Fri. Jul 5th, 2024
Spread the News

පාර්ලිමේන්තු ඝෝෂාව මැද රනිල්ගෙන් මහින්දට ‘භක්‌තියක්‌’

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

සත්‍ය සෙවීමේ දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර අත්දැකීම් ඇති විනිශ්චයකාරවරයකු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස 2014 දී ජපානයෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව තමා හිටපු ජනාධිපතිට ප්‍රශංසා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී විපක්‍ෂය ඝෝෂා කරන්නට වීම නිසා ‘ඇයි ඔබතුමාලා හිටපු ජනාධිපතිට ප්‍රශංසා කරනවාට කැමති නැද්දැයි’ අගමැතිවරයා විමසා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා 2014 වසරේදී ජාත්‍යන්තර අත්දැකීම් ඇති විනිශ්චයකාරවරයකුගේ සේවය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ජපානයෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ද ඒ අනුව මොටෝ නගුචි මහතා නම්කර ඇති බව ද කී අගමැතිවරයා 2014 ඔක්‌තෝබර් මාසයේදී ඒ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට යොමුකළ බව තමන්ට ජපාන අගමැතිවරයා කී බව ද ප්‍රකාශ කළේය.

නගුචි මහතා කාම්බෝජයේ පිහිටුවූ විශේෂ අධිකරණයට සම්බන්ධව කටයුතු කර අත්දැකීම් ලත් අයකු නිසා ඔහුගේ සේවය අඛණ්‌ඩව ලබාගැනීම සුදුසු බව ද ජපාන අගමැතිවරයා අවධාරණය කළ බැව් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීම පිළිබඳ ජපාන අගමැතිවරයා සිය ප්‍රශංසාව පළ කළ බව ද ඒ අනුව සත්‍ය සෙවීමේ දේශීය යාන්ත්‍රණයක්‌ සඳහා ජපානයේ උපරිම සහාය ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කළ බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

තම ජපන් සංචාරයේ ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අගමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.