Mon. Jul 8th, 2024
Spread the News

ගම්මන්පිල විවාදය මඟහරින්නේ ඔහුගේ
නිරුවත හෙළිවේයෑයි බියෙන්
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

ප්‍රභාත් විතාන

ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ උරුමය ඉදිරියේ ඔහුගේ නිරුවත හෙළිවේ යෑයි බියට පත්වී සිටින නිසා බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

ගම්මන්පිල මහතා සහ හෙළ උරුමය අතර තිබෙන ප්‍රතිපත්තිමය කරුණු කෙසේ වෙතත් එතුමා ලඝූ කරන කාරණා පිළිබඳව සංවාදය සඳහා හෙළ උරුමය නම් කළ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා ඉදිරියේ ගම්මන්පිල මහතා නිරුවත් වෙයි කියන බියට තමයි මේ සාකච්ඡාව මග හැරියේ. ගම්මන්පිල මහතා ඉවත්වීමට බලපෑ කරුණු කාරණා අනුරුද්ධ ප්‍රදීප් මහතා දන්නා බව, ගම්මන්පිල මහතා දන්නා නිසා මේ විවාදය හැර ගියා යෑයිද වර්ණසිංහ මහතා කියා සිටියේය.

ජාතික හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල මහතා ඉවත්වීම පිළිබඳව කරන විවිධ ප්‍රකාශ පිළිබඳව සංවාදයකට එන ලෙස හෙළ උරුමය කළ ආරාධනාව පිළිගෙන පසුව ඒ සඳහා සහභාගිවීමට නොහැකි බව උදය ගම්මන්පිල මහතා දැනුම්දීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්‌වීම සඳහා ඊයේ (29දා) පෙරවරුවේ බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වර්ණසිංහ මහතා මේ බව කියා සිටියේය.