Spread the News

ගුණරත්නම්ට වරම් නැත්තේ ඇයි?

පසුගිය නොවැම්බර් 05 වැනිදා සවස 1.50 ට පමණ කෑගල්ල ප්‍රදේශයේ සිය මවගේ නිවසේදී කුමාර් ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝගාතුරව සිටින සිය මව බැලීමට ගිය අවස්‌ථාවේදීය. අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය මඟින් ඔහුව කෑගල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහු ඕස්‌ටේ්‍රලියානු පුරවැසියකු බවත් වීසා කාලය ඉක්‌මවා ඔහු රැඳී සිටින බවත් එනිසා ඔහු රටින් පිටුවහල් කිරීමට නියෝගයක්‌ දෙන ලෙසත්ය. එහෙත් එහිදී මහෙස්‌ත්‍රාත්වරයාට කුමාර් සහෝදරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ නුවන් බෝපගේ කරුණු දක්‌වමින් පවසා සිටියේ ඔහු ලාංකිකයකු බවත් එය ඔප්පු කිරීම සඳහා තොරතුරු තිබෙන බවත්ය. ඒ නිසා ඔහු රටින් පිටුවහල් නොකරන ලෙසත්ය. මෙම කරුණු සියල්ලටම අවධානය යොමු කළ මහෙස්‌ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ රටින් පිටුවහල් කිරීමේ තීරණයක්‌ ගැනීමට අධිකරණයට නොහැකි බවත් එවැනි තීරණයක්‌ ගන්නවා නම් එය ගත යුත්තේ විෂය භාර ඇමැතිවරයා විසින් බවත්ය.

කුමාර් ගුණරත්නම්ගේ ලාංකික පුරවැසිභාවය පිළිබඳව හා ඕස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය පිළිබඳ නීතිමය ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් එම ගැටලුව විසඳීම සඳහා අධිකරණයේ මෙම නඩුව පවත්වා ගත යුතු බව පවසමින් ඔහු නොවැම්බර් 18 වැනිදා තෙක්‌ ගුණරත්නම් සහෝදරයා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ලංකාවේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුවට අදාළව අප විසින් දිගින් දිගටම ඉදිරිපත් කළ මූලික දේශපාලන අදහස මෙහිදීද තවදුරටත් සනාථ වී ඇත. ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධ තීරණය ගත යුත්තේ අධිකරණ විෂය පථය හරහා නොවන බවත් එය විධායකය විසින් එනම් පවතින ආණ්‌ඩුව විසින් ගත යුත්තක්‌ බවත් මහෙස්‌ත්‍රාත්වරයාගේ ඉහත මැදිහත්වීමෙන් නැවතත් ඔප්පු වී ඇත. අප දිගින් දිගටම විමසා සිටියා සේ නැවත ආණ්‌ඩුවෙන් විමසීමට ඇත්තේ දැන්වත් මේ ප්‍රශ්නය පිළිබඳ ඔබේ ස්‌ථාවරය ඉදිරිපත් කරන්න කියාය. විශේෂයෙන්ම පසුගිය රාජපක්‌ෂ පාලනය විසින් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු මතින්, කඳුළු මතින් බලයට ආ පාලනයක්‌ ලෙස කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය ඔබ පිළිගන්නවාද? නැද්ද? රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් පාලනයෙන් අපට විමසීමට ඇත්තේ එම පැනයයි.

මෙහිදී මතු කළ තවත් කරුණක්‌ වන්නේ ආගමන විගමන පනතේ 8, 20, 21 වගන්තිවලට අනුව පුරවැසිභාවය පිළිගැනීම හෝ නොපිළිගැනීම පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ ඇමැතිවරයාට බවයි. එහිදී ගෙවුණු මාස 10 ක පමණ කාලය තුළ ආකාර ගණනාවකින් පුරවැසිභාවය පිළිබඳ ගැටලු විසඳා ගැනීමට අප උත්සාහ කර ඇත්තෙමු.

2015 ජනවාරි මුල් සතියේ ඔහු ලංකාවට පැමිණි අතර එසේ පැමිණියේ සංචාරක වීසා බලපත්‍රයක්‌ මඟිනි. ඔහුට රටට ඇතුළුවීමට හැකි වූයේ නොයෙල් මුදලිගේ යන අනන්‍යතාවෙනි. එය එසේ සිදු කරන්නට වූයේ එය සිදු කළ හැකි එකම ආකාරය එය වූ බැවිනි. ජනවාරි 08 වැනිදා සිදු වූ බල පෙරළියෙන් පසු විවිධ දේශපාලන හේතු මත රටින් පිට වූ සියලු දෙනාට නැවත රටට පැමිණෙන ලෙස ආණ්‌ඩුවේ ප්‍රබල ප්‍රකාශකයන් මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඊට අනුව කුමාර් ගුණරත්නම්ටද ගැටලුවක්‌ පැන නැඟිය නොහැක. එහෙත් එසේ වූයේ නැත. වීසා බලපත්‍රය සහිත මාසය ඉකුත්වීමටත් ප්‍රථමයෙන් ඔහු රටින් පිටුවහල් කිරීම සඳහා පිඹුරුපත් සැකසිනි. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව අවස්‌ථා දෙකකදී ඔහුව කැඳවා කට උත්තර ලබා ගත්තේය. ඔවුන් සූදානමින් සිටියේ හොර රහසේම ඔහුව රටින් පිටුවහල් කිරීමටය. එහෙත් එම උත්සාහය අසාර්ථක විය.

ඒ තත්වය හමුවේ අපට ගත හැකි පළමු ක්‍රියාමාර්ගය වූයේ වීසා කාලය ඉකුත්වීමට ප්‍රථම එය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් කිරීමයි. අප එය ඉල්ලා සිටි අතර එයට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබිණි. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළ අතර එහි මූලික කරුණු විභාගයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් පෙන්වා දුන්නේ මෙම විෂය සම්බන්ධ තීරණ ගැනීම පනතට අනුව අධිකරණයට අයත් කටයුත්තක්‌ නොවන බවත් එය විෂය භාර ඇමැතිවරයා සතු බලයක්‌ බවත්ය. එම නිසා මූලික අයිතිවාසිකම් නඩුවක්‌ පවත්වාගෙන යාමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් එම නඩුව විභාග කිරීම නතර විය. එමඟින්ද ඔප්පු වූයේද මෙය අධිකරණය මඟින් නොව දේශපාලන අධිකාරිය විසින් තීරණයක්‌ ගත යුතු ප්‍රශ්නයක්‌ බවයි.

ඉන් අනතුරුව මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට පෙ.ස.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහෝදරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්‌ කැඳවූ අතර වත්මන් පාලනය නියෝජනය කරන අමාත්‍යවරුන් එම විවාදයට එක්‌ වෙමින් මෙම ගැටලුව සාධාරණ ගැටලුවක්‌ බවත් එය විසඳිය යුත්තක්‌ බවත් ඒ සඳහා දැනට පවතින ආගමන විගමන පනතේ සීමාවන් පුළුල් කරමින් එය සංශෝධනය කළ යුතු බවත් කියා සිටියේය. එපමණක්‌ නොව විවිධ ආර්ථික ගැටලු විසඳා ගැනීමට රටින් පැන ගත් පුද්ගලයන්ටද නැවත රටට පැමිණීමේ අවශ්‍යතාවක්‌ ඇති බැවින් එවැනි කරුණුද සානුකම්පිතව සලකා රටට ඇතුළු විය හැකි ලෙස ආගමන විගමන පනත සංශෝධනය විය යුතු බව ඔවුහු එදා ප්‍රකාශ කළහ. එදා ඔවුන්ගේ ස්‌ථාවරය එයයි.

ඉන් අනතුරුව තවදුරටත් මේ සඳහා නීතිමය තලයකින් ගත හැකි ඊළඟ ක්‍රියාමාර්ගය ලෙස නැවතත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලංකාවේ පුරවැසිභාවය තහවුරු කරමින් ඕස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය අතහැරීමට සූදානම් බව ප්‍රකාශ කරමින් එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇති නිල අයදුම්පතක්‌ පුරවා බාර දුන් අතර තව වන තුරුත් එයට සාධාරණ ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. මේ සියල්ලෙන් පෙනෙන්නේ මේ රටේ ඉපදුණු, හැදී වැඩුණු, අධ්‍යාපනය හැදෑරූ, දේශපාලනය කළ පුද්ගලයකුගේ පුරවැසිභාවය වරම් ලබා ගත යුත්තේ පවතින ආණ්‌ඩුවේ දේව බලයට යටත්ව යන කරුණයි. එම දේව වරම ඔහුට අහිමි වූයේ, දේව උදහසට ලක්‌ වූයේ ඔහු තෝරාගෙන තිබෙන දේශපාලනය නිසාය. වාමාංශික දේශපාලනයකට පන පෙවීමට උත්සාහ කරන නිසාය. ආණ්‌ඩුවට මෙච්චල් නොවුණු දේශපාලනයට මැදිහත් වන නිසාය.

මීට පෙරත් පසුගිය රාජපක්‌ෂ පාලන සමයේ ඔහු පැහැර ගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ උත්සාහයක්‌ පැවැති අතර එය වැළකුණේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කළ ප්‍රබල දේශපාලන මැදිහත්වීමක්‌ නිසාය. මෙහි අභාග්‍ය සම්පන්න තත්වය වන්නේ එදා ඔහු පැහැර ගත් අවස්‌ථාවේ ඊට එරෙහිව ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් පෙනී සිටි එක්‌සත් ජාතික පක්‌ෂය අද ඔහුව ලංකාවේ දේශපාලනයෙන් ඉවත් කිරීමට දරන මෙම උත්සාහයයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු කවුරුන් හෝ පාමුළ වැඳ වැටී ලබා ගත යුත්තක්‌ නොව එය අපේ අයිතියකි. එය අහෝසි කිරීම වරදකි. කුමාර් ගුණරත්නම්ට සිය රටෙහි ජීවත්වීමට ඇති අයිතිය, සිය රට තුළ දේශපාලනය කිරීමට තිබෙන අයිතිය උදුරා ගැනීමට වත්මන් පාලනය සැරසෙනවාද? එයට ඔවුන් පිළිතුරු දිය යුතුය.

ආණ්‌ඩුව පසුගිය කෙටි කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව සිය පිළිවෙත කෙබඳුද යන්න ජනතාවට පසක්‌ කර දෙමින් සිටී. බඳගිරියේ වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට පහරදීමෙන්, කොටකෙතන ගම්වාසීන්ට පහරදී මාධ්‍යවේදීන්ට ඇතුළු වීම තහනම් කිරීමෙන්, ශිෂ්‍ය උද්ඝෝෂණයට පහරදීමෙන්, යාපනයේ ජනතා උද්ඝෝෂණ මැඬ පැවැත්වීමෙන් කියා සිටින්නේ රටට අත්වන්නට යන ඉරණමක පෙරමඟ ලකුණු නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඒ පිළිබඳ සැබෑ බලාපොරොත්තු තබා සිටි අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ යුතුකම වන්නේ සොහොන් පිටිය ගාවින් යනවා සේ මෙම සිදුවීම් දෙස නොබලා යාම නොවේ. ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට ප්‍රතිචාර දැක්‌වීමයි. විශේෂයෙන්ම අප අවධාරණය කරන්නේ කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගෙන හොර රහසින් පිටුවහල් කිරීමට දරන මේ උත්සාහය හරහා පෙනෙන්නේ හෙට දවසේ රටේ සටන් කිරීමට සිටින ඉතිරි ප්‍රජාවන්ටද ලැබෙන පිළිතුරු පිළිබඳ ඇඟවුමක්‌ය. ඒ පිළිබඳ සංවේදී වන ලෙසත් මර්දනයට එරෙහි වන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවදුරටත් සටන් වදින ලෙසත් ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලින් අපි ඉල්ලා සිටිමු. නිය අගින් කැඩීමට ඇති දේ පොරෝ තලයෙන් කැපීමට ඉඩ නොතැබීමට වගබලා ගනිමු.

අජිත් කුමාර (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)