Fri. Jul 5th, 2024
Spread the News

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට එල්ලවන
ප්‍රචණ්‌ඩත්වය නැවැත්වීමට ඉන්දීය රජය
වහාම මැදිහත් විය යුතුයි

– ජානිපෙ නායක ඇමැති විමල් විරවංශ

අකිත පෙරේරා source:

දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව මතුවන ප්‍රචණ්‌ඩත්වය නැවැත්වීමට ඉන්දීය මධ්‍යම රජය වහාම මැදිහත්විය යුතු බවත් ඒ සඳහා මැදිහත් නොවන්නේ නම් එම ප්‍රචණ්‌ඩත්වය සඳහා මධ්‍යම රජයේ අනුමැතියද හිමිවන බව පෙනී යන්නේ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පිහිටි ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වීරවංශ මහතා මෙසේද කීය.

දකුණු ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් නැවත හරවා එවනවා, පසුගිය දිනවල අපි මාධ්‍යය මගින් දුටුවා. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්‌. රාජ්‍ය මට්‌ටමේ අනුග්‍රහයක්‌ නැතිනම් දකුණු ඉන්දියාවේදී

ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව මෙතරම් ප්‍රචණ්‌ඩත්වයක්‌ එල්ල වන්නේ නැහැ.

දිගින් දිගටම එල්ලවන මෙම බලපෑම පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය කිසිදු පියවරක්‌ මේ වන තෙක්‌ නොගැනීම පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවගේ අප්‍රසාදය ඉන්දියාව කෙරෙහි එල්ල වී තිබෙනවා.

විශේෂයෙන්ම අපි දුටුවා පාසල් පාපන්දු කණ්‌ඩායමක්‌ පසුගිය දිනෙක හරවා එවා තිබුණා. ඔවුන් ක්‍රීඩා කරමින් සිටියදීයි එය සිදුවී තිබෙන්නේ. ඒ වගේම වන්දනාවේ ගිය පිරිස්‌වලට වගේම පුහුණුව සඳහා ගිය හමුදා සෙබළුන්ටත් බලපෑම් එල්ල වෙනවා.

මේ ආකාරයට ඉන්දියානුවන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් ප්‍රචණ්‌ඩත්වයක්‌ මුදාහරින්න වුවහොත් මොකද වෙන්නේ. තමිල්නාඩුවේ සිටින මෝඩ දේශපාලනඥයන් ඇයි මේවා ගැන කල්පනා නොකරන්නේ මේ විධියට දිගින් දිගටම දකුණු ඉන්දීය බලපෑම් හමුවේ මෙහි සිටින ඉන්දියානුවන්ට යම් එරෙහිවීමක්‌ සිදු වුවහොත් එහි වගකීම බාර ගන්නේ කව්ද?

අද ශ්‍රී ලංකාව නිදහසේ හුස්‌ම ගන්නා රටක්‌. අතීතයේ දී ශ්‍රී ලංකා වාසීන්ට එරෙහිව ප්‍රචණ්‌ඩත්වය දියත් වුණේ මේ දකුණු ඉන්දියාවෙන්ම තමයි. මොකද දකුණු ඉන්දියාවෙන්ම තමයි මේ රටේ තිබුණු ත්‍රස්‌තවාදය පෝෂණය කළේ. ඒ නිසා අදටත් මේ එල්ලවන ප්‍රචණ්‌ඩත්වය ඉවසිය හැකි තත්ත්වයක්‌ නොවේ.

දකුණු ඉන්දියාව අද සංවිධානාත්මකව ශ්‍රී ලංකාවට එරෙහිව මතුවන ප්‍රචණ්‌ඩත්වය වහාම නතර කළ යුතුයි. එය එසේ නතර නොකළහොත් එම ප්‍රචණ්‌ඩත්වය දියත් වන්නේ ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය ඇතිවයි.