Fri. Jul 5th, 2024
Spread the News

ආරියතිලක
2023.02.11

picture Courtesy BBC


පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදැයි එක්තරා මාධ්‍යයක පළ වී තිබිණි.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව විවිධ මත පුද්ගලයන් විසින් පල කර ඇත. ඇතමෙක් මේ පලාත් පාලන ඡන්දයට කැමති වෙත්. ඇතමෙක් කැමති නො වෙත්. අකමැති පිරිස ද විවිධ හේතු දක්වත්.

මේ රටේ පාලන ව්‍යූහය සකස් වී තිබෙන්නේ සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මත ය. කිසිවෙකුට ත් ම තම අත්තනෝමතියට රටේ පාලනය හැසිරවිය නො හැක. රටේ ආර්ථිකය විනාශය කරා ගෙන ගියේ, පාලනය හෙබවූ පිරිසගේ වරදිනි. සියලු පාලන බලයේ වගකීම ව්‍යවස්ථාදායකය සතු ය. ව්‍යවස්ථාදායකයේ සියලු බලය ජනතා පරමාධිපත්‍යයයේ බලය සතු ය.

මහා භානඩාගාරයේ මුදල් නැත කියා මැතිවරණ කල් දැමීම යනු ජනතා පරමාධිපත්‍යයයේ බලය උල්ලංඝනය කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී ජන්තා පාලන බලය අයලේ යැවීමකි.
රටක ප්‍රජාතන්ත්‍රවාදය අයලේ යනවා යනු හිතුමතයට, දැනට බලයේ සිටින පිරිසගේ අත්තනෝමතිය ක්‍රියාවේ යෙදවීක් වේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කිරීමකි.


ඒ තුලින් පැන නගින සමාජ නො සන්හිදියාව අතිශයින් ම විනාශකාරී වීමට පුළුවන. 1982 ජනමත විචාරණයක් ප්‍රකාශ පත් කොට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට තිබූ අවස්ථාව නැති විය. 1977 මහ මැතිවරණයෙන් පසු, 1978 සිට ඡන්ද අයිතිය ලත් පුරවැසියන්ගේ සිට 1989 වන තෙක් පාර්ලිමේන්තු නියෝජනයට තම මතය ප්‍රකාශ කිරීමට නො හැකි විය. එහි ප්‍රතිපල එවකට දකුණට පමණක් නොව උතුරට ද බල නො පෑවේ යැ’යි නො කිව හැකි ය. එවකට දකුණේ ඇතිවු දේශපාලන නො සංහිදියාවට එය සෘජුව හේතු වූ බව දේශපාලන විචාරකයන්ගේ මතය විය.


උතුරේ එවකට දේශපාලන බලය හෙබ වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමස්ථ පාර්ලිමේන්තු ආසන 168 න් 18 ක ලබාගෙන දෙවැනි තැනට පත විය. එක්සත් ජාතික පක්ෂය ආසන 140 ක් ලබා ගෙන හයෙන් පහක බලයෙන් බලයට පත් විය. උතුරේ ආයුධ සංනද්ධ වූ හා නො වූ සියලු ද්‍රවිඩ ජනතාවට ද විශේෂයෙන් 1978 සිට ඡන්ද බලය හිමි වූ ද්‍රවිඩ තරුණ ප්‍රජාවට ද 1989 මහ මැතිවරණය තෙක් පාර්ලිමේන්තු නියෝජිතයින් පත් කර ගැනීමේ අවස්ථාව අහිමි විය. ආසන 18 ක් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ඒ .අමිර්තලිංගම් විපක්ෂ නායක වරයා ඇතුලු ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද්‍රවිඩ සංනද්ධ තරුණයන්ගේ අදහස් සමඟ සමගාමී නො වූහ. පසු කාලයේ යම් නැමීමක් ඇති වුවත් මුල් යුගයේ බලවත් ලෙස තරුණ ද්‍රවිඩ කණ්ඩායම් වලට විරෝධීව සිටියහ. අවසානයේ එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත් ලෙස විරසක විය. එල්.ටී.ටී.ඊ ය විසින් අමිර්තලිංගම් මහතා ඝාතනය කරන ලදී.
මෙම තත්වය අනුව උතුරේ තරුණ ජනමතය ප්‍රකාශයට සහ ඔවුන්ගේ නිදහස් අදහස් පරිදි පාර්ලිමේන්තු නියෝජනයට අවස්ථාවක් නො ලැබිණි. ඔවුන් කෙරෙහි දකුණේ දේශපාලනය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමකට සහ උතුරේ නැගනහිර සංනද්ධ ක්‍රියා කාරකම් තුලින් ඊලාම් පාලනයක් ඇති කර ගැනීමට උත්සාහවත් වීමට මෙය ද හේතු නො වුනායැ’යි නො කිය හැකි ය.


පුර වැසියන්ට පාලනය පිළිබඳව නීතියානුකූලව විරෝධයට සහ අනුමැතියට ඉඩක් තිබිය යුතු ය. එයට අවශ්‍ය මානසික බලාපොරුත්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කර ඇති මඟට විරුද්ධව ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිදුවනුයේ, පුරවැසියන්ට, විශේෂයෙන් තරුණ ප්‍රජාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව සහ පවතින පාලන ක්‍රමය කෙරෙහි ඉච්ඡා භංගත්වයට පත් වීම ය.

මෙය රටේ සුභ සිද්ධියට හේතු නො වනවා ඇත. ඉච්ඡා භංග වූ ජනතාවකගෙන් යහපත් සිතවිලි බලාපොරොත්තු නො විය හැක.
රටේ සියලු ම ස්ථරයන්ට මෙය අයහපත පිණිස බලපානවා ඇත.


ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටක ඡන්දයක් තියා ගැනීමට තරම්වත් වත්කමක් නැති හිඟන තැනකට රට පත් වී ඇත් නම් මේ රට අතිශයින් බංකොළොත් භාවයට පත් වීමක් නො වේද? මෙහෙවු රටක ආනාගතයේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සාධාරණ සමාජයක් බලාපොරොත්තු විය හැකි ද? අවසානයේ අත්තනෝමතික බල ව්‍යූහයක් ඇති පිරිසකගේ ජුන්ටාවක් විසින් පාලනය මෙහෙයවීමට මානසික පෙරහුරුවක් නොවේනම් පුදුමය කි.

මෙය කිසිසේත් ම රටට හොදක් නො වන, වැරදි පූර්වාදර්ශයකි.
සල්ලි සොයා ගත් දිනක ඡන්ද තැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලයට ද පුරවැසියන්ගේ සිතීමේ සහ හෘදය ශාක්ෂියේ නිදහස භුක්ති විදීමට ඇති අයිතිය අහුරාලීමක් බව ද කිව යුතු ය.

දේශපාලනික වශයෙන් අස්ථාවර රටකට විදේශ අයෝජකයෝ පැමිණීම ද සිදු නො වෙත්. සිටින ආයෝජකයන් ද රට හැර යනු ඇත. ඡන්දයක් තබා ගැනීමට බැරි රටක, කෙසේ නම් තම රටේ අභිමානය සුරැකේ ද?

රටක විවිධ දේශපාලන අදහස් දරණ පුද්ගලයින් සිටිය හැක. පරමාධිපත්‍ය බලය පිළිඳව විවිධ අදහස් තිබීමට ඉඩක් නැත. පරමාධිපත්‍යයයේ බලය විශ්ව සාධාරණ ධර්මතාවයක් බැවින් බෙදීම් තිබිය නො හැක. පටු දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා පරමාධිපත්‍යයයේ බලය නො සලකා හැරීමට කිසිවෙකුට ත් ම ඉඩ නො තැබිය යුතු ය.