Fri. Jul 5th, 2024
Spread the News

සත්‍ය කරුණු මත අදහස් හුවමාරු කරගන්නවා වෙනුවට, මාගේ යෙදීම්වල දුර්වලකම් සෙවීමට ඔබ පෙළඹෙන අවිඥානික හේතුවක් තිබිය හැකියි.

එය ඔබට පමණක් සීමා වුණු ගැටළුවක් නොවෙයි. හීන මානෙන් පෙලෙන මාගේ විරුද්ධවාදීන් හැර මේ ලෙඩේ අන් අය ළඟ නැහැ.

බොහෝවිට එසේ කරන්නේ තර්කයට පිවිසෙන්න අපහසු පුද්ගලයින්.

දකුණු ඉන්දියාවේ දෙමළනාඩුවේ ඉන්න පුද්ගලයින්ට ඉතිහාසයේ කවරදාකවත් ඔවුන් වෙනුවෙන් කියා රාජ්‍යයක් තිබුණේ නැත. ඔවුන් හැමදාමත් ප්‍රාන්තරාජ්‍යයක වැසියන්ය.

ඔවුන් කිසියම් නිශ්චිත භූමි භාගයක ජීවත් වුණත්, එය ස්වෛරී රාජ්‍යයක් නොවෙයි.
ජාතියක් තීරණය කරන භූමිය, නිකම්ම නිකං පස් ගොඩක් නෙවෙයි.

එම භූමියේ පස පෙරළා, එම භූමියෙන් ජාතියට බත සපයා, මහා සංස්කෘතීන් සහ උපසංස්කෘතින් බිහිකර කුමන ජන කොට්ඨාසයකට අයත් වුවත් එක ජාතියක් ලෙස සමගියෙන් සහ සහයෝගයෙන් ජීවත් වෙන්න තීරණය කළ මිනිසුන් එක්කෝ අලුත් ජාතියක් බිහි කර ගත්හ(නිදසුන්: ඇමරිකා එක්සත් ජනපදය). ඓතිහාසික උරුමයට යළි පණ දුන්හ. ශ්‍රී ලංකාව එක් කදිම නිදසුනක්.

සිංහලයින්ට උරුම වූ විශේෂ භූමි භාගයක් ද, භාෂාවක්ද, ජීවන දර්ශනයක් සහිත ආගමික සංස්කෘතියක්ද උරුමව ඇත.
එය බෙදිය හැකි උරුමයක් නොවේ.

බෙදනවා නම් බෙදාගත යුත්තේ භූමිය නොව මිනිස් කමයි.

පෘතුගීසි කොළනියක් වී තිබුණු දකුණු ඉන්දියාවේ ගෝවේ ඉන්දියාව තුළ වෙනම රාජ්‍යයක් ලෙස පවතින්න උත්සාහ කළත්, මධ්‍යම ආණ්ඩුවේ හමුදාව යොදා ජවහර්ලාල් නේරු එය අත්පත් කරගෙන ඉන්දීය රාජ්‍යයටම ඈඳනු ලැබුවා.
රටක කොටසක් බලෙන් අල්ලා ගත්තා කියා, එම භූමියට අයිතිවාසිකම් කියන්න ආක්‍රමණිකයාට අයිති නැත. මෙම ආක්‍රමණවල නරකම පැත්ත සංස්කෘතික ආක්‍රමණයයි.

සංස්කෘතික ගැටුම නිසා ඇතිවන තත්ත්වයන් ගැන සොයා බලන්න යටත් විජිත ස්වාමිවරුන්ට අවශ්‍යතාවයක් තිබුණේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ බෙදා වෙන්කර පාලනය කිරීමයි.

ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, සුද්දාගෙන් පසු පාලනය භාරගත් කළු සුද්දන්ටත් බොහෝ දුරට තිබුනේ යටත් විජිත ස්වාමිවරුන්ට තිබුණු මානසික තත්ත්වයමයි.

ඔවුන් කලාප දෙකක ජීවත් වුණත්, හමේ පැහැයෙන් වෙනස් වුණත් දේශපාලන වශයෙන් එකම ප්‍රවාහයක පීනූහ.

ධනවාදී ඉවුර වෙත පිහිනන්න ඇරඹූ අයගෙන් බහුතරය ගඟේ ගසාගෙන යද්දි අතලොස්සක්
“එගොඩ ගොඩෙත් රත්තරං මෙගොඩ ගොඩේත් රත්තරං” කියමින් රබන් වැයූහ.

සමාජවාදී ඉවුරට පිහිනන්න ගිය අයගෙන් බහුතරය නොපිහිනාම ධනවාදී ඉවුරට ගසාගෙන ගියහ.

මෙගොඩගොඩේදී එකිනෙකාට බැණ ගත් මේ දෙපිරිසම එගොඩගොඩේදී එතෙරවීමට හැකිවීම ගැන සාමුහිකව ජය පැන් බිවූහ.

මෙවන් අවස්ථාවකදී තමන් අයත් වන්නේ ජාතියකටද ජන කොටසක ද යන්න මේ කාහටවත් වැදගත් නොවනු ඇත.
බෙදී ගහගන්නේ නැති බැරි එකාමය.

ඒ නිසාම ඔවුන් මිය යන්නේත් නැති බැරි එවුන් ලෙසමය.

-තෙවැනි ඇස-
07.12.2023