Mon. Jul 8th, 2024
Spread the News

ජිනීවා ගැන ජනතාව
දැනුවත් කිරීමට ජාතික සමුළුවක්‌
– දිනේෂ් ගුණවර්ධන

අනුර බාලසූරිය

රටට, ජනතාවට සත්‍ය වසන්කර පසුගියදා අත්සන් කෙරුණු ජිනීවා ගිවිසුම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාතික මහා සමුළුවක්‌ ලබන 19 වන දින විහාර මහාදේවී විවෘත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මහජන එක්‌සත් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන ඒකාබද්ධ විපක්‍ෂය සමඟ අත්වැල් බැඳගන්නා සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම ජාතික මහා සමුළුව පැවැත්වෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා රජය මගින් අත්සන් කෙරුණු ජිනීවා ගිවිසුම අප රටේ ජාතික නිදහසට, ස්‌වාධීනත්වයට ස්‌වෛරීත්වයට හා ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක්‌ බව තරයේ විශ්වාස කරන බැවින් එය කරුණු සහගතව ඔප්පු කර ජනතාවට අවබෝධ කරදීමට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරමින් රට ආරක්‍ෂා කිරීමට මැදිහත්වීමේ දේශපාලන ක්‍රියාවලිය දියත් කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ රට වැසියාට හෝ පාර්ලිමේන්තුවට හෝ සත්‍ය තොරතුරු ලබාදී නොමැති බව පැවැසූ දිනේෂ් ගුණවර්ධන මහතා සත්‍ය තොරතුරු වසන් කිරීමෙන් රජය අප රට හිරකර ඇමරිකාව සමඟ සමදායකත්වයෙන් ගෙනා යෝජනාවේ බරපතළකම රටෙන් සැඟවීමට ඉඩතැබිය නොහැකි බැවින්, ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකළ යුතු බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක්‌ ලබාදෙන බව රජය ප්‍රකාශ කළත් රජය අත්සන් තැබූ මෙම ජිනීවා යෝජනාවේ සත්‍ය පිටපතක්‌ අද වනතුරු පාර්ලිමේන්තුවට හෝ මන්ත්‍රීවරුන්ට රටට හෝ ඉදිරිපත් කර නැති බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙවැනි තත්ත්වයක්‌ තුළ පාර්ලිමේන්තු විවාදයක්‌ පැවැත්වීමට බලාපොරොත්තුවන්නේ නම් එය රජය තවත් වාරයක්‌ රටටත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් වසන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයක්‌ බවත් කීවේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.