Tue. Jul 9th, 2024
Spread the News

අපි පෙරියකුලම් ගමම වටකරලා තියෙන්නෙ
මැරුම් නොකා අපිට යටත්වෙයන්
ජනපතිනියට ඇසක්‌ අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව 09

සදීෂ් සියල්ල නොසඟවා හෙළි කළේය…

මම ගෙට පැනලා කයුම්ව ඇරස්‌ට්‌ කරනවා…

කලබල නොකර නැගපන් මේ බයිසිකලේට…


උදයන් සහ පූසාරිතුමා නඩු තීන්දුවෙන් පසු බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු…

මෙතෙක්‌ කතාව
1999 වර්ෂයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොළඹ පුරහල භූමියේදී මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයක්‌ එල්ල විය. කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්‌ටුඅම්මාන්ගේ උපදෙස්‌ මත බුද්ධි අංශයේ ප්‍රබලයන් වූ ත්‍රොaනර්, ඉලංගදීර් සහ වෛට්‌ටි විසින් මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළහ.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ තමිල් සෙල්වි පදිංචිව සිටියේ මඩකලපුව ප්‍රදේශයේ බව හෙළිකරගත් රහස්‌ පොලිසිය ඇගේ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගත්හ.

තමිල් සෙල්වි බෝම්බ කබාය ඇඟලා ගත්තේ කොටහේන බ්ලූමැන්ඩල් කෝවිලේදී බව අනාවරණය කරගත් රහස්‌ පොලිස්‌ නිලධාරීන් එහි පූසාරිවරයා සහ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ප්‍රහාරයේ ප්‍රධානියකු වූ ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියේ කණ්‌ඩායමක්‌ මඩකලපුව උන්නිච්චිය කොටි පාලන ප්‍රදේශයේ කළ බිහිසුණු මෙහෙයුමෙන් අනතුරුව ප්‍රධාන පෙළේ කොටි ප්‍රබලයන් දෙදෙනකු වන ඉලංගදීර් සහ වෛට්‌ටි අත්අඩංගුවට ගැනීම කොටි පාලන ප්‍රදේශයේ වාරිකුට්‌ටූර් ප්‍රදේශය වෙත රහසිගතව ගිය බිsහිසුනු ගමනේදී ලද අත්දැකීම් සහ කයුම් අත් අඩංගුවට රැගෙන පැමිණි ආකාරය ගැන මෙවර 09වන කොටසින් දිග හැරෙයි

අද එතැන් සිට

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර නගර සභා පිටියේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ මහ මොළකරුවන් වූ ඉලංගදීර් සහ වෛට්‌ටි අත්අඩංගුවට ගැනීමේ රහසිගත මෙහෙයුම වන්නි ප්‍රදේශයෙන් ආරම්භ කළ රහස්‌ පොලිසියේ නිලධාරීන් වාරිකූට්‌ටූර් ප්‍රදේශයට ඇතුළු වූහ.

ඉලංගදීර් සහ වෛට්‌ටි වාරිකූට්‌ටූර් කඳවුර වෙත පැමිණෙන බව රහස්‌ පොලිසියේ නිලධාරීන් දැන සිටියහ.

කොටි ත්‍රස්‌තවාදීන්ට අයත් තාවකාලික සන්නිවේදන මධ්‍යස්‌ථානය පිහිටි කඳවුර සොයමින් පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීන් වාරිකූට්‌ටූර් ප්‍රදේශය පුරා සැරිසරන්නට වූහ. පැය හත අටක කාලයක්‌ තිස්‌සේ ප්‍රදේශය පුරා සැරිසරමින් සිටියද අදාළ ස්‌ථානය සොයාගන්නට ඔවුන්ට හැකි වුණේ නැත.

අපි තවදුරටත් මේ පළාතේ ඉන්න එක භයානකයි. ඒ නිසා අදට අපි වැඩකටයුතු නතර කරලා ආපසු යමු.

වව්නියාව වාරිකූට්‌ටූර් කොටි පාලන ප්‍රදේශය පුරා සැරිසරමින් ත්‍රස්‌තවාදීන්ට අයත් තාවකාලික සන්නිවේදන මධ්‍යස්‌ථානය සොයා ගන්නට වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් උත්සාහ කළද එය සාර්ථක වුණේ නැත. එදින සිදුකළ විමර්ශන කටයුතු අවසන් කළ පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීන් වව්නියාවට ආවේ පසුදින ආපසු වාරිකූට්‌ටූර් බලා යන බලාපොරොත්තුවෙන්ය.

දින දෙකක්‌ තිස්‌සේ වාරිකූට්‌ටූර් කොටි පාලන ප්‍රදේශය පුරා සැරිසරමින් ඉලංගදීර් සහ වෛට්‌ටි පිළිබඳව තොරතුරු සොයන්නට පොලිස්‌ නිලධාරීන් උත්සාහ කළහ.

වාරිකූට්‌ටූර් තාවකාලික කොටි සංනිවේදන මධ්‍යස්‌ථානය පිහිටි ස්‌ථානය පොලිස්‌ නිලධාරීන් සොයා ගත්තද එහි කොටි සාමාජිකයන් කිසිවකු සිටියේ නැත.

තුන්වැනි දිනටත් පොලිස්‌ නිලධාරීන් පිරිස වාරිකූට්‌ටූර් බලා යන්නට සූදානම් වූහ. එහෙත් එදින උදැසන අසන්නට ලැබුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ තොරතුරකි.

වව්නියාව පොලිස්‌ කොට්‌ඨාසයට අනුයුක්‌තව රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ රැගත් ජීප් රථයකට වව්නියාව වාරිකූට්‌ටූර් මාර්ගයේදී ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී තිබුණේය. මෙම ප්‍රහාරයෙන් පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනකු ජීවිතක්‍ෂයට පත්ව සිටියහ.

රහස්‌ පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ වෙස්‌වලා ගෙන වාරිකූට්‌ටූර් ප්‍රදේශයේ සැරිසරන බව ඒ වන විට කොටි බුද්ධි අංශ දැන සිටියහ. කොටි ත්‍රස්‌තවාදීන් රහස්‌ පොලිසියේ නිලධාරීන් ඉලක්‌ක කර ඇටවූ ක්‌ලේමෝ බෝම්බය වව්නියාවේ නිලධාරීන් පිරිස ගමන් ගත් ජීප් රථය වෙත එල්ල වූ බව පසුව දැන ගන්නට ලැබුණේය.

ඉලංගදීර් සහ වෛට්‌ටි අත්අඩංගුවට ගැනීම සඳහා රහස්‌ පොලිසියේ නිලධාරීන් ක්‍රියාත්මක කළ අවදානම් සහගත මෙහෙයුම සාර්ථක වුණේ නැත.

මේ අතර යුද හමුදාව වන්නි ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු දෙමළ තරුණයකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙම තරුණයාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ ඔහු කොටි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවය. යුද හමුදා බුද්ධි අංශ මඟින් මොහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණේ මෙම දෙමළ තරුණයා නගර සභා පිටියේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයට දායක වූ එකකු බවය.

ඒ අනුව මෙම දෙමළ තරුණයාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරුණේය. සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළේ පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින්ය.

සැකකටයුතු තරුණයා සත්‍යවේල් ඉලංගේශ්වරන් නොහොත් සදීෂ් බව හෙළිවන්නේ මෙම ප්‍රශ්න කිරීම්වලදීය. නගර සභා පිටියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සදීෂ් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවකු විය.

බෝම්බ ඇඳුම් කට්‌ටලය වන්නියේ සිට කොළඹ කොටහේන බ්ලූමැන්ඩල්හි පිහිටි කාලි කෝවිල වෙත රැගෙන ආවේ සදීෂ් බව ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය.

මම රස්‌සාව කළේ මන්නාරමේ මොහොමඩ් මුදලාලි ළඟ. එයාගේ කඩේ වෑන් එක එලෙව්වෙ මම. කොටි සංවිධානයේ ඉලංගේශ්වරන්ගේ ඕඩර් එකට තමයි මම බෝම්බ ජැකට්‌ එක කොළඹට ගෙනාවේ. මොහොමඩ් මුදලාලිගෙ වෑන් එකේ බඳ කොටසේ හංගලා ජැකට්‌ එකයි තව බෝම්බ පාර්සලයකුයි ගෙනාවා.

ඒක බ්ලූමැන්ඩල් කෝවිලේ රගුපති ෂර්මාට භාර දුන්නා. බෝම්බ ජැකට්‌ එක අරගෙන ආවේ අබ්දුල් කයුම් කියලා මගේ යාළුවෙක්‌ එක්‌ක. පුරහල පිටියේදී පුපුරුවා හරිනු ලැබූ මිනිස්‌ බෝම්බයට ඇන්ද වූ බෝම්බ කබාය කොළඹට රැගෙන ආ ආකාරය පිළිබඳව සදීෂ් සියලු තොරතුරු හෙළි කළේය.

අබ්දුල් කයුම්ව මේ වැඩේට සම්බන්ධ කරගත්තෙ ලස්‌සන කෙල්ලක්‌ එක්‌ක රැයක්‌ ගත කරන්න චාන්ස්‌ එකක්‌ දෙන පොරොන්දුව පිට. බෝම්බ ජැකට්‌ එක අරගෙන අපි මන්නාරමේ ඉඳලා පුත්තලම පාරේ හලාවත මීගමුව, වත්තල හරහා කොටහේනට ගියා.

හලාවතදී අපි දෙන්නා ගණිකා මඩමකට ගියා. එදා රාත්‍රිය ගත කළේ ලස්‌සන කෙල්ලො දෙන්නෙක්‌ එක්‌කයි. මට පැවරිලා තිබුණේ බෝම්බ ජැකට්‌ එක කොටහේනේ කෝවිලට භාරදෙන කාර්ය. මන්නාරමේ ඉඳලා කොළඹ එද්දී ආමි රෝඩ් බ්ලොක්‌ තුනකදී අපිව චෙක්‌ කළා. ඒත් ඒ අයට බෝම්බ ජැකට්‌ එක සොයා ගන්න බැරි වුණා.

සදීෂ් තමන් වෙත පැවරී තිබූ කාර්ය රහස්‌ පොලිස්‌ නිලධාරීන් හමුවේ නොසඟවා කියා සිටියේය.

සදීෂ්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ ක්‍රියාත්මක කළ පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීන් වව්නියාව මන්නාරම පාරේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන ගිය මුස්‌ලිම් ව්‍යාපාරිකයා සමඟ ඔහුට අයත් වෑන් රථය අත්අඩංගුවට ගත්තේය. සදීෂ් බෝම්බ ඇඳුම් කට්‌ටලය ප්‍රවාහනය සඳහා යොදා ගෙන තිබුණේ මෙම වෑන් රථය බව ඒ වන විට හෙළිව තිබුණේය.

සදීෂ් සහ කයුම් හලාවතදී රැය පහන් කළ ගණිකා නිවාසයේ තරුණ කාන්තාවන් දෙදෙනාද රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

තමන් සමඟ රැය පහන් කළේ සදීෂ් බව එක්‌ තරුණ කාන්තාවක්‌ හඳුනා ගත්තේය. අනෙක්‌ තරුණ කාන්තාව කියා සිටියේ තමන් සමඟ රැය පහන් කළ පුද්ගලයා මුස්‌ලිම් ජාතිකයකු බවය. ඇය එසේ කීවේ එම තරුණයාගේ ශරීර අවයවවලින් ඔහු මුස්‌ලිම් ජාතිකයකු බව හඳුනාගෙන තිබූ නිසාය.

බෝම්බ ඇඳුම් කට්‌ටලය සඟවාගෙන එද්දී මන්නාරම සහ කොළඹ අතර යුද හමුදා මාර්ග බාධක තුනකදීම වෑන් රථය පරීක්‍ෂාවට ලක්‌කර තිබිණි. මෙම වෑන් රථය පරීක්‍ෂාවට ලක්‌වූ බවට තොරතුරු රහස්‌ පොලිසිය සොයා ගන්නේ එම මාර්ග බාධකවල තිබූ වාහන පරීක්‍ෂාව සටහන් කළ ලේඛන පරීක්‍ෂා කිරීමෙන්ය.

සදීෂ් සමඟ බෝම්බ ඇඳුම් කට්‌ටලය කොළඹට රැගෙන ආ අබ්දුල් කයුම් අත්අඩංගුවට ගැනීම සඳහා රහස්‌ පොලිසිය සැලසුමක්‌ සකස්‌ කළේය.

“සර්… කයුම්ගෙ ගෙවල් තියෙන්නෙ මන්නාරම පෙරියකුලම් කියන ඒරියා එකේ. මේ පළාත එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තියෙන්නෙ.”

සදීෂ්ගෙන් ප්‍රශ්න කිරීමේදී කයුම් පදිංචිව සිටින ස්‌ථානය පිළිබඳ තොරතුරු හෙළිකළේය. අබ්දුල් කයුම් කෙසේ හෝ අත්අඩංගුවට ගත යුතු විය. ඒ සඳහා කොටි පාලන ප්‍රදේශයක්‌ වූ පෙරියකුලම් වෙත යායුතුය. පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීන් පිරිසක්‌ පෙරියකුලම් බලා යන්නට සැලසුම් සකස්‌ කළහ.

මුස්‌ලිම් ජාතිකයන් ලෙස වෙස්‌මාරු කරගෙන පාපැදිවලින් පෙරියකුලම් කොටි පාලන ප්‍රදේශය වෙත යන්නට පොලිස්‌ නිලධාරීන් සූදානම් වූහ.

මෙහෙයුමට නායකත්වය දුන්නේ පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිලය. තවත් නිලධාරීන් සිව් දෙනෙක්‌ ඊට එක්‌ව සිටියහ.

මොවුන් සියලු දෙනා මුස්‌ලිම් ජාතිකයන් ලෙස සිය වේශය මාරුකර ගත්හ. මුස්‌ලිම් ජාතිකයන් හිසේ පළඳින තොප්පිවලින් සහ ඇඳුම්වලින් සැරසුණු රහස්‌ පොලිසියේ නිලධාරීන් පාපැදිවල නැගී පෙරියකුලම් කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වූහ.

මුස්‌ලිම් ජාතිකයන් මෙන්ම දෙමළ ජාතිකයන් මෙම ප්‍රදේශයේ ජීවත්ව සිටියහ. මුස්‌ලිම් ජාතිකයන්ගේ වෙස්‌ ගෙන සිටි පොලිස්‌ නිලධාරීන් කිසිවකුගේ අවධානයට ලක්‌ වුණේ නැත.

පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීන් සිංහල භාෂාවෙන් වචනයක්‌ හෝ කතා නොකරන්නට වගබලා ගත්හ. යම් හෙයකින් තමන් පිළිබඳව කොටි ඔත්තුකරුවන් වෙත තොරතුරක්‌ ලැබුණහොත් අත්විඳින්නට සිදුවන භයානක ඉරණම ඔවුන් දැන සිටියහ.

කිසියම් හදිසි අවස්‌ථාවක්‌ ඇතිවූවොත් ඊට මුහුණදීම සඳහා වෙස්‌වලාගෙන සිටි නිලධාරීන් රිවෝල්වරය බැගින් ඉනේ සඟවාගෙන සිටියහ.

පෙරියකුලම් ප්‍රදේශයේ සැඟවී සිටින අබ්දුල් කයුම් සොයන්නට පොලිස්‌ නිලධාරීන් එදින දහවල් වනතුරුම දැඩි උත්සාහයක නිරත වූහ.

කිසිවකුටත් සැක නොසිතෙන අයුරින් මේ කාර්ය කළ යුතු විය. සදීෂ් ලබාදී තිබූ තොරතුරු ඔස්‌සේ කළ මෙහෙයුම අවසානයේ සාර්ථක කර ගන්නට පොලිස්‌ නිලධාරීන්ට හැකි විය.

අබ්දුල් කයුම් පදිංචි නිවස සොයාගත් රහස්‌ පොලිසියේ නිලධාරීන් එයට ඇතුළුවීමට සැලසුම් සකස්‌ කළහ.

කලබලයක්‌ ඇති නොවන විදිහට මේ වැඩේ කරන්න ඕනෙ. අපේ තුන්දෙනෙක්‌ කයුම්ගේ ගේ වටේ ඇම්බුෂ් කරගෙන ඉන්න. මම ගෙට පැනලා කයුම්ව ඇරස්‌ට්‌ කරනවා. අපි මිනිහව කොහොම හරි අරගෙන යන්න ඕනෙ.”

පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල තම සහෝදර නිලධාරීන්ට කීවේය. මෙහෙයුම භාර නිලධාරියාගේ නියෝගවලට අවනත වූ සෙසු නිලධාරීන් කයුම් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූහ.

පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල සහ තවත් නිලධාරියකු එකවරම කයුම්ගේ නිවසට ඇතුළු වුණේය.

අපි මන්නාරමේ මොහොමඩ් මුදලාලිගේ පණිවිඩේට ආවෙ. කයුම් හම්බවෙන්න පුළුවන්ද?

වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා නිවසේ සිටි කාන්තාවගෙන් විමසුවේ දෙමළ භාෂාවෙන්ය. කාන්තාවට මේ ආගන්තුක පුද්ගලයන් දෙදෙනා ගැන සැකයක්‌ නැත. ඇය නිවස තුළ සිටි කයුම්ට කතා කළාය.

කොටි පාලන ප්‍රදේශයේ සිටියදී පොලිසියෙන් තමන්ට තර්ජනයක්‌ එල්ල වෙතැයි කයුම් කිසි දිනක සිතුනේ නැත. සදීෂ් ඒ වන විට රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින බව කයුම් දැන සිටියේය.

කයුම් එකවරම නිවස තුළ සිට පිටතට ආවේ ආගන්තුක මුස්‌ලිම් ජාතිකයන් කවුදැයි විමසමින්ය.

අපි මන්නාරමේ මොහොමඩ් මුදලාලිගේ පණිවිඩයකට ආවෙ. පොඩි බිස්‌නස්‌ වැඩක්‌ ගැන කතාකර ගන්න තියෙනවා.

චතුර ලෙස දෙමළ භාෂාව හැසිර වූ වෙස්‌වලා ගත් පොලිස්‌ නිලධාරියා සූක්‍ෂ්මව කයුම් රවටාගෙන නිවසින් පිටතට ආවේය.

කිසිවකුටත් නොපෙනෙන ස්‌ථානයකට කයුම් රැගෙන ගිය පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඉනේ සඟවාගෙන සිටි පිස්‌තෝලය ගෙන කයුම්ගේ උදරයට තබා තද කළේය.

උඹව මෙතනම වෙඩි තියල දානවා. කෑගැහුවොත් අපි කියන විදිහට වැඩ කරපන්. අපේ ටීම් එකක්‌ම මේ ගම වට කරලා ඉන්නේ. ඒ නිසා දඟලන්න ගත්තොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල කයුම්ගේ කනට කර කීවේය. කයුම් දියෙන් ගොඩගත් මත්ස්‍යයකු මෙන් ගැහෙන්නට විය. ඔහුගේ සිරුර දහදියෙන් නැහැවී ගොසින්ය. “උඹ කලබල නොකර නැගපන් මේ බයිසිකලේට. ප්‍රශ්න ඇති කළොත් ඔළුව කුඩුවෙන්න වෙඩි තියනවා. පේනව නේද අපේ ටීම් එක….

පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙස්‌වලාගෙන සිටි තම සඟයන් පෙන්වමින් කයුම්ට තර්ජනය කළේය. කිසිදු ප්‍රශ්නයක්‌ ඇති නොවන ලෙස කයුම් පෙරියකුලම් ප්‍රදේශයෙන් රැගෙන යා යුතුය.

ජනපතිනියට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ කොටි ත්‍රස්‌තවාදීන්ට වසර 590 ක සිර දඬුවම් නියම වූ නඩු විභාගය ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.

හේමන්ත රන්දුණු