Mon. Jul 8th, 2024
Spread the News

කොටි ඩයස්‌පෝරාවේ 2016 සැලැස්‌ම?

source

* නෝවීජියානු පෝරම් සංවිධානය සමග
කොටි සම්බන්ධකම් පවත්වා ඇතැයි හෙළිවේ

* ප්‍රභාකරන්ගේ යුද්ධ සැලසුම නේටෝ
බළකායටත් වාර්තා වී තිබුණා

* “සුදු කොඩි” කේලම පැවසූ බොම්බඩියර්
ස්‌විස්‌ රජයෙන් දේශපාලන රැකවරණ පතයි

* 2013 දී උතුරේ නොකඩවා හර්තාල් ඇරැඹීමේ සැලසුමක්‌

“ශ්‍රී ලංකාව යනු චීනය නොවේ. රාජපක්‍ෂ පාලනය ගැන ලෝක බලවතුන් රැසක්‌ කැමැත්තක්‌ නැත. ඉදිරි පස්‌ වසර තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුමක්‌ සිදු වන්නේ ද යන්න කිව නොහැක” – ගිබ්සන් බේට්‌වන්

කතෝලික ද්‍රවිඩයන්වද
මරණ බවට කොටි දියත් කළ
සාවද්‍ය ප්‍රචාරය


2016 සැලැස්‌මේ මූලිකයා
ගෝලීය ද්‍රවිඩ සංසදයේ
එමානුවෙල් පියනම
ඔහුව රායිවන් හෙවත් අම්බලවානර් නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. ජෝර්දානය සහ ලෙබනන් යන රටවල සේවය කළ රායිවන් පසුගියදා ජර්මනියට ගියේය. කොටි ජාත්‍යන්තර ජාලය සහ ද්‍රවිඩ ඩයස්‌පෝරාව එකතුවී 2016 වන විට ලිබියාවේ ඇතිවූ තත්ත්වයට සමාන තත්ත්වයක්‌ උතුරේ ඇති කිරීමට සැලසුම් කරනවා. මේ සැලසුමේ ට්‍රැක්‌ – 1 සහ ට්‍රැක්‌ – 2  යනුවෙන් කොටස්‌ දෙකක්‌ ක්‍රියාත්මක වෙනවා යෑයි ඔහු “දිවයින”ට විශේෂයෙන් හෙළි කළේය.

ද්‍රවිඩ සන්ධානය විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලවා උතුරු නැගෙනහිරින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීමට හා පොලිස්‌ බලතල ලබාගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථවීමෙන් පසු කොටි ඩයස්‌පෝරාව මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි වාර්තා විය. ඒ සඳහා කොළඹ කොටි හිතවාදී මාධ්‍ය සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ලැබෙන බව වාර්තා වී ඇත. මේ සැලැස්‌මේ ආරම්භය 2013 වර්ෂයයි. මෙයට සතියකට පෙර එක්‌තරා ද්‍රවිඩ දේශපාලකයකු විසින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු අමතමින් 2016 දී ඔබට අපේ රාජ්‍යයට පැමිණිය හැකි යෑයි පවසා තිබේ.

2013 දී ආරම්භ වන සැලසුම නම් උතුරේ දිගින් දිගටම “හර්තාල් ව්‍යාපාර” ආරම්භ කිරීමයි. සාමකාමී ලෙස මේ හර්තාල් ව්‍යාපාර පවත්වන බව පැවසුවත් එකී විරෝධතා නතර කිරීමට උත්සාහ කරන හමුදා නිලධාරීන්ට පහරදී උසි ගැන්වීමේ ක්‍රියාදාමය එහි පසුපස දියත් කිරීමට සැලසුම් වී ඇත.

සාහසික ක්‍රියා මත දියත් වන මේ හර්තාල් විරෝධතා උච්චස්‌ථානයට ගෙන වුත් හමුදා නිලධාරීන් ලවා මර්දනය කර ගැනීමේ ක්‍රමවේදය සැලසුමේ ප්‍රධාන කාර්යයයි.

ඒ සමග දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන විසින් උතුරේ සිවිල් ජනතාවට හමුදාව ප්‍රහාර එල්ල කරන බවට සාවද්‍ය තොරතුරු ලොව පුරා විකාශනය කිරීමට පියවර ගනු ඇත.

ට්‍රැක්‌ – 2 මෙසේයි. හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල පිරිසක්‌ මියගිය බව දන්වමින් උතුරු ප්‍රදේශ අහසේ ගුවන් සම්බාධක කලාපයක්‌  ඇති කරන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක්‌ කෙරේ.

මේ ගුවන් සම්බාධක කලාපයක්‌ ඇති කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කළහොත් මේ පසුබිම යටතේ කොටි ඩයස්‌පෝරාවේ ඊළඟ පියවර වන්නේ බටහිර රටවල් මෙරට කටයුතුවලට මැදිහත් කරලීමය. උතුරේ පමණක්‌ පුනරුත්ථාපනය වූ කොටි 60000 ක්‌ පමණ සිටිනවා යෑයි නැගෙනහිර කොටි නායකයාව සිටි විනයාගමූර්ති කරුණා විසින් හෙළි කර තිබිණි.

මේ තත්ත්වය මැද 2011 නොවැම්බර් 11 වැනිදා එරික්‌ සෝල්හයිම් ඔස්‌ලෝ නුවරදී කළ ප්‍රකාශය මෙසේයි – “2005 දී ඡන්ද පාවිච්චි කිරීමෙන් වළකින්නැයි ප්‍රභාකරන් විසින් ද්‍රවිඩ ජනතාවට නොකීවේ නම් ජනාධිපති වන්නේ මහින්ද රාජපක්‍ෂ නොවෙයි. රනිල් වික්‍රමසිංහයි. එවිට සෑම දෙයක්‌ම වෙනස්‌ වන බව සැවොම දන්නවා.

මේ නිසා ඉදිරි වසර කීපය තුළ කොටි ඩයස්‌පෝරාවේ රහස්‌ සැලසුම් ගැන අවධානය යොමු කළ යුතුව ඇත. මෙයට මාසෙකට පෙර විනයාගමූර්ති කරුණා පැවසුවේ ජාත්‍යන්තර කොටි ජාලය සතුව ස්‌විස්‌ බැංකුවල අතිවිශාල මුදල් සම්භාරයක්‌ ඇති බවයි. එහෙත් ස්‌විස්‌ රජය මේ මුදල් තහනමකට ලක්‌ කර නැත.

මේ වාතාවරණය යටතේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයකු වූ සුරේශ් ප්‍රේමචන්ද්‍රන් සංක්‍රමණික ද්‍රවිඩ ජනතාවට ද ශ්‍රී ලංකා රජය ඡන්ද හිමිකම ලබාදිය යුතු බව ඉල්ලා ඇත. මින් සනාථ වන්නේ ද්‍රවිඩ සන්ධානයේ ඉදිරි අරමුණයි. මේ අතර මෙරට රැඳී සිටින විදේශිකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔත්තු බලන බව පසුගිය නොවැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත්වූ නෝර්වේ විමර්ශන වාර්තාවෙන් සනාථ විය.

මෙරටින් පිටුවහල් කළ ජර්මානු බර්ග්ගොප් පදනමේ ප්‍රධානී නෝබට්‌ රූපර්ස්‌ ඉන් එක්‌ අයෙකි. ප්‍රභාකරන් යුද්ධයක්‌ ඇති කිරීම සඳහා සැලසුම් සකස්‌ කරන බව නේටෝ බළකායට පවා වාර්තා වී තිබියදී උතුරේ අධිආරක්‍ෂක කලාප ඉවත් කරලීමේ අරමුණින් රූපර්ස්‌ විසින් අප්‍රිකානු කොංග්‍රසයේ හිටපු ත්‍රස්‌තවාදියකු වූ රොකී විලියම්ස්‌ව මෙරටට ගෙන්වා යාපනයට යවනු ලැබීය. රොකී විලියම්ස්‌ යාපනයට ගොස්‌ කොටින්ගේ බර අවි ඉවත් නොකරන්නැයි කොටි නායකයන්ට කියා සිටියේය. එසේම නෝබට්‌ රූපර්ස්‌ මෙරට හමුදාව නිරායුධකරණයට ලක්‌ කිරීමට ද හමුදා කඳවුරුවලදී සාමය ගැන දේශන පැවැත්වීමට ද සැලසුම් කරනු ලැබීය.

2002 සටන් විරාම ගිවිසුම සහ සාම ක්‍රියාදාමය පසුපස තිබුණේ කොටින්ට උතුර නැගෙනහිර ලබාදීමේ ව්‍යාපෘතියයි. එය සනාථ වන්නේ සටන් විරාම කමිටුවට පැමිණිලි 13050 ක්‌ ලැබී තිබුණත් ඒ ගැන නිසි පියවරක්‌ නොගැනීමෙනි. මේ පසුබිම යටතේ මෙරට රැඳී සිටි නෝවීජියානුවකු වන ආනේ පොජෝපොට්‌ නමැත්තා මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී ඇති අයුරු නෝර්වේ රජයේ විමර්ශන වාර්තාවෙන් සනාථ වේ.

1990 දී එවකට සිටි විදේශ ඇමැති ඒ. සී. එස්‌. හමීඩ් හිටපු නෝවීජියානු දේශපාලකයකු වූ වර්ල්ඩ්වීව් පදනමේ ලේකම් ආනේ පොජෝපොට්‌ වෙත සමීප වී කොටි සමග සාකච්ඡා කිරීමට හැකිදැයි විමසා ඇත. මෙම ආනේ පොජෝපොට්‌ නමැත්තාට කොටි සබඳතා පවත්වන්නන් සමග සම්බන්ධකම් තිබේ.  මේ ඉල්ලීම අනුව පොජෝපොට්‌ එවකට සිටි නෝර්වේ විදේශ ඇමැති මැග්නේ බොන්ටවික්‌ වෙත යොමු වී රහස්‌ සංවාදයකට මඟ පාදා ඇත. 1995 දී කොටි සහ රජය අතර සාම සාකච්ඡා බිඳවැටීමත් සමගම තෙවැනි පාර්ශ්වයක්‌ ලෙස ඉදිරිපත්වීමට නෝර්වේ රජය එකඟ විය. එහිදී කොටි සංවිධානය සිය සබඳතා පවත්වා ඇත්තේ නෝවීජියානු පෝරට්‌ නමැති එන්.ජී.ඕ. සංවිධානය සමගය.

පසුගියදා “කාන්තා හිංසනය” ගැන කොළඹ නගරයේ ප්‍රචාරක පෝස්‌ටර් අලවා තිබුණේ මෙලෙස කොටි සමග සබඳතා පැවැත්වූ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයයි. මේ අතර හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකාට එරෙහි සුදු කොඩි නඩුවේදී වසර තුනකට සිරයට නියමවීම ගැන විදෙස්‌ රටවල ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි අවධානයට යොමුවිය. කොටින්ට එරෙහි වන්නි මෙහෙයුමට දායක වූ හිටපු යුද හමුදාපතිවරයා මෙවන් අයහපත් වාතාවරණයකට ලක්‌ කිරීමට වගකිවයුත්තේ කවුරුන්ද යන්න ස්‌විට්‌සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල ශ්‍රී ලාංකික ජනතාවට අනාවරණය විය. ඒ වෙනින් කවුරුත් නොව හිටපු යුද හමුදාපතිවරයා පසුපස යමින් ක්‍රියා කළ බොම්බඩියර් හෙවත් ගෝඨාභය රණවීර හෙවත් ලලන්ත නානායක්‌කාර හෙවත් රණදේව හෙවත් රුවන් ජයවර්ධන යන අන්වර්ථ නාමවලින් ක්‍රියා කළ මාධ්‍ය අඳබාලයායි.

මොහු මෙරට සිට නේපාලය හරහා ස්‌විට්‌සර්ලන්තයට පැන ගොස්‌ දැන් දේශපාලන රැකවරණ පතා ඇත. පසුගියදා සුරීච් නුවර ශ්‍රී ලාංකික භාෂා පරිවර්තකයකුගේ මාර්ගයෙන් දේශපාලන රැකවරණ ලැබීම සඳහා උපකාරී වන කරුණු ඇතුළත් අයදුම්පතක්‌ ස්‌විස්‌ බලධාරීන්ට යොමු කර ඇත.

හිටපු යුද හමුදාපතිවරයාට චෝදනා එල්ල වූයේ ඔහු විසින් ඉංගී්‍රසි පුවත්පතක කතුවරිය වෙත කරන ලද ප්‍රකාශයයි. සුදු කොඩි ඔසවාගෙන පැමිණි කොටි නායකයන්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්ගෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට නියෝගයක්‌ ලැබුණ බව තමාට පැවසුවේ මාධ්‍යවේදියකු බවද හිටපු යුද හමුදාපතිවරයා විසින් එකී කතුවරියට පවසා තිබිණි. එහෙත් තමාට එවැනි නියෝගයක්‌ නොලැබුණ බව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙහිදී මේ සාවද්‍ය කේලම පැවසූ බොම්බඩියර්  යුද මෙහෙයුම් කලාපයට රිංගීම සඳහා තවත් කපටිකමක්‌ ද කළේය. ඔහු පෞද්ගලික පුවත්පතක සේවය කළ අතර කලින් සේවය කළ රජයේ පුවත්පතේ හැඳුනුම්පත ද භාවිත කළේය. ආරක්‍ෂක අමාත්‍යාංශය සහ වන්නි හමුදා නායකත්වය රවටමින් තමා රජයේ පුවත්පතේ සේවය කරන බව ඔහු හමුදා නිලධාරීන්ට ද ඇඟවීය. එසේම තමා හිටපු යුද හමුදාපතිගේ ඥතියකු යන සාවද්‍ය ප්‍රචාරය ද මෙහෙයුම් කලාපයේ සිටි හමුදා නිලධාරීන් අතර ප්‍රචාරය කිරීමට ද ඔහු ක්‍රියා කළේය. මේ නිසා කිසිම හමුදා නිලධාරියකු බොම්බඩියර්ගේ කටයුතුවලට අවහිර කළේ නැත.

කැමරාවක්‌ සහ සී.ඩී.එම්.ඒ. දුරකථනයක්‌ රැගෙන වන්නි මෙහෙයුම් කලාපයේ සැරිසැරූ බොම්බඩියර්ගේ කණ්‌ඩායමේ තවත් මාධ්‍ය අඳබාලයෙක්‌ බුද්ධි සේවා නිලධාරියකුට ද තර්ජනය කළේය.

ජනාධිපතිවරණ සමයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී “බොම්බඩියර්ගේ” රුව දක්‌නට ලැබිණ. ප්‍රභූ රැකවලකු පළඳින සුදු කමිසයක්‌ හා කලිසමක්‌ හැඳ සිටි තැනැත්තකු එම හෝටලයේ එහා මෙහා යන බව දුටු තවත් මේජර් ජෙනරාල්වරයකු ඒ තැනැත්තා බොම්බඩියර් යෑයි හඳුනා ගත්තේය.

හිටපු යුද හමුදාපතිවරයාව අමාරුවේ දැම්මේ ද මේ බොම්බඩියර් මාධ්‍ය අඳබාලයායි. එහෙත් මෙරට ජනතාව ඒ බව දැන සිටියේ නැත. අද මසකට ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ 300 ක පිං පඩියක්‌ හා වාසය කිරීමට කාමරයක්‌ ද බොම්බඩියර්ට සපයා ඇත්තේ ස්‌විස්‌ රජයයි.

මේ සතියේ දිනෙක ස්‌විට්‌සර්ලන්තයේ සුරීච් නුවරින් අප වෙත ලත් රහසිගත ආරංචි මාර්ගයක්‌ පැවසුවේ බොම්බඩියර් සිය පවුලේ අයට ද රජයෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි කියමින් ඉන්දියාව හරහා ඔවුන්ව ස්‌විට්‌සර්ලන්තයට ගෙනඒමට සැලසුම් කරන බවයි.

බොම්බඩියර් හෙවත් ජුදාස්‌ මෙයට වසර ගණනකට පෙර තවත් මෙහෙයුමකට සම්බන්ධ විය. ඒ අතිශයින් රහසිගත දිගුදුර විහිදුම් බළකාය පොලිස්‌ අත්අඩංගුවට ගැනීම සාධාරණීයකරණය කිරීමයි.

ඒ සඳහා ඔහු ගෝඨාභය රණවීර නමැති ව්‍යාජ නාමය භාවිත කළේය. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් මාධ්‍ය නිදහස මුවාවෙන් මොහු රටත්, හමුදා නායකත්වයත් පාවාදීමට ක්‍රියා කිරීමයි. “දුන්න ගැන මිසක්‌ ඊතලය ගැන හෝ දුනුවායා” ගැන හඬක්‌ නඟන්නේ නැතැයි යන ද්‍රවිඩ කියමනක්‌ පවතී. දුනුවායා වූයේ බොම්බඩියර්ය. හිටපු යුද හමුදාපතිවරයා ඊතලය විය.

එහෙත් බොම්බඩියර් දැන් ස්‌විට්‌සර්ලන්තයේ සැප විඳී. ඔහු නිසා ශ්‍රී ලංකාවට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ලවී තිබේ. හමුදා නිලධාරීන් දෙදෙනකුට කොටි නඩු පවරා ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ද නඩු දෙකක්‌ පවරා තිබිණි.

මෙයට අමතරව දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 74 ක්‌ බොම්බඩියර්ගේ කේලම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා නැඟීය.

එසේම කොටි ඝාතකයන්ගේ බිරියන් පවා එකී සුදුකොඩි කේලමට මුවාවී ශ්‍රී ලංකාවට එරෙහි නඩු පැවරීමට ක්‍රියා කරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ අතිවිශාල මුදලක්‌ ගෙවමින් විදෙස්‌ නීතිවේදීන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාවට සිදුවීමය.

මෙලෙස බොම්බඩියර් මාධ්‍ය අඳබාලයා සිදු කළ මේ ක්‍රියාදාමය ගැන අප හැර වෙන කිසිදු මාධ්‍ය පාර්ශ්වයක්‌ හෙළිදරව් කිරීමෙන් වැළකී ඇත. එපමණක්‌ ද නොවේ. පසුගියදා කර්තෘ සංසදය බොම්බඩියර්ට සම්මානයක්‌ දීමට ද ක්‍රියා කර තිබිණි.

මේ අතර මුළු විදෙස්‌ගත ශ්‍රී ලාංකික ජාලය දැන් සුදුකොඩි කතාවේ නිර්මාතෘ හෙවත් බොම්බඩියර්ව හඳුනාගෙන ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ ශ්‍රී ලාංකිකයන් ඔහු ගැන දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා වේ.

කීර්ති වර්ණකුලසූරිය