Spread the News

demala

  • නැගෙනහිර මහ ඇමැති අර්බුදය
    මු. කො. ටී. එන්. ඒ. සාකච්ඡා
    තීරණයකින් තොරව අවසන්

    කල්මුණේ – ආර්. ශ්‍රීවේල්රාජා

    නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සංධානය අතර පැවැති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වී ඇත.

    සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මේ වන විට එම පක්‍ෂ දෙක අතර දැඩි විරසක බවක්‌ හටගෙන තිබේ.

    පසුගිය ජනාධිපතිවරණයේදී රජයට සහය දුන් රිෂාඩ් බදියුදීන් මහතාගේ මහජන කොංග්‍රසය පැවැති ආණ්‌ඩුවෙන් ඉවත් වීම හේතුවෙන් නැගෙනහිර පළාත් සභාව අස්‌ථාවර තත්ත්වයට පත්වූ අතර අයවැයද සම්මත කර ගැනීමට නොහැකි විය. පළාත් සභාව කීප වතාවක්‌ම රැස්‌වූ අතර තුන් වතාවක්‌ එය කල් තබනු ලැබිණි. ලබන සැසිවාරය පෙබරවාරි 10 වැනිදාට කල් තබන ලදී.

    මේ අතර නැගෙනහිර පළාතේ මහ ඇමැති ධුරය හා එහි පාලන බලය තමන් සතුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමග ද්‍රවිඩ ජාතික සන්ධානය සාකච්ඡා වට කීපයක්‌ පැවැත්වූ නමුත් කිසිම තීරණයකට පැමිණ නැත. මහ ඇමැති ධුරය තමන්ට ලබා දිය යුතු යෑයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පවසා ඇති නමුත් මහ ඇමැති ධුරය කිසිසේත්ම ලබාදීමට නොහැකි බව ද්‍රවිඩ ජාතික සන්ධානය පැවසීම නිසා මෙම විරසකභාවය හටගෙන තිබේ. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසා ඇත්තේ මධ්‍යම ආණ්‌ඩුවේ වරප්‍රසාද ලබමින් එහි අමාත්‍ය ධුර ලබාගෙන සිටින ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කිසිම අමාත්‍යධුරයක්‌ නොලබා සිටින තම පක්‍ෂයට නැගෙනහිර පළාතේ බලය ලබා දිය යුතු බවත් ඒ මගින් නැගෙනහිර පළාතේ සුළු ජනකොටසකට සේවය කිරීමේ අවස්‌ථාව තමන්ට ලබා දිය යුතු බවත්ය.