Fri. Jul 5th, 2024
Spread the News
Aragalaya Camping sites

චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව සෑම සත්වයෙක්ම අරගල කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහායි.

සතුන් අතර පැවැත්ම සඳහා කරන අරගලයයි, මිනිසාගේ පැවැත්ම සඳහා කරන අරගලයයි දෙකම එකක් නොවෙයි.

හැම සතෙක්ම තව සතෙකුගෙන් වෙනස් වන්නේ ජීව විද්‍යාත්මකවයි.

මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව ඇත්ත. එහෙත් අද මිනිසා යනු දියුණු මනසක් ඇති බලසම්පන්න අතීත ශිෂ්ටාචාරයන්ට උරුමකම් කිය හැකි අපූරුම නිර්මාණයක්.

කොටින්ම කිවහොත් ජීවත්වීම සඳහා මිනිසුන් අරගල නොකළ යුත්තේ මිනිසා කියන සත්වයා තුළ ඒක ශෛලිය ඇමීබාගේ සිට ඩයිනසොර් දක්වා හැම සතෙකුගේ ම ජීව විද්‍යාත්මක දර්ශකයේ අනුපිටපතක් ප්‍රවේණිගත වී ඇති නිසයි.

ඕනෑම භූගෝලීය ප්‍රදේශයක ඕනෑම දේශගුණික හා කාලගුණික තත්ත්වයක් තුළ ජීවත්වීමට තරම් නම්‍යශීලී බවක් මිනිසාට ඇති වී තිබෙන්නේ ඉහත සඳහන් පරිණාමික සාධකය නිසයි.

මිනිසා තුළ තවමත් දක්නට ලැබෙන ප්‍රධානම ප්‍රතිවිරෝධතාවය
සත්ව සහජයෙන් උරුම වූ අනෙකා නොඉවසන හා අනෙකාගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන ගතිය යි.

මෙය පුහුදුන් ගතියක් මිස පිළිකාවක් හෝ වෛරසයක් නොවෙයි.

ලෝකය තාක්ෂණයෙන් මොන තරම් දියුණු වූවත් මිනිසා විසින් සත්ව සහජය සොයා අතීතයට යෑමෙන් මිනිසත් කමට කරන තර්ජනාත්මක අභියෝගය සමස්ත මිනිස් සමාජයටම කර ඇත්තේ දැවැන්ත හානියක්.

අප අපගමනය විය යුත්තේ මිනිස් කමින් නොව නොමිනිස් බවින්.

බොළඳ වීම ළදරු වයසට අයත් වුවත් තරුණ අවධිය එළඹෙන විට වගකීම යුතුකම හා වගවීම පිළිබඳ ව සවිඥානික වීම යහපත් සමාජයක් බිහිකිරීම සඳහා අත්‍යවශ්‍යම පූර්ව කොන්දේසියක්.

රත්ත්‍රං හා මුතු මැණික් පොළොව මතට එන්න කලින් ආදිකල්පික මානවයා පොළොව මතුපිට ඇති කුඩා ගල් කැබලි හා යකඩ වළින් ආභරණ තනා ගත්තත් අද කවුරුත් ඒ ප්‍රාථමික පළඳනා භාවිතා නොකරන්නේ ඒවායේ වාණිජ වටිනාකමක් නැති නිසාම නොව රත්තරන් සහ මැණික් පැළඳීමෙන් විශ්ව ශක්තිය ඔස්සේ නිරෝගී ජීවිතයකට ඉන් බලපෑමක් ඇතිවන බව විද්‍යාත්මකවත් සොයා දැන ගැනීම නිසයි.

නමුත් මෙකියන වස්තූන්ට නූතන ලෝකය වටිනාකමක් දෙන්නේ වෙළෙඳපොළ ඊට දෙන වටිනාකම තුළින් වීම බුද්ධිගෝචර ප්‍රයත්නයක් නොවන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.

ලෝක දේශපාලනයත් ලෝක ආර්ථිකයත්, මිනිස් සදාචාරයත් රත්රන් මුතු මැණික් ඉදිරියේ දනින් වැටී ම අනාගතය පිළිබඳ හොඳ පෙරනිමිත්තක් නොවෙයි.

ශ්‍රී ලංකාවේ පොළොව යට සැඟවී ඇති මැණික් වලට වඩා වටිනා මිනිසුන් මේ රටේ දිගින් දිගටම පහළ වුණා. ඔවුන් සොයා පොළොව යටදෝනා යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ව අපට එදිනෙදා ජීවිතයේදී හමු වෙනවා.

බල ලෝභයෙන් මත් ව එකිනෙකා පරදවමින් අමානුෂික අරගලවලට යොමුවීමෙන් වැළකී අපිරිසිඳු සළු පිළිවලින් දේශපාලන නිරුවත වසා ගන්නවා වෙනුවට
අපි සැබෑ මිනිසුන් ලෙස සැපත සතුට මෙන්ම කටුකත්වයත් බෙදාහදා ගනිමු.
සාමූහික විඥානය පහළ වන්නේ එතැනයි. සමාජයක් වෙනස් කිරීමට එය අත්‍යාවශ්‍යමයි.

ආර්ථිකයෙන් පමණක් ලොව ජයගත් රටක් නැත. ආර්ථිකයත් ආධ්‍යාත්මයත් සමතුළිතයකට ගෙනවුත් ජනතාව සුඛිත මුදිත කළ ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කිව හැකි ජාතියක් කිසිසේත්ම හිඟා කෑ යුතු නැහැ.

ඇතැම් කුහකයින් අපගේ අභිමානයට සරදම් කරමින් සිනාසුනත් එය තවමත් අපගේ නොකැළැල් අභිමානයයි.

චින්තනයයෙන් අපි නිදහස් වෙමු. නිවහල් වෙමු. අනාරක්ෂිත බවෙන් මිදෙමු.

නිවැරදිව පිළිස්සු එක ගඩොලක් මුළු ගොඩනැගිල්ලම ශක්තිමත් කරනු ඇත.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

24.02.2023