Sun. Jul 21st, 2024
Spread the News

ජනපතිනියට ඇසක්‌ අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව 03
කොළඹ නගරය දෙදරවමින් මිනිස්‌ බෝම්බය පුපුරා ගියේය

මෙතෙක්‌ කතාව

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය සඳහා කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් නියෝගයක්‌ ලැබිණි. කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්‌ටු අම්මාන් ඊට සැලසුමක්‌ සකස්‌ කළේය.

ප්‍ර්‍රහාරක සැලසුම භාර කෙරුණේ බුද්ධි අංශයේ ඉලංගදීර් සහ වෛට්‌ටි යන කොටි සාමාජිකයන්ටය.

තමිල් සෙල්වි චන්ද්‍රිකා ඝාතනය සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානමින් සිටියාය. වන්නියේ සිට මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම කොළඹට ගෙන ආවේ සදීෂ්ය. කොළඹ බ්ලූමෙන්ඩල් කාලිඅම්මාන් කෝවිලේදී ප්‍රහාරය සඳහා තමිල් සෙල්වි සූදානම් වූ අයුරු තුන්වැනි කොටසින් දිගහැරෙයි.

අද එතැන්සිට


                                              ඇසක්‌ බිළිදී ජීවිතය බේරාගත් හිටපු ජනපතිනිය
ඉන් දින කීපයකට පසුව ජනතාව ඉදිරියේ

ඒ 1999 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනිදාය. කොටහේන බ්ලූමැන්ඩල් පාරේ පිහිටි කාලිඅම්මාන් කෝවිලේ උදෑසන පූජාව පැවැත්වෙමින් තිබිණි. පූජාව සඳහා පැමිණි බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් වැඳ නමස්‌කාර කරගෙන සිටිති.

පූජාව පවත්වමින් සිටියේ දේවාලයේ ප්‍රධාන පූසාරිවරයා වූ රගුපති ෂර්මාය. පූජාවට එක්‌ව සිටි බැතිමතුන්ට මඳක්‌ ඔබ්බෙන් කාලවර්ණ කෙසඟ තරුණ කාන්තාවක වූවාය. ඇය සමීපයේ තවත් මැදිවියේ පුද්ගලයෙකි.

මොවුන් දෙදෙනා පැමිණ සිටියේ කෝවිලේ ප්‍රධාන පූසාරිවරයා මුණගැසීමටය. උදැසන පූජාව නිම කළ රගුපති ෂර්මා දේවාලයෙන් පිටතට ආවේය. කාන්තාව සමඟ රැඳී සිටි මැදිවියේ පුද්ගලයා පූසාරියාට දකුණු අත ඔසවා සංඥවක්‌ කළේය.

රගුපති ෂර්මාගේ මුහුණේ ඇඳී තිබුණේ මහා බැරෑරුම් පෙනුමකි. ඔහු දැඩි ලෙස කලබලයට පත්ව සිටින බවක්‌ පෙනෙන්නට තිබුණේය. ඔහුගේ මලානිකව සුදුමැලි වී ගිය මුහුණ දෙස මැදිවියේ පුද්ගලයා සහ කාන්තාව එක එල්ලේම බලා සිsටියි. නිහැඬියාව බිඳිමින් මැදිවියේ පුද්ගලයා කටහඬ අවදි කළේය.

“වව්නියාවෙන් ආව ඇල්බම් එකට දාන්න අපි ෙµdටෝ අරගෙන ආවා” මැදිවියේ පුද්ගලයා රගුපති ෂර්මාට පමණක්‌ ඇසෙන සේ කීවේය. සදීෂ් නමැති කොටි ත්‍රස්‌තයා වවුනියාවේ සිට බෝම්බ පාර්සල් දෙක සමඟ රැගෙන ආ ඡායාරූප රහිත ඇල්බමය රගුපති ෂර්මාගේ සිsහියට නැගුණේය. මේ ඡායාරූප රහිත ඇල්බමය චන්ද්‍රිකා ඝාතන සැලසුම සඳහා පණිවිඩ හුවමාරුවට කොටි සාමාජිකයන් යොදා ගත් රහස්‍ය සංඥ ක්‍රමයක්‌ විය.

මේ ඉන්නෙ තමිල් සෙල්වි. මෙයා හෙට හවස 4.00 වෙනකොට කෝවිලට එනවා. කිසිම ප්‍රශ්නයක්‌ ඇති නොවන විදිහට වැඩ ටික කරගෙන යන්න. කරන්න ඕනෙ හැම දෙයක්‌ම මෙයා දන්නවා. එයා කියන විදිහට ඔයගොල්ලො වැඩ කරන්න.

තමිල් සෙල්වී සමඟ සිටි මැදිවියේ පුද්ගලයා පූසාරිවරයාට කීවේය. රගුපති ෂර්මා ගල්ගැසී මොහොතක්‌ තමිල් සෙල්වී දෙස බලා සිටියේය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සූදානමින් සිටින කොටි බෝම්බය තමන් ඉදිරියේ ජීවමානව සිටියි. රගුපති ෂර්මාගේ සිත ගැහෙන්නට විය. සිරුරම දහදියෙන් නැහැවී ගොසින්ය. බියට පත් වූ බවක්‌ ඔහු පෙන්නුවේ නැත.

තමිල් සෙල්වී සමඟ පැමිණ සිටි මැදිවියේ පුද්ගලයා කොටි බුද්ධි අංශයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු නමින් ක්‍රිෂ්ණාය. තමිල් සෙල්වීගේ සහායකයා මෙන්ම ඇය හසුරුවන්නා ලෙස කටයුතු කළේ ද ක්‍රිෂ්ණාය.

කාලිඅම්මාන් කෝවිල සිසාරා තමිල් සෙල්වීගේ දැස්‌ දිවයයි. ඇයගේ මුහුණ මලානිකව ගොසින්ය. ඇය මහා බියකින් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි.

ඒ වන විට තමිල් සෙල්වී තම ඉලක්‌කය කුමක්‌දැයි දැන සිටියාය. වවුනියාව අවරන්තලාව කොටි කඳවුරෙන් පිටත් වූ ඇය කොළඹට එන්නේ ක්‍රිෂ්ණා සමඟය. ඇය කොළඹට පැමිණියේ කෙසේද යන්න හෙළිවී තිබුණේ නැත. තමිල් සෙල්වීගේ සහායකයා ලෙස ක්‍රියා කළ ක්‍රිෂ්ණා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා ඇය කොළඹට පැමිණි ආකාරය හෙළිකරගන්නට රහස්‌ පොලිසියට හැකිවී තිබුණේ නැත.

එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය තම ඉලක්‌කය බව තමිල් සෙල්වී දැන ගත්තේ කොළඹට පැමිණෙන්නට දින දෙකකට උඩදීය.

ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳව අවරන්තලාව කඳවුරේදී තමිල් සෙල්වීට මනා පුහුණුවක්‌ ලැබුණේය. චන්ද්‍රිකා ඝාතන සැලසුමේ ප්‍රධානීන් දෙදෙනා ලෙස කටයුතු කරමින් සිටි ඉලංගදීර්ගෙන් සහ වෛට්‌ටිගෙන් ලැබුණු උපදෙස්‌ සහ නියෝග ඇය අකුරටම ඉටුකිරීමට සූදානමින් සිටියාය. තමිල් සෙල්වී සහ ක්‍රිෂ්ණා කාලිඅම්මාන් කෝවිලේ පැයකට ආසන්න කාලයක්‌ ගත කළහ. ඔවුන් දෙදෙනා ඉන් පිටව යන්නේ පසුදා සවස 4.00 ට කෝවිල වෙත පැමිණෙන බවට පොරොන්දු වෙමින්ය.

ජනාධිපතිවරණ උණුසුම මුළු රටම වෙලාගෙන තිබුණේය. 1999 වර්ෂයේ දෙසැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්‌වීම්වල අවසන් දිනය විය.

පොදුජන එක්‌සත් පෙරමුණේ අවසන් රැස්‌වීම පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ පුරහල භූමියේය. කොළඹ නගර සභා භූමියට සහ ඒ අවට ප්‍රදේශවලට දැඩි ආරක්‍ෂාවක්‌ යොදවා තිබිණි. පොලිසිය විශේෂ කාර්ය බළකාය මෙන්ම යුද හමුදාව ද අවසන් රැලියේ ආරක්‍ෂාවට යොදා සිටියහ.

ජනාධිපතිවරණයේ අවසන් රැලිවලට කොටි ත්‍රස්‌තයන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවට බුද්ධි අංශ මගින් දිගින්දිගටම දැනුවත් කර තිබුණේය. එහෙත් ඒ අනතුරු ඇඟවීම් කිසිවක්‌ දේශපාලනඥයන් ගණනකට ගෙන තිබුණේ නැත. කොළඹ ආරක්‍ෂාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙමින් තිබිණි. එහෙත් මුළු රටටම හොරා කොටහේන බ්ලූමෙන්ඩල් කාලිඅම්මාන් කෝවිලේ මහා ප්‍රහාරක සැලසුමක්‌ ක්‍රියාවට නංවමින් තිබුණේය.

19 වැනිදා සවස 4.00 වන විට තමිල් සෙල්වී කාලිඅම්මාන් කෝවිල වෙත පැමිණ සිටියාය. ඇගේ සහායකයා වූ ක්‍රිෂ්ණා එදින සිටියේ නැත.

රගුපති ෂර්මාගේ නිවස පිහිටා තිබුණේ ද කෝවිල භූමියේම එක්‌ පසෙකය. තමිල් සෙල්වී ඒ නිවසේ කාමරයකට ඇතුළු වූවාය.

කේක්‌ පාර්සල් ලෙස කොළඹට රැගෙන ආ බෝම්බ පාර්සල් දේවාලයේ රහසිගත ස්‌ථානයක සඟවා තිබුණේය. එය ඉවතට ගත් රගුපති බෝම්බ පාර්සල් දෙක තමිල් සෙල්වී අත තැබුවේය. රගුපති ෂර්මා කාමරයෙන් පිටවුණේය. ඔහුගේ බිරිඳ තමිල් සෙල්වීගේ සහායට ඉදිරිපත්ව සිටියාය.

තමිල් සෙල්වී ඇඳ සිටි බ්ලවුසය සහ සාය ඇය ඉවත් කළාය. යට ඇඳුම පිටින් සිටි ඇය පාර්සලයේ තිබූ බෝම්බ ඇඳුම ඇඟලා ගත්තාය.

බෝම්බ ඇඳුම ඇඳගැනීමට ඇයට උපකාර කළේ පූසාරිවරයාගේ බිරිඳය. කිලෝග්‍රෑම් 10 කට ආසන්න බරින් යුත් බෝම්බ ඇඳුම් කට්‌ටලය ක්‍රියාත්මක කිරීමට ස්‌වීච දෙකක්‌ සවිකර තිබුණේය.

බෝම්බ ඇඳුම් කට්‌ටලය පැළඳගැනීමට මෙන්ම එය ක්‍රියාත්මක කිරීමට තමිල් සෙල්වී මනා පුහුණුවක්‌ ලබා සිටියාය. ඒ වවුනියාව අවරන්තලාව කොටි කඳවුරේදීය.

විනාඩි කීපයක්‌ ගතවන්නට පෙර බෝම්බ ඇඳුම සිරුරේ පළඳා ගැනීමට ඇයට හැකිවිය. පුපුරන ද්‍රව්‍ය ගබඩා කළ බෝම්බ ඇඳුම් කට්‌ටලය තමිල් සෙල්වීගේ සිරුරේ ඉදිරිපස කොටසේ සවිකර තිබිණි. බෝම්බය පිපිරී යැමේදී ඉදිරිපස සිටින පුද්ගලයන්ට දැඩි හානියක්‌ වන ලෙස එය සකස්‌ කර තිබුණේය.

අලුත්ම ඇඳුම් කට්‌ටලයක්‌ තමිල් සෙල්වී විසින් රැගෙනවිත් තිබිණි. තද දුඹුරු පැහැයෙන් යුත් බ්ලවුසයක්‌ සහ සායක්‌ ඇඟලාගත් ඇය අවසන් ප්‍රහාරය සඳහා සූදානම් වූවාය.

කොටි බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක්‌ ඒ වන විට ඔත්තු බැලීමේ කාර්යයේ යෙදී සිටියහ. කොළඹ නගර සභාව අවට ප්‍රදේශයේ සැරිසරමින් ඔවුන් තොරතුරු ලබාදුන්නේ ක්‍රිෂ්ණාටය.

කාලිඅම්මාන් කෝවිල වෙත නොපැමිණි ක්‍රිෂ්ණා කොටහේන ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක රැඳී සිටියේය. තමිල් සෙල්වී බෝම්බ ඇඳුමින් සැරසී එනතුරු ඔහු බලා සිටියේය.

19 වැනිදා රාත්‍රිය උදාවෙමින් තිබිණි. ජනාධිපතිවරණ උණුසුමෙන් මුළු කොළඹම අවදි වී තිබිණි. පොදුජන එක්‌සත් පෙරමුණේ ප්‍රධාන රැලිය පැවැත්වෙන පුරහල භූමිය කරා කොළඹ නගරයේ ස්‌ථාන කීපයකින් පෙළපාලි එන්නට සැලසුම් කර තිබුණේය.

ආරක්‍ෂක අංශවල පරීක්‍ෂාවට ලක්‌ නොවී රැස්‌වීම් භූමිය කරා ගමන් කළ හැකි එකම ක්‍රමය මේ පෙළපාලියකට සම්බන්ධවීම බව ඒ වන විට ක්‍රිෂ්ණා දැන සිටියේය. ඔහු කලින්ම ඒ බව තමිල් සෙල්වීට ද කියා තිබුණේය.

ග්‍රෑන්ඩ්පාස්‌, කොටහේන, මෝදර ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වයෙන් පෙළපාලියක්‌ සංවිධානය කිරීමට එවකට බොරැල්ල ප්‍රදේශයේ තරුණ දේශපාලනඥයකු කටයුතු කරමින් සිටියේය. චන්ද්‍රිකා කුමාරතුංගට ඉතාම සමීප මේ දේශපාලනඥයා සිය පෙළපාලිය සාර්ථකව කරගෙන යැමට හැකි උපරිම උත්සාහය ගත්තේය.

කොළඹ උතුර දෙසින් ගමන් කරන මේ පෙළපාලිය ඔස්‌සේ නගර සභා පිටිය වෙත යන්නට තමිල් සෙල්වී සහ ක්‍රිෂ්ණා ඒ වන විට සැලසුම් කරගෙන සිටියහ.

කොළඹ නගර සභා පිටියට ඇතුළු වන සෑම පුද්ගලයකුම පරීක්‍ෂා කිරීම සඳහා ධර්මපාල මාවතේ ආරක්‍ෂිත දොරටු සකස්‌ කර තිබුණේය. නගර සභා පිටිය වෙත වෙනත් කිසිම ස්‌ථානයකින් කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ කඩ ලබා දී තිබුණේ නැත.

ජනාධිපති ආරක්‍ෂක අංශය එවකට භාරවී තිබුණේ වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් වෙතය. ජනාධිපති ආරක්‍ෂක අංශයේ එවකට අධ්‍යක්‍ෂවරයා වූ පොලිස්‌ අධිකාරි නිහාල් කරුණාරත්න පෞද්ගලිකව පැමිණ මේ ආරක්‍ෂක කටයුතු සොයා බැලුවේ ජනාධිපතිවරණය පැවැත්වෙන අවසන් මොහොතේ ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට කොටි සංවිධානය සැලසුම් කරගෙන සිටින බවට බුද්ධි අංශ මගින් දැඩි ලෙස අවධාරණය කර තිබීම නිසාය.

එහෙත් රාත්‍රිය වන විට කොළඹ නගර සභා පිටිය වෙත ජන ගඟක්‌ ගලා එන්නට විය. හතර අතින් පෙළපාලි ඔස්‌සේ ඇදී එන ජනතාව පාලනය කර ගැනීමට පොලිසියට හෝ යුද හමුදාවට හැකියාවක්‌ තිබුණේ නැත.

ධර්මපාල මාවතේ තිබූ ඇතුළුවීමේ දොරටු හරහා යන පුද්ගලයන් පරීක්‍ෂා කිරීම ක්‍රමවත්ව සිදු නොවුණේ ඒසා විශාල ජනකායක්‌ එකවරම රැස්‌වීම් භූමියට ඇතුළුවීමට උත්සාහ කිරීම නිසාය. රැස්‌වීම් භූමියට ඇතුළු වන ඇතැම් පුද්ගලයන් පරීක්‍ෂා කිරීමට යැමේදී ආරක්‍ෂක අංශ නිලධාරීන්ට ඇනුම් බැණුම් අසන්නට පවා සිදුවිය.

“අපි අහවල් දේශපාලනඥයගෙ ගෝලයො. අපිව පරීක්‍ෂා කරන්නෙ මොකටද අපිට මෙතැනට යන්න කාගෙන් අවසර ගන්නද?

පෙළපාලියේ පැමිණි පොදුජන එක්‌සත් පෙරමුණේ ආධාරකරුවන් විවිධ දේශපාලනඥයන්ගේ හයිය ප්‍රයෝජනයට ගෙන රැස්‌වීම් භූමියට ඇතුළු වූහ.

අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් තමිල් සෙල්වී සහ ක්‍රිෂ්ණා කොළඹ උතුර ප්‍රදේශයේ සිට පැමිණි පෙළපාලිය ඔස්‌සේ පුරහල භූමියට ළඟා වූහ.

ඒ වන විට පුරහල භූමිය එකම හිස්‌ ගොඩකි. කොළඹ උතුරු ප්‍රදේශයේ සිට ආ පෙළපාලිකරුවන් ගැලකඩා ගත් ගව රැලක්‌ මෙන් රැස්‌වීම් භූමියට ඇතුළු වූහ.

ඔවුන් පාලනය කිරීමට ආරක්‍ෂක අංශ දැරූ උත්සාහය ගඟට කපා දැමූ ඉණි මෙන් විය. ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් තමිල් සෙල්වී කිසිදු අවහිරයකින් තොරව රැස්‌වීම් භූමියට ඇතුළු වූවාය. ක්‍රිෂ්ණා ද ඇය සමීපයේම සිටියේය.

“පුළුවන් තරම් ස්‌ටේඡ් එක කිට්‌ටුවට යන්න. ජනාධිපති කතාව කරලා ස්‌ටේඡ් එකෙන් බැහැල එනකොට ඒ කිට්‌ටුවට ගිහින් බ්ලාස්‌ට්‌ කරන්න.”

ක්‍රිෂ්ණා තමිල් සෙල්වීට අවසන් උපදෙස්‌ කීපය ද ලබා දුන්නේය. තමන් මේ ගතකරන්නේ තම ජීවිතයේ අවසන් හෝරා කීපය බව තමිල් සෙල්වී හොඳින් දැන සිටියාය.

තමිල් සෙල්වීගෙන් සමුගත් ක්‍රිෂ්ණා රැස්‌වීම් භූමියේ පසෙකට වී සිදුවන්නේ කුමක්‌දැයි නිරීක්‍ෂණය කරමින් සිටියේය.

ඒ වන විට වව්නියාව මායිමේ පිහිටි යන්ගරාවුර් කොටි කඳවුරේ බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක්‌ද දැඩි ලෙස නොඉවසිලි මත්ව සිටියහ.

චන්ද්‍රිකා කුමාරතුංග ඝාතන සැලසුමේ ප්‍රධානීන් දෙදෙනා වන ඉලංගදීර් සහ වෛට්‌ටි ඒ අතර සිටියහ. වේලායුධන් මෙන්ම කොටි බුද්ධි අංශ සාමාජිකයන් රැසක්‌ ඒ අතර වූහ. ඉලංගදීර් කුඩා රේඩියෝවක්‌ කනේ තබාගෙන සිටියි. ඔහු දෙමළ ගුවන් විදුලි සේවාවක්‌ ඔස්‌සේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති විකාශයට සවන් දෙමින් සිටියේ මහත් උනන්දුවෙන්ය.

1999 වර්ෂයේ ජනාධිපතිවරණයේ අවසන් රැලියට චන්ද්‍රිකා කුමාරතුංග සහභාගි වන්නේ ජනතාවගේ මහා ඔල්වරසන් හඬ මධ්‍යයේය. එදින මධ්‍යම රාත්‍රියෙන් සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමට නියමිතව තිබුණේය.

ස්‌වර්ණවාහිනිය ඔස්‌සේ විකාශය වූ රතු ඉර දේශපාලන සංවාදය එදින වෙන් වී තිබුණේ චන්ද්‍රිකා කුමාරතුංග වෙතය. පුරහල භූමියේ රැස්‌වීම ඇමතීමෙන් පසු ඇය ස්‌වර්ණවාහිනිය වෙත යැමට නියමිතව සිටියාය. තමිල් සෙල්වීගේ උකුසු ඇස්‌ පුරහල භූමියේ ඉදිකර තිබූ වේදිකාව වෙත යොමුවී තිබුණි. අවසන් රැලියේ අවසන් කතාව චන්ද්‍රිකා කුමාරතුංග විසින් සිදුකරන්නට පටන් ගත්තේ රැස්‌ව සිටි ආධාරකරුවන්ගේ මහා ඔල්වරසන් හඬ මධ්‍යයේය.

හිටිහැටියේම පුරහල භූමිය වෙත වර්ෂාවක්‌ ඇදහැලෙන්නට පටන් ගත්තේය. ඒ වන විට චන්ද්‍රිකා කුමාරතුංග සිය කතාව අවසන් කර වේදිකාවෙන් බිමට බසින්නට සූදානම් වූවාය.

ඇදහැලෙන වර්ෂාව නිසා ජනතාව ඔබමොබ දිවයමින් සිටියහ. තමිල් සෙල්වී සිය ඉලක්‌කය දෙස දැස්‌ නොහෙළා බලා සිටියි. ඇය වෙඩි කෑ ඌරකු මෙන් ඉදිරියට දිවයන්නට වූවාය. රැස්‌ව සිටි ජනතාව අතරින් ඉදිරියටම ගිය ඇය වේදිකාවේ දකුණු පස ආසන්නයට පැමිණියාය. ඒ වන විට චන්ද්‍රිකා කුමාරතුංග රැගෙන යැමට පැමිණි වෙඩි නොවදින මෝටර් රථය වේදිකාව ආසන්නයේ නතර කර තිබිණි.

විදෙස්‌ මාධ්‍යවේදියකු චන්ද්‍රිකා කුමාරතුංගගෙන් ප්‍රශ්න කීපයක්‌ අසමින් සිටියේය. චන්ද්‍රිකා මෝටර් රථයට ගොඩවීම පසෙක තබා විදෙස්‌ මාධ්‍යවේදියාගේ පැනයට පිළිතුරක්‌ දෙමින් මොහොතක්‌ එහි රැඳී සිටියාය. ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් තමිල් සෙල්වී ක්‍රියාත්මක වූවාය. ඇගේ සිරුරේ ඉන දෙපස ස්‌වීචයන් දෙකක්‌ සවිකර තිබිණි. ඉන් එක්‌ ස්‌වීචයක්‌ ක්‍රියාත්මක කරනු ලැබුවේ බෝම්බ ඇඳුම් කට්‌ටලය ඇඟලා ගත් අවස්‌ථාවේදීය.

ඇයට ක්‍රියාත්මක කිරීමට තිබුණේ දකුණුපස සවිකර තිබූ ස්වීචය පමණි. ගතවුණේ නිමේශයකි. මුළු කොළඹ නගරයම දෙදරුම් කවමින් මිනිස්‌ බෝම්බය පුපුරා ගියේය. සුන්බුන් බවට පත් වූ තමිල් සෙල්වීගේ සිරුරේ කොටස්‌ මීටර් දෙතුන් සියයක දුරට විසිවී ගියේය.

මෝටර් රථය අසල රැඳී සිටි චන්ද්‍රිකා කුමාරතුංග එකවරම බිම ඇදවැටුණාය. සිදුවූයේ කුමක්‌දැයි කිසිවකුටත් සිතාගත නොහැක. මහා විලාප හඬ දසතින් දොaංකාර දෙන්නට විය.

ජනාධිපති ආරක්‍ෂක අංශ ප්‍රධානී නිහාල් කරුණාරත්න ඇතුළු නිලධාරීන් චන්ද්‍රිකා කුමාරතුංග වහාම ආරක්‍ෂාකාරී ලෙස පුරහල භූමියෙන් පිටතට රැගෙන රෝහල්ගත කිරීමට කටයුතු කළහ.

ඒ වන විට පුද්ගලයන් 26 දෙනෙක්‌ පුරහල භූමියේ මඩවී තිබූ පොළව මත වැටී අවසන් හුස්‌ම හෙළමින් සිටියහ.

තවත් 150 කට ආසන්න පිරිසක්‌ බරපතළ තුවාල සහිතව විලාප නගමින් සිටියහ. මියගිය අය අතර එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ටී. එන්. ද සිල්වා ද විය. ආරක්‍ෂක අංශ සාමාජිකයන් හයදෙනකු සහ ස්‌වාමීන්වහන්සේ නමක්‌ ද මියගිය අය අතර වූහ.

තමිල් සෙල්වීගේ ඉලක්‌කය සාර්ථක වූ බව සිතූ ක්‍රිෂ්ණා නගර සභා පිටියේ කලබල අස්‌සේ හෙමිහිට මාරුවුණේය.

ඒ වන විට ඉලංගදීර් සහ වෛට්‌ටි ගුවන් විදුලි යන්ත්‍රය කනේ ගහගෙන දෙමළ ප්‍රවෘත්තිවලට කන්දීගෙන සිටියහ. දෙමළ ප්‍රවෘත්තිවලින් කියෑවුණේ පුරහල භූමියේදී ජනාධිපතිනිය ඉලක්‌ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වූ බවයි. එහෙත් ප්‍රහාරයෙන් ජනාධිපතිනියගේ ජීවිතයට කිසිදු හානියක්‌ සිදු නොවූ බව ද ප්‍රවෘත්ති විකාශය කියා සිටියේය.

ප්‍රවෘත්ති ඇසීමෙන් පසු ඉලංගදීර්ගේ මෙන්ම වෛට්‌ටිගේ ද මුහුණු අඳුරු වී මැලවී ගොස්‌ තිබිණි. මාස ගණනක්‌ තිස්‌සේ කළ මෙහෙයුමෙන් සාර්ථක ප්‍රතිඵල අත්නොවීම ගැන ඔවුන් සිටියේ දැඩි කලකිරීමෙන්ය.

(චන්ද්‍රිකා කුමාරතුංග ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ ත්‍රස්‌තයන් සොයා රහස්‌ පොලිසිය ක්‍රියාත්මක කළ සූක්‍ෂ්ම මෙහෙයුම ලබන සතියේ බලාපොරොත්තු වන්න.)

හේමන්ත රන්දුණු