Sat. Aug 24th, 2024
Spread the News

ආරියතිලක
2024.07.14

නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බවත් හිමියෝ කියා සිටිති.නිත්‍යානුකූල මත්පැන් වල මිල අඩු කළහොත් කසිප්පු ජාවාරම නතර කළ හැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියො කියා සිටිති යි මාධ්‍ය වාර්තා කර ඇත.

වල් බල්ලාගේ බලු වසුරු සහ ඇල්ශේෂන් බල්ලාගේ බලු වසුරු යන දෙකම බලු වසුරු ය. කිසි වෙනසක් නැත; නිත්‍යානුකූල මද්‍යසාර සහ නීත්‍යානුකූල නො වන මද්‍යසාර යන සියලු මද්‍ය සම්බුද්ධ ශාසන විරෝධීය. කියන ලද කුමන හෝ මද්‍ය පානය කිරීම නිසා රහ මෙර පානය කිරිමෙන් වැළකීමේ සික පදය බිදී යයි. මේ උන්නාන්සේගේ කියන්නේ නීත්‍යානුකූල අරක්කු මිළ අඩු කිරීමෙන් එම නීත්‍යානුකූල අරක්කු පානය කිරීමට ජනතාව පෙළබීම හේතුවෙන් හොර අරක්කු ජාවාරම අඩු වන බව ය. මෙහෙමත් කරුණාවක මහත!

තථාගත බුදුරජුන් විසින් පඤ්ච වණිජ්ජා සූත්‍රයේ නො කළ යුතු වෙළදාම් පසෙන් එකක් ලෙස මද්‍ය වෙළදාම වදාරා ඇත; මද්‍ය වෙළදාමෙන් ලබන බදු මුදල් ද අධාර්මික ය. එය රටක සංවර්ධනයට හේතු වන්නේ නැත. රටේ ජනතාව දුසිල් බවට ඇද දැමීම නො කළ යුතු ය. රට වැසියා දුසිල් බැවින් මුදා ගැනීමට කළ හැකි, කළ යුතු සියලු කාර්ය කර්තව්‍යයන් රජය විසින් කළ යුතු ය අප එසේ කියන්නේ සම්බුද්ධ ශාසනය සුරකින බවට රජය බැදී ඇත. සම්බුද්ධ ශාසනයෙහි මුල නම් සියලු පව් නො කිරීම ය. එසේ නම් පව් කිරීමෙන් රට වැසියා මුදා ගැනීම රජයේ සම්බුද්ධ ශාසන වග කීම ය. එසේ නැතිව සම්බුද්ධ ශාසනය රකිනවාය කියන වගන්ති කියමින් බෞද්ධ කුල පදනම සහ භික්ෂු විනයට අනුග්‍රහය නො දක්වා බෞද්ධ සිද්ධස්ථානවල භූමිය සහ ගොඩනැගිලි රැකිම, ආගමික උත්සව නාමයෙන් සැණකෙළි පැවැත් වීම, සහ පැරහැර පැවැත් වීම ආදිය කිරීමෙන් පමණක් සම්බුද්ධ ශාසනය රැකීම වන්නේ නැත. සම්බුද්ධ ශාසනය සුරැකීමේ ආරම්භය පව් නො කිරීම ය. ඒ සඳහා රජයේ වගකීම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කිරීම රජයේ වගකීම ය. ධර්මය පටහැනි හීන ප්‍රකාශ සකල බෞද්ධ ජනතාව විසින් ඉවත දැමිය යුතු ය. රාජ්‍යකාරකාදීන් විසින් බුදු රදුන් විසින් වදාරන ලද කූටදන්ත සූත්‍රය අධ්‍යනය කිරීම යහපත් රාජ්‍ය පාලනයකට මඟ සැළසෙනවා ඇත.

අප විසින් ලියන ලද ඉහත අදහස මාධ්‍යයෙහි පළ වීමෙන් පසු එයට ප්‍රති අදහසක් ලෙස පුද්ගලයෙකු විසින් පහත දක්වන ලද අදහසට අප විසින් ලියන ලද පිළිතුර

ඔහුගේ අදහස:-

“කසිප්පු වෙළඳාම නිසා රජයට අය බදු නොලැබී යනව. කසිප්පු නිෂ්පාදනය පිරිසිදුව අනුමත තත්වයන් යටතේ සිදු නොකරණ නිසා කසිප්පු පානයෙන් මිනිසුන් රෝගී වීමට ඉඩ තිබෙනවා සාමාන්‍යයෙන් ඇල්කොහොල් විෂ වීමෙන් සිදුවන රෝගී තත්වයන්ට අමතරව. කසිප්පු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙළඳාම සම්පූර්ණ නීති විරෝධී ජාවාරම් කරුවන් විසින් කරණ දෙයක්. ඒ මඟිනුත් රජයට අය බදු නොලැබීම, පාර්ශව අතර ගැටුම් ඇතිවීම, වැනි දේ සිදු වෙනවා. අවසාන වශයෙන් බීමට ඇබ්බැහි වුණ පුද්ගලයන් ඉන් මුදවා ගැනීමට, තවත් පුද්ගලයන් බීමට ඇබ්බැහි වීම වැලැක්වීමට, සහ පමණට බොණ හැටි කියා දීමට කටයුතු කල යුතු නමුත්, එම කටයුතු වලින් සමස්ථ සමාජයක්ම මධ්‍යසාර පාණය කිරීමෙන් වැලකෙන්නේ නෑ. මධ්‍යසාර සඳහා වෙළඳපළ ලොව මනුෂ්‍ය ප්‍රජාව පවතිනතුරුම පවතින වෙළඳපලක්. ඒ නිසා එම වෙළඳපළ නියාමණය කිරීම වඩාත් නිවැරදියි. පුද්ගලයෙක් භික්ෂුවක් වීම නිසාවෙන් ලේඛණගත බුද්ධ ධර්මයට පමණක් සීමා විය යුතු නෑ, කාලීන මාතෘකා පිළිඹඳව නිසි අදහසක් දැක්වීම ගැටලුවක් නෙවේ.

අපගේ පිළිතුර

ආරියතිලක
2024.07.15

තථාගත සම්බුදු රදුන් විසින් මංගල සූත්‍රයේ මංගල කරුණු තිස් අටක් (38) ක් දේශනා කරන ලදී. ඒ මංගල කාරණා අටතිසෙහි එක් මංගල කරුණක් වන්නේ
“මජ‍්ජපානා ච සඤ‍්ඤමො” යනුවෙන් මද්‍ය පානයෙන් වැලකීම ය. මඟුල් සුතුරෙහි එය වදාරා ඇත්තේ මෙසේ ය.

“ආරති විරති පාපා-
මජ‍්ජපානා ච සඤ‍්ඤමො
අප‍්පමාදො ච ධම‍්මෙසූ-
එතං මඞ‍්ගලමුත‍්තමං.”

මෙහි සිංහල තේරුම නම්:-
මානසික අකුශලයෙන් වැළැක්ම ද, කායික වාචසික අකුශලයෙන් වැළැක්ම ද, මත්පැනෙන් වැළැක්ම ද, කුසල්දහම් වැඩීමෙහි නොපමා බව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.

මංගල සූත්‍රයට අරුත් කියන අටුවාවෙහි
මජ‍්ජපානා ච සඤ‍්ඤමො යන වදන විස්තර කර ඇත්තේ මෙසේ ය. සිංහල තේරුම දක්වමු. පාලි පාඨය අවශ්‍ය නම්
පිට88,89 සාරච්ච සමුච්වය චතුභාණවරට්ඨාථා හේවාවිතාරණ මුද්‍රණය 1929, පරමත්ථජෝතිකා ඛුද්දක පාඨ අට්ඨකථා පිට 93, 94 හේවාවිතාරණ මුද්‍රණය 1922, සහ සුත්ත නිපාත අට්ඨකථා පිට 261 හේවාවිතාරණ මුද්‍රණය) යන අටුවාලින් දත හැක.

“මජ්ජපානා සංයමො කලින් කියන ලද පරිදි, පමාවට හේතුවන, මත්බව ඇති කරන, පෙරන ලද හෝ පැසවන ලද සුරා පානයෙන් වැළකීම යන්නට සමාන වචනයකි. එසේ මත්වන තැනැත්තා වැටහීමක්, අරුතක් නොදනී. දහම – හොඳ නරක නොදනී. මවට අනතුරක් කරයි. පියාට, බුදු පසේ බුදු තථාගත සව්වනටද අනතුරක් කරයි. මේ ජීවිත කාලය තුල ගැරහීමටත්, මරණින් පසු දුගතියටත් ඇතැම්විට උමතුවටද පැමිණේ. මත්වන දෑ ගැනීමෙන් හෝ පානයෙන් තොර වූ තැනැත්තා එබඳු වරදට පත් නොවන හෙයින්, උසස් ගුණ සමුදායකට පත්වෙයි. එහෙයින් මතින් හික්මීම මංගල යැයි දතයුතුය.

තථාගතයන් වහන්සේගේ දේශනාවට පිටින් ගොස් මද්‍ය හොඳයැයි කියන සහ මද්‍ය සමාජ ගත කරන සැම දෙනාම කරනුයේ අවමංගල්‍යයක් ම ය. පරභව සූත්‍රයේ සුරා ධූර්ත බව ලද ලද දේ විනාශයට මුලක් බව තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත.

මද්‍ය=සුරා සමාජ ගත කරන කරවන රටට, රජයකට, රජයක රාජ්‍ය භාණ්ඩාගරයකට පිරිහීම පිණිම ඒකාන්ත කොට බලපායි. බුදු වදන කිසි ලෙසකින් වෙනස් වන්නේ නැත. අවසානයේ සීලයෙන්, ගුණයෙන්, කුසලයෙන් පිරිහුන ජාතිය, කුල පරම්පරා දුගති ගාමී වෙත්. මෙලොව ආර්ථිකය පරිහානියට පත් වේ. මෙරට බුදු වදනට එරෙහි කතා කිරීමට කිසිවෙකුට හිමි කමක් අයිතියක් නැති වව ද අවධාරණය කරමු.