Fri. Jul 5th, 2024
Spread the News

2023.08.01
ආරියතිලක.

ගීය හැඬීමක් බව තථාගත බුදුරදුන්ගේ දේශනාව ය.

අඞගුත්තර නිකායේ තික නිපාතයෙහි සම්බෝධි වර්ගයෙහි රුණ්ණ සූත්‍රයෙහි තථාගත බුදු රදහු මෙසේ වදාළහ

“රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යද්දිං නච්චං. කෝමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං දන්තවිදංසකං අතිවේලං හසිතං.

තස්මාතිහ භික්ඛවෙ සෙතුඝාතො ගීතෙ. සේතඝාතො නච්චෙ. අලං වො ධම්මපමොදිතානං සතං සිතං සිතමත්තායාති.”

සිංහලාර්ථය නම් :-

“මහණෙනි, ආර්ය විනයෙහි ගීය නම් හැඩීමකි. මහණෙනි, ආර්ය විනයෙහි නැටුම නම් උමතු ක්‍රියාවකි. මහණෙනි, ආර්ය විනයෙහි අත්‍යාර්ථයෙන් දත් විහිදා කරන සිනහව කුමරුන් (ළමයිගේ) කරන දෙයකි.

මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැසීම වේවා. නැටුමෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණකින් ප්‍රමුදිත වූ තොපට සිනහයෙක් වේනම් ඒ දත් අගමතු (පෙනෙන ලෙස ) දක්වා කරන සිනහ මාත්‍රයට ම කළ යුතුය.”

තථාගත බුදු රදුන්ගේ දේශනාව අනුව ආර්ය විනයට අනුව ගීය හැඩීමක් බැවින් ඔය කිය ගීයද හැඩීමක් නොවන්නේ ද?

සම්බුදු රදුන් ගරු කළ, අතීත කිසිදු රාජ්‍ය පාලනයක රජවරුන් රාජ්‍ය වෙනුවෙන් ගී ගැයූ බවක කිසිදු ඉතිහාස ගතක නැත.

බුදු රදුන් දිවමන් කළ සිටි සේනිය බිම්බිසාර රජු ආදී කිසිදු රජ කෙනෙකුන් රජය වෙනුවෙන් ගී කීම් පවත්වා නැත.

ලංකා රාජ්‍යයේ සිංහල රාජ වංශය ආරම්භක රජු වන විජය රජු පටන් ලංකා රාජ්‍ය පාලනයෙහි 1815 .මාර්තු 02 දින දක්වා රාජ්‍ය වෙනුවෙන් ගී ගැයු බවක් කිසිදු වංශ කථාවක නැත.

එහෙම ගී තිබුණානම් ශේෂමාත්‍රක් හෝ දැනගැනීමට වංශකතා ඉඩ සලසනවා ඇත. එවැනි ශේෂමාත්‍රයකුදු නැත්තේ එසේ නැති බැවිනි.

දේවානම්පිය තිස්ස මහ නිරිඳුන් විසින් ලංකාද්වීපයේ සම්බුදු දහම ව්‍යාප්ත කරන ලද්දේ ගී ගයමින් නොව බුදු ගුණ වණමින් ය. දුටු ගැමුණු මහ නිරිඳුන් රුවන්වැලි මහ සෑය ගොඩ නැගන ලද්දේ ගී කියමින් නොව බුදු ගුණ වණමින් ය.

ලක් පොළොවේ සියලු බොද්ධ රජවරු, ගී නො කියා බුදු ගුණ සිහි කර කර, බුදු ගුණ කිය කියා, බුදු ගුණ වන වනා රටපාලනය කළහ. වැසියන්ට ද ඒ මඟ ගමන් කිරීමට රාජ්‍ය අනුග්‍රය දැක්වූහ.

ඒ සිංහල රාජාවලිය අතරින් විශේෂයෙන් දෙවන පරාක්‍රමබාහු මහ රජුගේ සහ හයවන පරාක්‍රම මහ රජුගේ ධර්මපාණ්ඩිත්‍ය සහ කරන ලද ශාසන දියුණුව අධ්‍යනය කිරීම වුව ද මෙයට ප්‍රමාණ්වත් වනවා ඇත.

මව්වරු ළමයින් නැළවීමට ද ගී කියත්. ඒ දරුනැළවිලි ගී ය. ඒ මදිවට දරුවන්ට නැළවීමට බෝනික්කන් ද සපයා දෙත්. ලමයි ටික ටික ලොකු මහත් උනාම ඒ ළමයින්ට මව්වරු දරු නැළවිලි ගී නො කියත්. බෝනික්කන් සපයා නො දෙත්. ඒ ලොකු මහත් වූ ළමයි ද දරු නැළවිලි ගී නො අසත්. බෝනික්කන් ද කෙළීමට නො ගනිත්.

නො රටුන් භාරයේ අප සිටි කල අප ඔවුන්ගේ (නො රටුන් සිතන ආකාරයට) දරුවන් වැනි ය. නොරටුන් විසින් ඔවුන් භාරයේ සිටි දරුවන් නළවා ගැනීමට නැළවිලි ගී මෙන් ම විවිධ බෝනික්කන් සපයා දුනි. නො රටුන්ගෙන් මිදුණු පසුවත් නැළවිලි ගී කියමින් බෝකික්කන් සමඟ කෙළිළොල් වීම හරි පුදුම යි!

මේ සියලු ගී වලින් වන්නේ මනුෂ්‍ය වර්ගයා අතර ඔවුනොවුන් බෙදා වෙන් කිරීම ය. මෝහයෙන් මුලා කිරීම ය.

බුදු ගුණ සිහිකිරීම ත් බුදු ගුණ වැනීම ත් දැන් අමතකය. සතර සතිපට්ඨාන සිතවලින් ඈත ය. මරණ මඤ්චකයේ ගීත මතක් වුණොත් වන්නේ කුමක් ද? බුදු ගුණ සිහි වුවො ත් සතර සතිපට්ඨාන අනුව සිත පිහිටවුවො ත් නියත ලෙස ම දුගතියට නොයත්. සුගති ගාමී වීම නියත ය.
මේ සියලු විපර්යාසවලින් වන්නේ බෞද්ධ කුලය බුදු ගුණ වැඩීමෙන් සහ සතර සතිපට්ඨාන අනුඅව සිත යෙදවීමෙන් ඈත් කිරීම බව නම් පැහැදිළි නො වන්නේ ද?