Fri. Jul 5th, 2024
Spread the News

මට හරිම සතුටුයි, මා දැනට වසර විස්සකට පමණ ඉහතදී මා සිතට පහළ වූ අදහසක් ලිඛිතව ලියා තැබූ සංසිද්ධියක් ප්‍රමාද වී හෝ තවත් කෙනකුගේ මැදිහත් වීමක් තුළින් ඒ අදහස කරළියට පැමිණීම ගැන.

තිලක් කන්දේගම කියන්නේ අපේ යුගයේ ආන්දෝලනාත්මක චරිතයක්.

මම හිතනවා ඒ මහත්මයත් විශ්වය සමග ගනුදෙනු කරන තැනැත්තෙක් කියා.

මා බොහෝ විට අතින්ද්‍රිය දැනුමට පාදක වන විශ්ව ශක්තිය හරහා සංකල්ප හා ප්‍රස්තුතයන් මගින් අපට මෙතෙක් තේරුම් ගැනීමට අපහසු ව තිබුණු සංසිද්ධීන් විග්‍රහ කිරීමට උත්සාහ කර තිබෙනවා.

මාගේ අවබෝධයට අනුව ලෝක ප්‍රජාව පමණක් නොවේ වෙනත් ග්‍රහලෝකවල ජීවත්වෙන ජීවීන් පවා මූලික වශයෙන් බෙදී වෙන්වන්නේ ද්වීඝඨන ස්වභාවයක් නිර්මාණය කරන පාර්ශව දෙකකටයි.

එක කොටසක් නිර්මාණයෙහි යෙදෙන අතර අනෙක් කොටස දිවා රෑ වෙහෙසෙන්නේ
ගොඩනැගෙන දේ විනාශ කිරීමේ කටයුතු වලයි.

හින්දු ආගමේ එන ශිව දෙවියන් සංකේතමය වශයෙන් ප්‍රකට කරන්නෙත් විශ්වයේ ඇති මේ ද්වීඝඨන ස්වභාවයයි.

ආගම් තරඟයකට මෙන් බැතිමතුන් දිනා ගැනීමේ
“යුද්ධයක” පැටළී ඇත.
ලෝක ජනගහනය දෙවියන්ට ආදරේ සහ සාතන්ට හිතවත් මිනිසුන් ලෙස වර්ගීකරණයක් කර ඇත.

බුදුදහම එවැනි වර්ගීකරණයක් නොකළත්, කුසල් රැස් කිරීමට කැමති හා අකුසල කර්මයෙහි නියැලෙන මිනිසුන් හැටියට දෙපාර්ශවයක් හඳුනාගනී.

සතුරන් ලෙස හඳුනා ගත් පිරිස් ඝාතනය කිරීමත් ” කුසලයක්” ලෙස සැලකෙන ආගම් ද මේ මිහිපිට තිබීමත් මානව පැවැත්ම ඛේදවාචකයක් කර තිබෙනවා.

හින්දු ආගමේ බලපෑම නිසාදෝ බෞද්ධ සාහිත්‍යයටත් දෙවි දේවතාවුන් ඇතුළ් කරගෙන තිබෙනවා.

යහපත් දෙවිවරුන් සුරයින් ලෙසත්, දෙවියන්ට විරුද්ධ වන පිරිස අසුරයින් ලෙසත් හඳුනාගෙන ඇත්තේ මෙම සංකීර්ණ ප්‍රපංචය පහසුවෙන් තේරුම් ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි.

වසර විස්සකට පමණ ඉහතදී සුරාසුර යුද්ධය පිළිබඳව මා දුටු චිත්‍රය අද දවසේ සමාජ ආර්ථික දේශපාලන හා ආගමික ක්ෂේත්‍ර වල තීව්‍ර වූ යථාර්තයක් බවට පත්ව ඇත.
අවාසනාවකට වාගේ මෙම යථාර්ථය සමාජය තුළින් විධාරනය වන්නේ විප්ලව, කැරළි කෝළාහල, යුද්ධ හා සමූහ ඝාතන ලෙසින්වීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්ත්වයක්.

එක් අතකින් බැලූවිට ලෝක ප්‍රජාව විවිධ ආකාරයේ මැවුම්කාර දෙවිවරුන්ගේ නම් (label) යටතේත්, ගැටුම්කාරී දේශපාලන න්‍යායන් ඔස්සේත්, ආර්ථික විෂමතාවයන් මත පදනම්වූ ඇති නැති භේද මුල් කරගෙන ද, සුදු කලු කළු ආදී වශයෙන් තව තවත් අගාධයන් දෙසටම තල්ලු වෙමින් සිටිනවාට වඩා සුර- අසුර වශයෙන් බෙදී යථාර්ථයට මුහුණදීම වඩාත් ප්‍රායෝගිකයි කියා සිතෙනවා.

මන්ද මුළු විශ්වයම පාලනය කරන්නේ මේ දෙපිරිස වන නිසයි.
ජර්මන් දාර්ශනික හේගල් විසින් හඳුන්වා දුන් ද්විඝටන න්‍යාය, ඇතිවීම හෝ නැතිවීම, නිර්මාණය කිරීම හෝ විනාශ කිරීම යන තත්ත්ව දෙකටම ආදේශ කිරීම පමණක් නොව එහි ප්‍රතිඵලයක් ලෙස අලුතින් යමක් නිර්මාණය වීමත් සුවිශේෂ බවක් ගන්නවා.

මිනිසුන් පටු සංකල්ප (උදාහරණයක් ලෙස කුල භේද) ඔස්සේ බෙදී වෙන් වනවාට වඩා ගැඹුරු දර්ශනයක් ඔස්සේ බෙදී වෙන්වී එහෙත් යුද්ධ කිරීම සඳහා නොව ගැටුම තුළින් ධනාත්මක චින්තනයක් ගොඩ නංවා ගැනීම සාමකාමී ලොවක් බිහිකිරීමෙහිලා අත්‍යාවශ්‍යයෙන්ම ඉවහල් වන බව නම් නිසැකවම කිව හැකියි.

සූරයන් සහ අසුරයන් පිටසක්වල ජීවීන් ලෙස මේ පිට ජීවත් ජීවත් වන මිනිසුන් කෙරෙහි දිගින් දිගටම බලපා ඇති බව ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාවෙන් පවා සනාථ වී තිබෙනවා.

සමාජයේ ගැටුම් නිර්මාණය කරන සාධක ලෙස
දේශපාලන, ආර්ථික හා සමාජ විද්‍යාඥයන් දකින තත්ත්වයන්ට හාත්පසින්ම වෙනස්, ඒ වගේම වෙනත් මානයකින් ලෝකය තුළ ගැටුම් ඇති කිරීමටත්, එසේත් නැතිනම් ඒ ගැටුම් අවසන් කර සාමය උදා කර දීමටත් පිටසක්වල ජීවීන් හා සම්බන්ධ සුර-අසුර දෙපිරිස මුල් වන බව මා හට නම් අවිවාදාත්මකයි.

නමුත් එය සත්‍යයක්ම යයි මේ ලිපිය කියවන අය පිළිගත යුතුයි කියා නියමයක් නෑ.

මා ලීවේ මාගේ අතීන්ද්‍රිය දැනුමට දැනෙන දේ පමණයි.

-තෙවැනි ඇස-
05.06.2023