Fri. Jul 5th, 2024
Spread the News

ජනාධිපති මාධ්‍ය අංශය කියයි

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය යැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (29දා) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර තිබෙන බවත් එම අංශය කියා සිටී. පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පළාත් සභා තුළ ද දිස්ත්‍රික් සංවර්ධන කමිටු :(DDC) පිහිටුවීමට සූදානම් බව යන්න ද මාධ්‍ය අංශය කියා සිටී.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් එම අංශය කියා සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන්නේ ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා පළාත් පාලන ආයතන අතර නිවැරැදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමට අවස්ථාව හිමිවන බවත්ය. මෙමගින් මූල්‍ය හානි හා ප්‍රමාදයන් ද වළක්වා ගැනීමට අවස්ථාවන් හිමිවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන් බවත් එම අංශය වැඩිදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා

Divaina