Fri. Jul 5th, 2024
Spread the News

san7 1ඉන්දියාවේ පවතින කුලභේදය නැති කිරීමට බුදුරජාණන්වහන්සේගේ දේශනාවන් හා ආචාර්ය අම්බෙඩ්කාර්ගේ ඉගැන්වීම් යොදාගනිමින් ඉන්දියානු රොක්‌ සංගීත කණ්‌aඩායමක්‌ උත්සාහ කරයි. ලොවපුරා විසිරී ඇති බොහෝ සංගීත වේදීන් භාවනා වැඩ සටහන් වලදී නෙත ගැටෙද්දීත්, එසේ නැතිනම් නවගුණ වැල මැණික්‌ කටුවේ වෙළා ගනිද්දී අප වෙත ගැටලුවක්‌ මතුවේ, මේ ඔවුන්ගේ සැබෑ ජීවිතයද? නැද්ද? නමුත් පැහැදිලි හා ප්‍රබල බෞද්ධ සම්බන්ධයක්‌ සහිතව රොක්‌ සංගීත කණ්‌aඩායමක ඇරඹුමක්‌ 2011 වසරේදී මුම්බායි නගරයේදී සිදුවෙනවා. ඒ ශාරදාපුත්‍ර කබීර්ශාකියාගේ මූලිකත්වයෙන්. ඔහු සහ සාමාජිකයන් හතර දෙනෙකුගෙන් ආරම්භ කෙරෙන මෙම සංගීත කණ්‌ඩායම හැඳින්වෙන්නේ දහම් පියාපත් නමින්. මෙම සංගීත කණ්‌ඩායම් සාමාජිකයන්ගේ විශේෂයක්‌ වන්නේ ඔවුන් ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් මහතාගේ මඟ පෙන්වීම යටතේ බුදුදහම වැළඳගත් පවුල් වලින් පැවත එන සාමාජිකයන් වීමයි.

අම්බෙඩ්කාර් යන නම ඉන්දියානුවන්ට සුවිශේෂීයි. ඒ, ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ දේශපාලනඥයකු මෙන්ම ඉන්දීය ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ සාමාජිකයකුද වීම නිසාම නෙවෙයි. ඔහු විසින් දසදහස්‌ ගණනින් දාලිත් කුලහීන හින්දු ජන කොට්‌ඨාසය බෞද්ධයන් බවට හැරවීම සමගින් සමාජයේ අයිතියක්‌ හෝ පිළිගැනීමක්‌ නොමැතිවූ හීනකුල ජනතාවට බුදදහම හරහා සැනසීමේ මඟ පෙන්වීමට මුල්වූ හේතුවෙන්. ඉන්දියාවේ ගුජරාට්‌ ප්‍රාන්තයේ දෙවන වරට පැවැත්වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේදී, දහම් පියාපත් සංගීත කණ්‌ඩායමේ ඉදිරිපත් කිරීමකින්, මේ අසමතුලිත චක්‍රය බිඳදැමීමට සංගීතය ඉතා හොඳ මෙවලමක්‌ බව දුටු නිසාම, ඔහු, එනම් ශාකියා සමගින් මේ ගැන සාකච්ඡා කිරීමට තීරණය කරා.

* දහම් පිහාටු සංගීත කණ්‌ඩායමේ සියලු සාමාජිකයන් බෞද්ධ ද?

ඔව්, සියලු ප්‍රධාන සාමාජිකයන් බෞද්ධ. එයිනුත් බොහෝ දෙනෙක්‌ සංගීත ගුරුවරුන්. අපේ සීයලා ආචාර්ය අම්බෙඩ්කාර්ගේ මඟ පෙන්වීම යටතේ බුදුදහම වැළඳගත් පිරිසක්‌. ඉතා මෑත කාලයේදී බෞද්ධ නොවන කීපදෙනෙකුත් අපි සමඟ එකතුවෙලා ඉන්නවා. අපි ඉන්දීය ජනගී සම්ප්‍රදාය එකම වේදිකාවක ඉදිරිපත් කරනවා.

මට කෙටියෙන් කියන්න ඔබගේ බෞද්ධ හා සංගීත පසුබිම ගැන. මේ දෙකම එක්‌ කිරීමට තීරණය කළේ කුමන කාලයකද?

ඒ බැඳීම ආරම්භ වීම සිදුවුණේ, මම පූර්ව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමත් සමඟයි. (ඉන්දීය උසස්‌ විද්‍යාල අවසන් වසර) මම මගේ පළමු දින දහය වෙන් කරේ විපස්‌සනා භාවනාව හැදෑරීමට. එයිනුත් අවුරුදු තුනකට පස්‌සෙ, මම තීරණය කරා බෞද්ධ භික්‌ෂුවක්‌ ලෙස පුහුණුවීමට. මම බුද්ධගයාවට ගියා. එහිදී ටී.සිරිචායී තායි ගුරුතුමන් යටතේ මාස තුනක්‌ කල්ගත කළා. මේ මාස තුනක කාලය මගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස්‌ කළා. ඒ කාලය තුළ මා ලැබූ සුන්දර අත්දැකීම් නිසාම මම තීරණය කළා මම ඉගෙන ගත් දේ හා බුදුරජාණන්වහන්සේගේ පණිවුඩය ඉන්දියානු තරුණ තරුණියන් වෙතට ගෙන යායුතුයි කියලා. පාසලේදී සංස්‌කෘතික සංසදයේ ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස මම කටයුතු කරා. ඒ කටයුතු එක්‌ක මම හොඳින්ම තේරුම් ගත් දෙයක්‌ තිබුණා. ඒ තමයි, මේ සමාජයට සාමයේ හා සමගියේ පණිවිඩය ගෙනියන්න හොඳම ක්‍රමය මගේ ගිටාරය කියලා. මගේ මුල්ම ගීත නිර්මාණය කෙරුණේ මම බුද්ධගයාවේ ඉන්න කාලයේ. එහෙන් ආවට පස්‌සෙ මට ඉඩක්‌ ලැබෙන හැම තැනකම, පන්සල්වල, පාරේ, මුඩුක්‌කුවල පවා මම ගායනා කරා. මගේ මේ ගමන්වලදී මට මගේ අනිකුත් සාමාජිකයන් මුණ ගැහුණා. ( ඩ්‍රම් – ස්‌වප්නිල් මෝර්, බේස්‌ ගිටාර් – රාහුල් කම්බ්ලේ සහ ලීඩ් ගිටාර් – රොහාන් සො- ) එයින් පස්‌සෙ 2011 මැයි මාසයේදී අපි නිල වශයෙන් දහම් පියාපත් සංගීත කණ්‌ඩායම ආරම්භ කරා.

* ඔබගේ ගීත නිර්මාණ සඳහා බුදුරජාණන්වහන්සේ දෙසු දහම් හා අම්බෙඩ්කාර්ගේ ඉගැන්වීම් මුල්කර ගැනීමට විශේෂ හේතුව කුමක්‌ද?

මම බෞද්ධ පවුලකින් පැවත එන අයෙක්‌. ඒ වගේම මම ආචාර්ය අම්බෙඩ්කාර් දන්නේ මගේ ළමා කාලයේ ඉඳන්. මම අම්බෙඩ්කාර් මහතාට ඉතා ගරු කරනවා මොකද, ඔහු අපේ සීයලා බෞද්ධයෝ බවට පත් කරලා මටත් ඒ උතුම් දහමට යොමු වීමට ලබා දුන් අවස්‌ථාව නිසා. මිනිස්‌සු කියනවා අපි තුන්වන ලෝක යුද්ධය කරා ඇදී යනවා කියලා. මට දැනෙන දේ තමා මේ හිංසනයන් එකිනෙකා තේරුම් නොගැනීම හා වෛරය නිසාම සිදුවෙන දේවල් බව. මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලුම හිංසනයන් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්‌ෂේප කරනවා. අම්බෙඩ්කාර් අපිට උගන්වූවේත් එයමයි. බුදුරජාණන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් ශාසනයට එක්‌කරගනිද්දී ඔවුන්ගේ කුලය හෝ වර්ණය හෝ බැලුවේ නෑ. අපි දන්නව බුදුරජාණන්වහන්සේ දේශනා කළා වෛරය ඇති වන්නෙ අප තුළින්ම වගේම, සාමය ඇතිවන්නෙත් අපි තුළින්ම බව.

* දේශපාලකයකුට හෝ සමාජසේවකයකුට හෝ වඩා හොඳින් සංගීතය හරහා මෙම පණිවිඩය සමාජගත වෙනවා යෑයි ඔබ සිතන්නෙ කොහොමද?

සංගීතයට සීමාවන් නැහැ. එය විශ්ව භාෂාවක්‌. අපිට අකැමැති අය වෙතටත් අපේ පණිවිඩය යවන්න සංගීතයට පුළුවන් වෙන්නේ ඒ නිසයි. අද වනවිට ලෝකයේ ඉතා පුළුල් පරාසයක තාක්‌ෂණයන් තියනවා. සමාජ ජාල මාධ්‍ය හරහා පහසුවෙන් අපේ නිර්මාණයන් ප්‍රේක්‌ෂකයන් වෙත ගෙනියන්න පුළුවන්. ඔබට දේශපාලකයකු හෝ සමාජ සේවකයකු හෝ ලෙසින් මේ දේම කරන්න පුළුවන්. ඒක ඔබගේ කැමැත්ත. එවන් උත්සාහයන් දරනා සියල්ලන් සමාජයට වැඩදායක පුද්ගලයන් කියලා අපි හිතනවා.

* බෞද්ධ නොවන ප්‍රේක්‌ෂකයන්ට ඔබගේ සංගීතය හරහා ලබාදෙන පණිවිඩය කුමක්‌ද?

බෞද්ධ නොවන ප්‍රේක්‌ෂකයන්ගෙන්ද අපිට විශාල පිළිගැනීමක්‌ තියනවා. ඔවුන් අපගේ පද රචනා හා සංගීතයට කැමැතියි. ඉන්දියාවේ නිල භාෂාවන් විස්‌සකට වඩා වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. අපි, අපිට පුළුවන් හැම භාෂාවකින්ම ගායනා කරනවා. අපිට අවශ්‍ය වන්නේ සියලු සීමාවන් බිඳ දමමින් බුදුරජාණන්වහන්සේ හා අම්බෙඩ්කාර් ජනතාවගේ සිත් තුලට රැගෙන යැමටයි.

අමිල සහන් පතිරණ