Wed. Jul 3rd, 2024
20240524 094537
Spread the News

නීතීඥ වෘත්තීය අත්හිටවූ ජයතුංග මහතාගේ වෘත්තීය අයිතිවාසිකම් රැකීමේ යුතුකම යටපත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ‘ජයිකා’ කෝටි 2 බෙදා ගැනීම තිරගත කරන්නේද?

දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව, 140වන ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1. අ. වගන්තිය, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, සාධාරණ නඩු විභාගයක අයිතිය ඇතුලු නීති ප්‍රතිපාදන අනුගමනය කරමින් නීතීඥ  එස්.පී. ජයතුංග මහතා විනිසුරුවරුන් ඇතුලු නීතියේ පාලනයට සම්බන්ධ ඉහළ මට්ටමේ කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණ වල නඩු පවරා තිබුණි.

එවන් තත්ත්වයකදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන් පැවරූ අභියාචනා අවසර ඉල්ලීමේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥ  එස්.පී. ජයතුංග මහතාව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවීම 2024 මාර්තු 20 දින සිදුකර ඇත.

නීතීඥවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ දූෂණ විරෝධය සඳහා විදෙස් සංවිධානවල ආධාර ලබා ගන්නා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට තමන්ගේ සාමාජිකයෙකුවන නීතීඥ වෘත්තීය අත්හිටුවා ඇති  එස්.පී. ජයතුංග මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කරන කාරණා සම්බන්ධයෙන් විමසා බැලීමට ජාතීන් අතර සමානත්මතාවය නියෝජනය වන ආකාරයට ජනාධිපති නීතීඥවරුන් 5කට වැඩි ප්‍රමාණයකගෙන් සමන්විත නීතීඥ කමිටුවක් පත්කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකමක් නැතැයි කිව නොහැකිය.

2024 මාර්තු 20 දින නීතීඥ වෘත්තීය අත්හිටවූ සහ දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එස්.පී. ජයතුංග මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මැදිහත්වීමක් වනවා වෙනුවට පසුගිය සති දෙකක පමණ සිට ජපානයේ ‘ජයිකා’ ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දුන් කෝටි 2ක මුදලෙන් කොටසක් එහි සභපති ජනාධිපති නීතීඥ  කෞෂල්‍ය නවරත්න,  සභාපති ධූරයට තරග වැදීමට නියමිත ජනාධිපති නීතීඥ  නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතීඥ  ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතීඥ  නුවන් ද අල්විස් සහ නීතීඥ රශ්මි ඉන්දතිස්ස විසින් විනිවිද රහිතව ලබා ගත් බවට වන සාකච්ඡාවක් ඇති වී තිබෙන අතර පුවත්පත්වලද පළ වෙමින් ප්‍රසිද්ධියට පත් වී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද පත්කර ඇත.

“ජයිකා” ආයතනය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දුන් මුදල්, ලබා ගත්  කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දී ඇති බවත් එකී මුදල් නැවත ලබා දීමෙන් එකී 5 දෙනා වෙත ඇති එහි වගකීම අවසන් විය හැකි බවත්, අවසානයේ මෙය තවත් එක් කාලය කා දමන නීති ඇස්බැන්දුමකින් අවසන් වනු ඇති බවට සමාජ අදහසක්ද ගොඩ නැගෙමින් ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙවැනි ප්‍රායෝගික නොවන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව සිය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පූර්ව නිලධාරීන් අනුගමනය කළ මාර්ගයේ නැවත යාම  ආරම්භ කිරීම සුදුසු බවටද විද්වතුන් අතර අදහසක් ඇත.

අධිකරණය විසින් දඬුවම් නියම කර තිබූ නීතීඥවරයෙකුගේ දඬුවම නැවත සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දැක්වීමට පෙර පැවති නීතීඥ සංගම් ප්‍රධානීන් පියවර ගෙන තිබුණි.

එවැනි තත්ත්වයක් තුළ නීතීඥ වෘත්තීය අත්හිටුවා ඇති තවමත් වරදකරුවෙකු වී නැති, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමි තමන්ගේ සාමාජිකයා වන එස්.පී. ජයතුංග පිළිබඳ විමසා බැලීම, සිය යුතුකම ඉටුකිරීම, ඔහුගේ ජීවන තත්ත්වය පිළිබඳ සළකා බැලීම, ඔහු ඉදිරිපත් කරන වෘත්තීය කාරණා විමසා බැලීම සාධාරණ යුක්ති සහගත තත්වයකි.

නොඑසේනම් නීතීඥ වෘත්තීය අත්හිටවූ ජයතුංග මහතාගේ වෘත්තීය අයිතිවාසිකම් රැකීමේ යුතුකම වෙනුවට එය යටපත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ “ජයිකා” කෝටි 2 බෙදා ගැනීම තිරගත කරන්නේද යන ප්‍රශ්නයේ පිළිතුර තවත් සංකීර්ණ කරන අතර නීතීඥ වෘත්තියේ භූමිකාවටද, ස්වාධීනත්වයටද අහිතකර වෙයි. අවසානයේ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයටද, දූෂණ විරෝධී පටිපාටියටද ගුණදායක නොවන තැනට පත් වෙයි. එය නීතියේ පාලනයේ සෞඛ්‍යටද හිතකර නැත.

http://neethiyalk.blogspot.com/2024/05/2_23.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394 (2024.05.22)