Spread the News

ඥානසාර හිමි ගැන පරීක්‍ෂා කර වාර්තාවක්‌ දෙනවා
– අගමැති මැතිසබේදී කියයි

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්‌ ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කටයුතු කළ ආකාරය පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක්‌ කර මල්වතු මහා නාහිමියන්ට සහ එහි කෝට්‌ටේ පාර්ශ්වයට වාර්තාවක්‌ ලබා දෙන ලෙස තමන් පොලිසියට උපදෙස්‌ දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොලිසිය ක්‍රියාත්මක කළේ මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගය මත බව කී අගමැතිවරයා රටේ නීතියක්‌ තිබෙන නිසා කාටත් එම නීතිය පොදු බවද කීවේය. හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමියේ සිද්ධ වූ දේ ගැන බෞද්ධයකු ලෙස තමන් කනගාටුවටත්, ලැඡ්ජාවටත් පත්වූ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

මේ ආණ්‌ඩුව කිසිම විටෙක සෝමාරාමලා, බුද්ධරක්‌තලා බිහි කරන්න ඉඩ දෙන්නේ නැහැ. එක්‌නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් උසාවිය තීරණය කළා ඥානසාර හිමියන් රිමාන්ඩ් කරන්න. නීතිය කාටත් එකයි. අපි නීතියට ගරු කළ යුතුයි යෑයිද අගමැතිවරයා කීවේය.

“අද ඉතා අවාසනාවන්ත සිද්ධියක්‌ වුණා. පිරිසක්‌ උසාවිය අසලට ගිහින් උද්ඝෝෂණය කර තිබෙනවා. ඒ අතර සිවුරු ඇඳ ගත්තු පිරිසකුත් සිටි බවට තොරතුරු හෙළි වී තිබෙනවා… යෑයි ද අගමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා රජය අත්සන් කළ විදේශ ගිවිසුම් කිහිපයක්‌ පිළිබඳව විපක්‍ෂය ඉල්ලා සිටි සභාව කල් තැබීමේ විවාදයට එක්‌වෙමින් අගමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.