Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy ADA Derana

වැටත් නියරත් ගොයම් කෑවේ නම්, කුමන කතාද?

අනේ චන්ද්‍රසේන මහත්තයො ඔයා මොනවද මේ කතා කරන්නෙ?

ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු.

ජනතා ඡන්දයෙන් මෙතෙක් බලයට පත්වූ හැම පක්ෂයක්ම පාහේ මිනිස් ඝාතන වලට සම්බන්ධයි.

දේශපාලුවන්ගේ ඉල්ලීම පරිදි පොලිසියේ අඩන්තේට්ටම්වලට මැදිව මිනිසුන් කොපමණ ප්‍රමාණයක් පරලොව ගොස් ඇද්ද?

මාධ්‍යවේදීන් පැහැර ගෙන ගොස් මරා දමන විට පාලනයේ සිටි රජයන් කුමක් කරනු ලැබී ද

ජනතාවගේ බදු සල්ලි වලින් නඩත්තු කරන සන්නද්ධ හමුදාවල් දූෂිත දේශපාලුවන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගැනීම මොන තරම් සාපරාධී ක්‍රියාවක්ද?

සියල්ලටම කලින් ත්‍රස්තවාදය කුමක්ද කියා ප්‍රති නිර්වචනය කර බලන්න.

ආර්ථික වශයෙන් රටක් කඩා වැටෙන්නේ රජයක් දූෂිත වූ විටයි.

ජනතාවගේ පෞද්ගලික දේපළ මෙන්ම රාජ්‍ය දේපළ කොල්ලකෑම, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීම, මත්කුඩු ජාවාරමට සෘජුව සම්බන්ධ වීම, මිනිසුන්ව බෙදා පාලනය කිරීම, ආගම දඩමීමා කරගෙන ජනතාව රැවටීම, රාජ්‍ය ත්‍රස්තවාදය බව පාර්ලිමේන්තුවේ වාසනාව උරගා බලන හැතිකරේ කිසිදිනක පිළිගන්නේ නැත.

තමාටම දඬුවම් කර ගැනීමට රජයක් නීති රීති සම්මත කර ගන්නේ නැත. තමන් විසින් අතීතයේ කරන ලද වැරදි වලට සහ වර්තමානය අනාගෙන තිබෙන ආකාරයට පාර්ලිමේන්තුවේ සිටින හැම දෙනාම දඩුවම් ලැබිය යුතුයි.

ඔය අතර වැදගත් මහත්මයෙක් හෝ මහත්මියක් සිටියේ නම්, වැරැද්ද දුටුවිටම එය පෙන්වා දී
තමන්ගේ පිරිසිඳු නම රැකගෙන තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යන්න තිබුනා.

80 දශකයේ JR නැමති දුෂ්ඨ පාලකයාගේ පාලනයට එරෙහිව හෝමාගම ගාමිණී ජයසූරිය ඇමතිතුමා ඇමතිකමෙන් අස්වී, මන්ත්‍රීකමෙනුත් අස්වී දේශපාලනයට සදාකාලිකවම සමුදුන්නා. ගාමිණී ජයසූරියලා අද බිහි වන්නේ නැත්තේ ඇයි?

රාජ්‍ය ත්‍රස්තවාදය පාර්ලිමේන්තුව තුළ බුද්ධිමත් බව හා දූෂණයෙන් තොර බව අනුමත කරන්නේ නැහැ.

එවැනි අයව “නාඳුනන” වෙඩික් කාරයින්ගේ උන්ඩ වලින් පරලොව යවන ක්‍රමවේදයන්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ නොතිබුණා නොවේ.

සමහර අය විනාශ කරනු ලැබුවේ උතුරේ ත්‍රස්තවාදයේ බ්ළට දමා.

කුමන තරාතිරමේ ත්‍රස්තවාදයක් වුවත් පවතින රජයන්ට වෙස්වලාගත් ආශිර්වාදයක්.

පෙළපාලි උද්ඝෝෂණ විරෝධතා, කැරලි ගැසීම් ඊනියා විප්ලවිය නැගීසිටීම් ආදී එකී නොකී ක්‍රියාදාමයන් පිටුපස බොහෝ විට සිටින්නේ බලයේ සිටින දේශපාලන කණ්ඩායම්.

බොහෝ වෘත්තිය සමිති නායකයින්ට මේ පිළිබඳ ඉවක් නැහැ. ආණ්ඩුවේ ලණු ගිලමින්
සේවකයන් පාරට ඇද දමා “කොරපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ” කියමන සනාථ කරමින් බොහොමයක් උද්ඝෝෂණ හුළං අරින ලද බැලුම් මෙන් නිහඬ වෙනවා.

මේ හැම දෙයකින්ම වාසි ලබා ගන්නේ බලයේ සිටින කණ්ඩායම මෙන්ම විරුද්ධ පක්ෂයේද සිටින අවස්ථාවාදීන්.

අවසාන විග්‍රහයේදී විරෝධතා කරුවන්ද දැන හෝ නොදැන කඩේ ගොස් තිබෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයටමයි.

– එඩ්වර්ඩ් –
06.04.2023