Spread the News

ශ්‍රී ලංකා දේශපාලනය හතර මං සන්ධියක අතරමං වූ ආකාරයක දෙගිඩියාවකින් ඡන්දදායකයා පසුවන මොහොතක මෙම සටහන තබන්නේ ජනතාව තව තවත් අතරමං කිරීමට නොව දැනගෙන කතරගම යන්න කියා අවවාදයක් දීමටයි.

ශ්‍රී ලංකාවේ බහුතරය වූ සිංහල බෞද්ධ ජනතාවට දෙවිවරුන් වන්දනා කිරීම නුහුරු නුපුරුදු දෙයක් නොවේ.

සතර වරම් දෙවිවරු (විෂ්ණු, කතරගම, සමන්, නාථ) සිංහල බෞද්ධයන්ට කිසිදාක ආගන්තුක වුණේ නැහැ. 

සිංහලයින්ට කතරගම දෙවියන් (කඳ සුරිඳු) දමිළ බැතිමතුන්ට ස්කන්ධ කුමාර. ඊටත් එහා හිතන්න පුළුවන් අයට මෙම දේවත්වය විශ්ව ශක්තියේම කොටසක්. බලවේගයක්.

කොටසක් කතරගමට යන්නේ දුක කියා කන්නලව් කරන්න. තව පිරිසක් එහි යන්නේ ලැබුණු පිහිටකට කෘතඥතාවය පළ කරන්න.

කතරගම ගියත් දෙවුන්දර ගියත් ශ්‍රී පාදස්ථානයට ගියත් වන්දනාකරුවන්ට පාර සොයා ගැනීමට කිසිදාක මාළිමාවක් අවශ්‍ය වුණේ නැහැ.

භක්තියයි විද්‍යාවයි යනු දෙකක් වුවත් දෙවියන්ට ළං වීමට උත්සාහ කරන මිනිසුන් තුළ ක්‍රියාත්මක වූයේ චිත්ත අභ්‍යන්තරය තුළ අවිඥානිකව සැඟවී තිබෙන මනෝ විද්‍යාවයි.

වසර 2500 කට අධික කාලයක් තිස්සේ බෞද්ධ ශිෂ්ඨාචාරය නැමැති අඛණ්ඩ ඓතිහාසික හා චෛතසික  ප්‍රවාහය ඔස්සේ ගමන් කළ හෙළ වැසියන් මා දන්නා තරමින් හතරමං හන්දිවල අතරමං වී සාක්කුවේ ඇති මාළිමාවට අතපෙව්වේ නැත.

බුදුදහම විසින් හඳුන්වා දුන් මාළිමාව ගමනක් ගොස් ආපසු ගෙදර ඒම සඳහා පාර සොයා ගැනීමට ප්‍රයෝජනවත් විය  හැකි උපකරණයක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් උප විඥානය ට යෝජනා කරන ලද “සම්මා දිට්ඨි හා “සම්මා සති” නැමැති සුවිශේෂ වූ උපාංගයක්. “තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා” මහාර්ඝ වූ වස්තුවක්. මුළු සංසාර ගමනටම උපකාරී වන මාර්ගෝපදේශනයක්.

ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නය දෙවියන් ඇදහීම හෝ ආගම නොවන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.

නමුත් ආර්ථිකය මතම හඬා වැලපෙන ජාතියකට මග පෙන්වීම සඳහා වචනයකින් හෝ දායකත්වයක් දීම අපගේ පරම යුතුකමක් සේ සළකා මෙම සටහන තැබීමට අදහස් කළෙමි.

පිරිසක් විසඳුමක් ගැන කතා කරති. තවත් පිරිසක් වෙනසක් ගැන කතා කරති. මේ හැම ප්‍රයත්නයකදීම බොරුව, වංචනික බව, රැවටීම නැවත කරළියට ගෙනැවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා දේශපාලනයේ ලොකුම ඛේදවාචකය බොරුව ඉදිරියේ සත්‍යයට හකුලාගෙන සිටීමට සිදුවීමයි.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ආර්ථිකයට පමණක්   සීමාවුණ දෙයක් නොවෙයි.

නාස්තිය දූෂණය වංචාව වැනි වචන බංකොලොත් දේශපාලකයින්ගේ මැතිවරණ සටනේ වාරුව ලබාදෙන සැරමිටියයි. වැඩියෙන් කොර ගැසූ තරමට හිඟන්නාගේ කැටයට මුදල් වැටේ.

හිඟන්නාත් හිඟන්නාට මුදල් දෙන තැනැත්තාත් අතර ලොකු වෙනසක් නැති තරමටම ආර්ථික පරිහානිය උග්‍ර වී ඇත.

ණයට මුදල් ගැනීමෙන් හෝ ණය ප්‍රතිව්‍යුහ  ගත කිරීම තුළින් ණයට කෑමේ සංස්කෘතිය විස්තාපනය වෙනවා හැර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත.

වෙනස සිදු විය යුත්තේ දේශපාලන හා ආර්ථික ලෝකයේ නොව මිනිසුන් සිතන පතන ක්‍රමයේයි.

මෙතෙක් පැවැති දේශපාලන ආර්ථික හා සමාජයීය  ක්‍රමය තුළ නිවහල් චින්තනයට ඉඩක් තිබුණේම නැත. සියල්ලටම කලින් අප චින්තනයෙන් නිවහල් විය යුතුයි.  වැළලී ගිය හෝ වළලා දමනු ලැබූ “සත්‍යය” නිධානයක් සේ සළකා වහාම ගොඩ ගත යුතුයි. ශත වර්ෂයක් වළලා තිබුණත් සත්‍යය මිය යන්නේ නැත.

ඒ සත්‍යය ගොඩගත් මොහොතේදී තමන් මෙතෙක් සත්‍යය ලෙස පිළිගෙන සිටියේ බොරු බව නව පරපුර වහාම තේරුම් ගන්නවා ඇත.

සැබෑ වෙනසේ හැරවුම් ලක්ෂය ජනතා පරමාධිපත්‍යය “කතිරය”කට හැරවීමෙන් ඡන්දදායකයාට තමන්ට මෙතෙක් මිරිඟුවක්ව තිබුණු විසඳුම හා වෙනස ඇස් පනාපිටම දැක ගනු හැකි වනු ඇත.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

01.09.2024