986දී මා සමුගන්නේ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මාධ්‍ය අංශයේ ප්‍රධානියා සහ මහාචාර්යවරයා ලෙසයි.
රටේ පාලකයා මා මරා දැමීමට ගත් තීරණය මෙන්ම නින්දිත උත්සාහය නිසා රට අතහැර යාමට මා හට සිද්ධ වුවත් මිනිස් චර්යාව පිළිබඳ ගැඹුරු අද්දැකීම් රාශියක්ද දායාද කර ගෙනයි මා රටෙන් පිට වූයේ.

මා ලැබූ අත්දැකීම් කොතරම් කටුක වුවත්, රටට ඇති ආදරය නිසාම මාගේ ජර්මන් සහ ස්විස් මිතුරන්ගේ පරිත්‍යාගශීලී හා ආයෝජන උනන්දුව මත රුපියල් කෝටි ගණනක් ලංකාවට ලබා දුන්නද, ඒ වනවිටත් මෝදුවෙමින් පැවතුණ දූෂණ තත්ත්වයන් නිසා එම මුදල් වංචා කරනු ලැබුවා.

මාගේ ආදරණීය මව මිය යන්නට කලින් නිතර කිවු දෙයක් තමයි ” පිහිය රත්තරන් කියා ඇන ගන්න එපා” කියන ඔවදන.

මිනිසුන් වැරදි කිරීම ස්වභාවිකයි. එහෙත් වැරදි කරන උන් ආරක්ෂා කිරීමට දහස් ගණනින් ඉදිරිපත්වීම අයත් වන්නේ මොන සදාචාරයට දැයි මේ මොහොතේ අධ්‍යයනය කරමින් සිටිමි.

මා ඉපදුනේ වැරදි රටකද නැතිනම් වැරදි මොහොතක ද
යන්න අදටත් නොවිසඳුණු පැණයකි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

12.06.2023