Fri. Jul 5th, 2024
Spread the News
රුවන්වැලි මහා සෑය

ස්පසිබා තවෙරිෂ්!

ඔබගේ බුද්ධියට වෙලා තිබෙන්නේ බුද්ධියෙ අඩුවක් නොව අවභාවිතයන්.
සේරිවාණිජ ජාතකයේ මලකෑ රන්තැටිය වගේ වසර ගණනාවක් තිස්සේ පාවිච්චි නොකළ නිසා එහි රන් බව සැඟ වී ඇති සැටියක් පේනවා.

ඔබ වෙහෙස වී ලබාගත් දැනුම ඔබ ළඟ පවතින්නේ සීසීකඩ වී විසිරී බිඳී ගොස් ඇති ආකාරයට.

“මෙතැන චතුරාර්ය සත්‍ය ගැන කතා කරන තැනක් නොවෙයි” කියා ඔබ පවසන්නේ මෙන්න මේ හේතු නිසයි.

නමුත් අපේ ක්‍රිකට් කණ්ඩායම තේරීමේදීත්
ක්‍රීඩාංගනය මැද පපුවේ කුරැසය ගසා තමන් ආරෝපණය කරගත් ආගම ලෝකයාට පෙන්වන ලෙස ක්‍රීඩකයින්ටත් කියාදී,
තමන් විසින් මහණ කරනු ලැබූ කෘතිම චීවරධාරීන් යවන පන්දුවලට ප්‍රේක්ෂකාගාරයේ සිට ම හයේ පාරවල් ගසමින් නාලිකා වල් පැලෙන්න පාස්කු ප්‍රහාරයක් ගැන වසර ගණනාවක් තිස්සේ තොරතෝංචියක් නැතිව උදේ හවස වළිප්පුවෙන් මෙන් දැඟලූ බිෂොප් ලා ගේ හා කාදිනල්ලා ගේ අඳෝනාව ඔබටනෑසු නේද? එසේත් නැතිනම් නෑසුනා සේ නිහඬව සිටියේ ද?

චතුරාර්ය සත්‍යය යනු පාසැල් විෂයධාරා නිර්දේශයක් නොව පැවැත්මේ ලෝක ස්වභාවයයි.

වසර දෙදහස් පන්සීයකට කලින් හෙළ වැසියන් “දුක” “දුක ඇතිවීමට හේතුව” “දුකින් මිදීම” හා දුකින් මිදීමේ මාර්ගය (නිවණ) ගැන ඉගෙන ගත්තේ එදා නොතිබුණු පාසැල් වලින් නොව ගමේ පන්සලෙන්.

පාසැල්ද නැතිව විශ්වවිද්‍යාලද නැතුව විශේෂ ගුරුවරුන්ද නැතුව චතුරාර්ය සත්‍යය පැවැත්මේ පදනම බව හඳුනා ගනු ලැබුවා. උපාධි නැතුව සහතික නැතුව නාගරික සංවර්ධනයේ හා ඉංජිනේරු ශිල්පයේ කෙල පැමිණි පුද්ගලයින් බවට පත්වී සිටියා.

ඒ කිසි කෙනෙක් කිව්වේ නෑ අපි මෙතැනට පැමිණියේ චතුරාර්ය සත්‍යය ගැන දොඩමළු වීම සඳහා නොවෙයි කියා.
දුක කියන්නේ කුමක්ද කියා ඔවුන් විෂයානුබද්ධව හඳුනා ගැනීම නිසා, ඔවුන් හේතුඵලවාදය ක්‍රමවේදයක් ලෙස ගනිමින් ජීවිතය සඵල කරගත්තා.

ඇත්තටම ජීවිතය දුකක් වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම නිසා නොව එයා යථාවාදී ව අවබෝධ නොකර ගැනීම නිසයි.

1972 වසරේදී මා ජර්මනියට මුලින්ම පැමිණි අවස්ථාවේදී ජීවත්වීම සඳහා හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහාත් දරුණු සීතයේ දී පවා බර්ලින් නගරයේ නිවෙස්වලට පත්තර බෙදුවා.
ඒ ගැන ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ගත්කරුවෙකු හා පුවත්පත් කලාවේදී යෙක් 1974දී මා දුක් විඳින ආකාරය ගැන පුවත්පතකට ලියා තිබුණා. ලේඛක කුතුහලය ඔහුව ඒ සඳහා උනන්දු කළා මිස දුක යනු කුමක්ද කියා විග්‍රහ කරන්න ඔහු උත්සාහයක් දැරුවේ නැහැ.මන්ද එය මුදලට අලෙවි කළ නොහැකි නිසා.

එදා මට නොදැනුන දුකක් ඔහුට දැනුණේ අවංකව ද?
නැත්නම් ව්‍යාජ අනුකම්පාවක් නිසාද?

මම ඔබව හඳුනන්නේ නැහැ. ඔබ කවුද කියා මට යම් තරමකින් හෝ අදහසක් එන්නේ ඔබගේ බොළඳ සිතුවිලි තුළින්.

රටක් හදන්න දේශපාලනයට පිවිසෙන්න
බලාපොරොත්තු වෙන අයෙක් චතුරාර්ය සත්‍යයට එරෙහිව අවි අමෝරාගෙන ඉදිරියට ඒමෙන් ඔබ ඔබ තුළ කැකෑරෙන අනාරක්ෂිතභාවය මනාව ප්‍රකට කර තිබෙනවා.

මම පර්යේෂණ කළෙත්, ප්‍රස්තුතයන් ගොඩ නවාගෙන ඒවා පරීක්ෂාවට ලක්කර විද්‍යාත්මක නිගමන වලට එළඹුණේත් දුක ගැන අසා හෝ දොඩ මළුවී නොව එය දෛනික ජීවිතයේ කොටසක් කර ගැනීමෙන්. එය අපේ ජීවිතයයි. එයින් පළා යාමට උත්සාහ කළහොත් නැවත ඇවිත් වැටෙන්නේ එතැනටමයි.

“යා දෙක නොරත රත” කීවා සේ අපට එකට ගමනක් නැත.

-තෙවැනි ඇස-
15.11.2023