Mon. Jul 8th, 2024
Spread the News

උදයන් තවමත් ජාතිවාදය අවුලන තැත අත හැර නෑ

උදයන් පුවත්පතේ චෝදනා අමූලික බොරු

දෙමළ ජනතාවගේ පූජනීය ස්ථාන සුරකිනවා මිස විනාශ කිරීමට ඉඩක් නෑ

නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා

රක්ෂණ ශ්‍රියන්ත source:

මඩකළපුව දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල සිදු වූ කෝවිල් කැඩීමේ සිදුවීම්වලට ආරක්ෂක හමුදාවලට චෝදනා කරන ආකාරයේ පුවතක් පසුගියදා උදයන් පුවත්පතේ පළ කර තිබිණි. හින්දු සිද්ධස්ථානවලට පහර එල්ල කිරීම යුද හමුදාවේ අනුබල ඇතිව සිදු වන බවට දෙමළ ජාතික සන්ධානය ද්වේශ සහගත ලෙස කළ ප්‍රකාශයක් ද උදයන් පුවත්පත මේ ලිපියෙන් වාර්තා කර තිබිණි.

 

මෙම පුවත පිළිබඳ දිනමිණ නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා මහතාගෙන් විමසා බැලීය.

දෙමළ ජනතාවගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනවා විනා කිසිදු විට ඒවා කිසිවකුට විනාශ කරන්න ඉඩ නොතබන බවත්, පැවැති යුද සමයේ ද ඒවා ආරක්ෂා කළේ යුද හමුදාව බවත් ලාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.

මේ වන විටත් හින්දු සිද්ධස්ථාන ආරක්ෂා කරමින් සමහර විනාශ වූ ඒවා නැවත පිහිටුවමින් ඒවායේ පැවැත්මට යුද හමුදාව ආධාර කරන බවත් ආඥාපතිවරයා වගකීමෙන් කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය පවසන පරිදි හින්දු සිද්ධස්ථානවල පැවැත්මට යුද හමුදාව බාධා කරන්නේ කොහෙදීද? ඒවා විනාශ කර ඇත්නම් කොහෙදිද? මොනවාද යන්න සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන ලෙසද ආඥාපතිවරයා කියයි.

හින්දු සිද්ධස්ථාන ගැන කතා කරන දෙමළ ජාතික සංවිධානය මේවායේ පැවැත්මට හෝ හින්දු සිද්ධස්ථාන රැක ගැනීමට කුමක් කළේද යන්නත් ලාල් පෙරේරා මහතා ප්‍රශ්න කර සිටි.

මේ වන විට හින්දු සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල කළ පිරිස් කවුරුන්ද යන්න හෙළිදරව් වී ඇති බවත්, ඒවා කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් කරුණු සහිතව ආඥාපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය 13 නාඳුනන පිරිසක් මඩකළපුව වෙල්ලාවේලි පුල්ලියාර් කෝවිලේ පින්කැටය කඩා මුදල් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ ආරක්ෂක අංශ කළ විමර්ශනයක දී තොරතුරු හෙළිවී ඇත. මේ සොරකම ‍කළ සින්නවත්ත වෙල්ලාවෙලි ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන බවද ආඥාපතිවරයා කීය.

මෙසේ විවිධ පුද්ගලයන් කරන අලාභහානි හා සොරකම් යුද හමුදාව පිට පැටවීමට සමහර දෙමළ සංවිධාන මෙන්ම සමහර දෙමළ මාධ්‍ය ද්වේශ සහගතව උත්සහ කරන බවට තොරතුරු හෙළිවී ඇතැයිද ලාල් පෙරේරා මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයට මෙන්ම දෙමළ ඩයස්පෝරාවට කත් අදින ඇතමුන්ට අවශ්‍ය වී ඇත්තේ කුමන හෝ වරදක් හමුදාව පිට පටවා උතුරු නැඟෙනහිරින් හමුදාව එළවා ගැනීම බවද ආඥාපතිවරයා කියා සිටි.

මේ වන විට උතුරු නැඟෙනහිර සියලු ආගම් අදහන ජාතීන් ඉතා සමගිව ජීවත්වන බවත් මෙය ඊනියා ඊළමට පාර කපන්නන්ට මහත් හිසරදයක් වී ඇති බවත් එබැවින් ජාතීන් අතර සාමය සංහිඳියාව නැති කිරීමට කුමන දෙයක් හෝ අල්ලාගෙන කටයුතු කිරීම උදයන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවට උදව් කරන්නන්ගේ උත්සහය වී ඇති බවත් ආඥාපතිවරයා අවධාරණය කළේය.

.