Fri. Jul 5th, 2024
Spread the News

“ඒ වෙලාවෙ අනුර කුමාර රට බාර ගත්තෙ නැත්තෙ ඔහු දුර දැකපු නිසාවෙනි…..”

ඉහත කී වාක්‍යය මා විශේෂ වරහන් තුළ බහාලූ වේ අපේ යුගයේ මෝඩයකු විසින් කරන ලද “රත්තරන්” ප්‍රකාශයක් නිසයි.

2022 අප්‍රේල් පළමුවෙනිදා සමස්ත ලංකාවේම ජනතාව විප්ලවීය ආකාරයේ නැගී සිටීමත් කළ විටදී පවා ජනතා ව්මුක්ති පෙරමුණ ඊට නායකත්වය දෙන්න ඉදිරිපත් නොවුනේ අනාගතය ගැන දැනගෙන ද නැත්නම් හිතළුවක් සේ සලකා ද?

ඒ සිදුවීම වෙන්න සති ගණනකට කලින් ජවිපෙ සහ ජාජබේ නායක අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේම කීවා “ජනතාව ඉදිරියට ආවොත් අපි නායකත්වය දෙන්න සූදානම්” කියා.

වීරයින්ගෙ භාෂාවෙන් එය කටින් පිටවුන ද, සුළඟට මුසු වූයේ නිවටයින්ගේ කෙඳිරි ගෑමක් ලෙසයි.

ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ වගේ අනුර කුමාර තවමත් තනියම ගාලුමෝදර.

ලෝගුව මුලින් බලාපොරොත්තු වුණේ ලන්ඩන් වල සිටි පැතුම් කර්නර්ට දඹුල්ලේ යොහාන් සෙනවිරත්නගේත් සහාය ලබාදී සමස්ත ජනතා නැගී සිටීම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට දඬුවම් නොකිරීම පිළිබඳ විරෝධය පාන අරගලයක් ලෙස ලෝකයා ඉදිරියේ මවා පෙන්වීමටයි.

ඒ කලබගෑනිය අස්සේ ගෝඨාභය පන්නා දැමීමේ අරගලයක මුහුණුවරින් ඔහුව මරා දැමීමට අදෘශ්‍යමාන හස්තය විසින් අළුගෝසු වෙක්ද සූදානම් කර තිබුණා.

ඒ වැඩේ ගැස්සී ගිය නිසා, අරගලය නතර කරන්නැයි ලෝගුව නියමකරන විට ජවිපෙ ඊට සුචච කීකරුව හිස නමා අරගලයේ පසු ගමන් කරුවකු ලෙස ඉතාමත් නිවට ලෙස පසුබැස්සා.

ඒ වනවිට පෙරටුගාමීන් සිටියේ ඊට වෙනස් ස්ථාවරයක. අරගලයේ අවසානයක් දකින්න ඔවුන්ට අවශ්‍ය කර තිබුණා.

ඔවුන් දිගටම සටන් භූමියේ රැඳී සිටීම නොරිස්සූ ලෝගුව මාධ්‍ය වලට ප්‍රකාශ කළේ ” නූගතුන් අරගලයට එක් වීම නිසා” සටන පරාජය වූ බවයි.

මේ අප්‍රභංශය අර ගලයේ සිටි දස දහස් සංඛ්‍යාත තරුණ පිරිස් වලින් කීයෙන් කී දෙනෙක් විසින් වටහා ගනු ලැබුවේද?

ජවිපෙ ඇතුළු ජාජබය අද බලවේගයක් නොව දාම් ලෑල්ල මත එහාට මෙහාට ඇදෙන ඉත්තන් සමූහයක් පමණයි.

මෙහි ඇති ආශ්චර්ය නම්, එක් පසෙකින් ජනතාව හවුල්කරු පාර්ශවයේ වාඩි වී සිටියදී අනෙක් පසින් අදෘශ්‍යමාන හස්තයක් විසින් ඉත්තන් මෙහෙයවීමයි.

අදටත් ජනතාවගෙන් බහුතරය තේරුම් ගත්තේ නැහැ ගාලු මුවදොර අරගලය ආරම්භයේ දී සැබෑ අරගලයක් වූවත් අවසන් වූයේ අදෘශ්‍යමාන හස්තයක් විසින් මෙහෙයවා අවසන් කරණු ලැබූ ක්‍රීඩාවක් ලෙස බව. ක්‍රීඩාව නරඹන්න ආ පිරිසට ඔවුන් හොඳට කන්න බොන්න දුන්නා.
ඒ වගේම ක්‍රීඩාව නවත්තන්නයැයි ලෝගුව අණ දුන් පසුවත් “ක්‍රීඩා” කරන්න යෑම අවසන් වූයේ පොලිසිය හා හමුදාවන් විසින් කරන ලද සංග්‍රහ වලින්. එය මාළු පාන් වලින් දුන්නද බැටන් පොල්ලෙන් දුන්නද යන්න මෙතනට අදාළ නැහැ.

එහෙත් සභා තොමෝ සතුටින් විසිර ගියා ය කියා ඉතිහාසයෙහි කිසිදාක නොලියවෙන අන්දමේ මහා ඛේදවාචකයකින් එය අවසන් විය.

කොයි යුගයේත් එඩිතර තරුණ පරපුරක් අපේ මාතෘ භූමියේ සිටියා.

ඔවුන් නැගී සිටි හැම අවස්ථාවෙම ඔවුන්ගේ අත පය කඩා පණපිටින් හෝ පුළුස්සා දැමීමට කෲර පාලකයින්ට උඩගෙඩි දෙන “සද්ගුණවත් ධාර්මිකයින්” එදත් සිටියා අදත් සිටිනවා.

ඒ නිසයි අප තරුණ පරපුරෙන් ඉල්ලා සිටින්නේ ගාලුමුවදොර කල්වාරියක් කරගන්න එපා කියා.
ගිළටිනය මළපුඩුවක් කරගන්න එපා කියා.

” එව බලව” ආරක්ෂාව සඳහා හොඳටම ඇති.

– එඩ්වර්ඩ් –

21.03.2023