Fri. Jul 5th, 2024
Spread the News

කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ
තමිලිනිගේ “බෝම්බය”

කොටි කාන්තා බළකායේ නායිකාව ලෙස ක්‍රියා කළේ සිවකාමි සිවසුබ්‍රමනියම් හෙවත් තමිලිනි 2009 මැයි 29 දා සිට 2013 වසර දක්‌වා පුනරුත්ථාපන කඳවුරක සිට අනතුරුව නිදහස්‌ වූවාය. එහෙත් පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි ඇය 2015 වසරේ ඔක්‌තෝබර් මස මිය ගියාය. දැන් යළිත් වරක්‌ “තමිලිනි” උතුරේ දේශපාලන කරළිය වෙත පැමිණ ඇත. ඒ ඇගේ සැමියා විසින් ඔරු කුර්වාලින් නිශාහාලිල් නමැති ග්‍රන්ථය එළිදැක්‌වීමෙනි. තමිලිනි විසින් රචිත බව කියන මේ ග්‍රන්ථය පසුගිය සෙනසුරාදා කිලිනොච්චි සමුපකාර විදුහල් ශාලාවේදී එළිදැක්‌වුවත් ද්‍රවිඩ සංධානයේ කිසිම මන්ත්‍රීවරයකු ඊට පැමිණ සිටියේ නැත. අඩු වශයෙන් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ද තමිලින්ගේ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට සහභාගිවීමෙන් වැළකී සිටියේය.

තමිලිනිගේ සැමියා වූ බ්‍රිතාන්‍ය පුරවැසියකු වන මහාදේවන් ජයකුමාරන් මේ ග්‍රන්ථය එළිදැක්‌වීමේ අවස්‌ථාවට සහභාගි වන ලෙස ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රී ධරන්ට ඇරයුම් කළත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. තමිලිනිගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රීධරන් කිව්වා මේ ග්‍රන්ථය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ගොනු කර ඇති යුද අපරාධ නඩුවට බරපතළ ප්‍රශ්නයක්‌ ඇතිවෙනවා. යෑයි ඔහු කියා සිටියා. එහෙත් එම ග්‍රන්ථයෙන් එවැනි ප්‍රශ්නයක්‌ ඇතිවන්නේ නැතැයි මා පැවසුවා යෑයි ජෙයකුමාරන් කියා සිටියේය.

ඊළම් ඩයස්‌පෝරාව මෙන්ම ද්‍රවිඩ සංධානය කැළඹීමකට පත් කළ තමිලිනිගේ ග්‍රන්ථයේ මෙලෙස සඳහන් විය. ආහාර බිඳක්‌ හෝ වතුර පොදක්‌ මෙන්ම සිටගෙන සිටීමට ඉඩමක්‌ නැතිව අපි සිටියා. ගරිල්ලා කාලතුවක්‌කු අනාථයන් අතර ස්‌ථානගත කර තිබූ අතර ඉන් රජයේ ස්‌ථානවලට ප්‍රහාර එල්ල කළා. යුද හමුදාවද ඊට දරුණු ලෙස ප්‍රතිචාරය දැක්‌වූවා. එය බිහිසුණු අවස්‌ථාවක්‌ උදව්වක්‌ නැති සිවිල් වැසියන් මාස ගණනක්‌ තිස්‌සේ තැනින් තැනට මාරු වුණා. අප අතරින් බරපතල වැරැද්දක්‌ සිදුවූ බව මට තේරුණා. අපි අපේම අයට එරෙහිව ක්‍රියා කරන බව වැටහුණා.

මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් තමිලිනිගේ සැමියා වූ ජෙයකුමාරන් තවදුරටත් පැවසුවේ සිදුවූ දේ ගැන සත්‍ය හෙළි කිරීමට තම බිරියට අවශ්‍ය වූ බවත් ලෝකයා ඇත්ත දැන ගත යුතු බව ඇය කියා සිටි බවත්ය.

තමිලිනිගේ මෙම ජීවන චරිතයෙන් කොටි සංවිධානය විවේචනයට ලක්‌ කිරීම ද්‍රවිඩ සංධානයේ නොසතුටට හේතු විය. සිංහලයන් සමග සබඳතා පැවැත්වීම පවා ප්‍රභාකරන් විසින් තහනම් කර තිබූ බවත් හමුදාවේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ අගය කරන බවත් ඇය සිය ග්‍රන්ථයේ දක්‌වා තිබුණි.

එහෙත් 2009 වසරේ අත්අඩංගුවට පත් තමිලිනි 2015 වනතුරු කොටි ක්‍රියාකාරකම් විවේචනය නොකළේ මන්ද යන්න ප්‍රශ්නයකි. 2002 සටන් විරාමය ආරම්භ වීමටත් පසු තමිලිනි කළ ප්‍රකාශ රැසක්‌ කොටි වෙබ් අඩවිවලින් ප්‍රකාශ විය. ප්‍රභාකරන්ව කිසි දිනෙක පරාජය කළ නොහැකි බව ඇයවරක්‌ කියා සිටියාය. මේ පසුබිම මැද තමිලිනි සිය ග්‍රන්ථයෙන් කොටින්ව නිර්දය ලෙස විවේචනයට ලක්‌ කිරීම ද්‍රවිඩ සංධානය මත පතිත වූ බෝම්බයක්‌ විය.

ඇගේ ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට හිටපු කොටි ක්‍රියාකාරීන් 200 ක්‌ පමණ සහභාගි වී ඇත.

අමාත්‍ය මනෝ ගනේෂන් තමිලිනිගේ ජීවන චරිතය රජයේ මුදල් වැයකළ සිංහල භාෂාවට නැඟීම භාරගෙන ඇත. මේ ග්‍රන්ථය සංහිඳියාවට වැදගත් බව හෙතෙම පවසා තිබේ. එහෙත් හිටපු කොටි කාන්තා බලකායේ නායිකාවගේ ජීවන චරිතය සිංහල භාෂාවට නැගීමට වැය වන්නේ රටේ ජනතාවගේ මුදල් ය.

මෙලෙස තමිලිනිගේ ග්‍රන්ථය එළිදැක්‌වුවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇගේ ප්‍රකාශ පිළිගන්නේද? ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ පැවැත්වූ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය තමිල් සෙල්වන්ගේ පිරිස වූ සසීsරේකා කළ ප්‍රකාශ පවා පිළිගන්නේ නැත.

මේ අතර උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය ද හිටපු කොටි ත්‍රස්‌තයන් 200 ක පිරිසට දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ඔවුන්ව මුදා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්තේ ජිනීවා නිර්දේශය මත දේශීය අධිකරණය ස්‌ථාපිත කිරීම තුළින් එකී කොටින්ට ද චෝදනා එල්ලවන නිසාය.

මෙම කොටි ත්‍රස්‌තයන්ව මුදා ගැනීමට දියකඩුවාවේ සෝමානන්ද හිමි සහ ශක්‌තිවේල් පියනම ද ඉදිරිපත් වී ඇත. එහෙත් අත්අඩංගුවේ පසුවන කොටි අතර 2007 ඔක්‌තෝබර් 22 දා අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර ටල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ කොටි මිසයිල බලකායේ ක්‍රියාකාරිකයකු වූ පී. අරවින්දන් සහ ගුවන් ඒකකයේ නායකයකු වූ රාසවල්ලන් තබෝa රූබන් සහ විල්පත්තු වනෝද්‍යානයේදී හමුදා නිලධාරීන් අටදෙනකු ඝාතනය කිරීමට සම්බන්ධ සූරියකාන්ත ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියවන් සහ ශිවසීලන්, ශිවප්‍රකාශන් නොහොත් සත්‍යන් නමැත්තා ද වේ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ගුවන් යානා 10 ක්‌ මුළුමනින්ම විනාශවූ අතර තවත් යානා හයක්‌ අර්ධ ලෙස හානියට පත් විය.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ද බීච් ක්‍රාෆ්ට්‌ නමැති නිරීක්‍ෂණ යානාවක්‌ද පී ටී 6 යානා තුනක්‌ ද එම්. අයි. 17 හෙළිකොප්ටරයක්‌ ද නියමුවන් රකින යානා දෙකක්‌ ද ගුවන් ධාවන පථයේ තිබූ එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ද විනාශ විය. මෙයට අමතරව ආරක්‍ෂක හමුදා සාමාජිකයන් 13 ක්‌ ද ජීවිතක්‍ෂයට පත් විය.

එල්ලාලන් මෙහෙයුම නමින් හඳුන්වනු ලැබ මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් කළු කොටි 21 ක්‌ මිය ගියහ.

එම කොටි මෙහෙයුමේදී වින්ග් කමාන්ඩර් අමිල මොහොට්‌ටි ස්‌කොඩ්රන් ලීඩර් රුවන් විඡේරත්න පියාසර ලුතින්න ඒ. බි. එම්. සිල්වා පියාසර නිලධාරී එන්. ආර්. සියඹලාච්චි, බලලත් නිලධාරී කේ. වී. දයාරත්න කෝප්රල් එම්. පී. දීගල්ල – කෝප්රල් ඩබ්ලිව්. එම්. වර්ණකුලසූරිය, කෝප්‍රල් එම්. ඩබ්ලිව්. දිසානායක, කෝප්‍රල් ඊ. වී. එන්. දයාරත්න, කෝප්‍රල් ප්‍රීතිකුමාර, ලාන්ස්‌ කෝප්‍රල් එච්. ඊ. ප්‍රනාන්දු, ලාන්ස්‌ කෝප්‍රල් ගුණවර්ධන සහ කෝප්‍රල් ආර්. ඡේ. රත්නායක ද මරුමුවට පත් වූහ.

විල්පත්තුව වනෝද්‍යානයට එල්ලවු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ගජබා රෙජිමේන්තුවේ ආඥපතිව සිටි කර්නල් ජයන්ත සුරවීර, මේජර් ජයරත්න ඇතුළු අටදෙනකු ඝාතනය වුණි.

විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය නිදහස්‌ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි කොටි ඝාතකයන්ද?

මෙවන් පසුබිමක්‌ මැද රුපියල් විසිපන් කෝටියක්‌ වටිනා එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ත්‍රිකුණාමල උප්පාරු කලපුව අසලදී මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කළ බව කියන නිශාන්තන් අරුලානන්දන් නමැත්තා ත්‍රිකුණාමල මහාධිකරණය විසින් මුදාහැර ඇත.

2000 ඔක්‌තෝබර් 23 වැනිදා මොහු මිසයිල ප්‍රහාරය එල්ල කළ රහස්‌ පොලිසිය විසින් තොරතුරු සොයාගෙන තිබුණි.

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් අතර කොළඹට සි. 4 පුපුරණ ද්‍රව්‍ය හා අවි සැපයූ බවකියන තංගවේලු නිමලන් නමැත්තා ද වේ.

රැඳවුමේ භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් අතර 2006 වසරේ කොල්ලුපිටියේ පිත්තල හංදියේදි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සහය වූ පස්‌දෙනකු ද වේ. පොන්නසාමි කදිරගේසු සිවාජි, සිවාජිලිංගම් අරුරන්, දමනාදන් අයිසර් ශ්‍රීස්‌කන්ධරාජා ෂර්මා, චන්ද්‍රබෝන් සෙන්වචන්ද්‍රන් හෙවත් මයිකල් සහ ලෙල්ලයියා තයාලන් හෙවත් පරමනාදන් නමැති කොටින්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මේ කොටි දේශපාලන සිරකරුවන් යෑයි කිව හැකිද?

මෙම පසුබිම මැද වන්නි මෙහෙයුම තුළින් කොටි පරාජය වී වසර 7 සපිරෙන අවස්‌ථාවේ තවත් විශ්මයජනක තොරතුරක්‌ වාර්තා විය.

ඒ කොටි සංවිධානයේ මුහුදු කළු කොටි බළකාය අඩපණ කිරීමට හැකි වූයේ 2002 දී අත්සන් කළ සටන් විරාම ගිවිසුම නිසා බවට ආරක්‍ෂක අංශ පිරිසක්‌ රජයේ බලධාරීන්ට වාර්තාවක්‌ ලබාදීමයි.

මේ අපූරු වාර්තාව රජයේ බලධාරීන්ට ඉදිරිපත් කිරීමට වසර හතක්‌ ගත වූයේ මන්ද? එහෙත් සැබෑ තත්ත්වය කුමක්‌ද? 1987 ජුලි 5 දා වල්ලිපුරම් වසන්තන් හෙවත් කැප්ටන් මිලර් නමැති ත්‍රස්‌තයා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක්‌ රියක්‌ සමග නෙල්ලඩි හමුදා කඳවුරට කඩාවැදීම නිසා සෙබළුන් විශාල පිරිසක්‌ ඝාතනය විය. එදා සිට 2009 මැයි මස කොටි විනාශ වන තෙක්‌ කළු කොටි ප්‍රහාර 300 කට අධික සංඛ්‍යාවක්‌ සිදුවිය. 2009 පෙබරවාරි මස කළු කොටි ගුවන් බලකායේ නියමුවන් දෙදෙනෙක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට හා කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දමා පලා යැමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඔවුන් ගුවන් ප්‍රහාරවලින් මරුමුවට පත් විය.

කොටි සංවිධානය ඉන්දුනීසියාවේ සුරබයා සිට කොටි නැවකින් ස්‌ලින් ගුවන් යානා දෙකක්‌ ගෙන ආවේ සටන් විරාම ගිවිසුම සමයේයි. මෙම යානා බංගලාදේශ කෘෂිරසායන සමාගමකින් මිලයට ගෙන ඉන්දුනීසියාවට ගෙන ගොස්‌ කැබලි කර ආපසු මෙරටට ගෙනැවිත් ඇත. කටුනායක ගුවන් හමුදා කඳවුර අසල මඩ වගුරකට වැටී තිබූ එක්‌ ස්‌ලින් යානාවක අනුක්‍රමික අංකය චෙක්‌ බුද්ධි සේවාව වෙත ලබාදීමෙන් පසු ස්‌ලින් යානා බංගලාදේශ සමාගමට අලෙවි කළ කාල සීමාවද හෙළිවිය. එසේම සටන් විරාම සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරක යානාවලට මි.මී. 23 බලගතු ප්‍රහාරක අවි නොතිබුණි. ඒ නිසා මුහුදු කොටින්ට ප්‍රහාර එල්ල කිරීමට නොහැකි විය. ඇමරිකානු රජය වසර 20 ක්‌ පැරණි කරේජස්‌ නමැති වෙරළාරක්‍ෂක යානාව මෙරටට ලබා දුන්නේද සටන් විරාම ගිවිසුම සමයේයි. එය අළුත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 300 ක්‌ වැය විය. නැවට අවි සවි කිරීම ද චීනයෙන් ලබාගත් ප්‍රහාරක අවි නැවේ සවි කිරීම සඳහාද ඇමරිකානු රජය ඉඩ දුන්නේ නැත. කරේජස්‌a නැව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයුර යෑයි නම් කෙරුණි. සයුර නැවේ තිබූ ප්‍රබල චීන අවිවලින් කළු කොටි බෝට්‌ටු රැසක්‌ විනාශ කිරීමට හැකි විය. එසේම සටන්විරාම සමයේ කොටි ආයුධ රැසක්‌ ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. මේ තත්ත්වය මත සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි මුහුදු බළකාය වැනසුනේ යෑයි වසර ගණනට පසු පවසන්නේ කුමන අරමුණකින්ද? සටන් විරාම ගිවිසුම සමයේ ත්‍රිකුණාමල මුහුදේ මුහුදු කලාපයක්‌ ලබා දෙන ලෙස කොටි සංවිධානය ඉල්ලා සිටියේය. හිටපු ආරක්‍ෂක බලධාරියෙක්‌ එම ඉල්ලීම එවකට නාවික හමුදාපති දයා සඳගිරි වෙත යොමු කළත් ඔහු ඊට එකඟවීම ප්‍රතික්‍ෂේප කළේය. නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර වරක්‌ පැවසුවේ සටන් විරාම සමයේ කොටි සංවිධානය ආයුද රැගෙන බෝට්‌ටුවලින් පැමිණෙන අවස්‌ථාවේ එකී බෝට්‌ටු අල්ලා ගැනීම සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ව්‍යර්ථ කළ බවයි. වරක්‌ ආයුධ රැගත් කොටි බෝට්‌ටුවක්‌ නාවික හමුදාව වැටලූ අවස්‌ථාවේ එය බේරා ගැනීමට සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ඉදිරිපත් වූ බව හෙතෙම පැවසීය.

මෙලෙස අතීතය වසන් කරමින් නව ආරක්‍ෂක බුද්ධි වාර්තා ප්‍රකාශයට පත් වීම මවිතයක්‌ නොවේද? මේ අතර තමිල්නාඩුවේ චෙන්නායි ගුවන් තොටුපළේ අධ්‍යක්‍ෂ දීපක්‌a ශාස්‌ත්‍රි ඇතුළු විමර්ශන කණ්‌ඩායමක්‌ පසුගියදා පලාලි ගුවන්තොටුපලට පැමිණියහ. ඔවුන් පැමිණියේ පලාලි ගුවන්තොටුපළ වැඩි දියුණු කිරීම සඳහා වූ නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමටය. එම නිරීක්‍ෂණ කණ්‌ඩායම රජයට නිර්දේශයක්‌ ඉදිරිපත් කරමින් අලුතින් ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කළ හැකි බව කියා සිටියේය.

මෙවන් පසුබිමක්‌ මැද ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් මෙරට ඇමරිකානු තානාපති අටුqල් කෙශාප් හමුවී සංහිඳියාව සහ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන සාකච්ඡා පවත්වා ඇත.

මින් තහවුරු වූයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙසින් මැදිහත්වීමයි.

මඩකලපුවේ කල්ලඩි ගි්‍රන් හෝටලයේ පැවැති සමුළුවක්‌ ඇමතූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌ වියලෙන්ද්‍රන් ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල ලබා දිය යුතු බව කියා සිටියේය. කැනඩාවේ රජය නගර සභාවලට පොලිස්‌ බලතල දී තිබෙන නිසා ශ්‍රී ලංකාවටද එම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු යෑයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

රජයේ සංහිඳියා ක්‍රියාමාර්ගයට අදාළ තොරතුරු ද මේ සතියේදී හෙළි විය. මෙම සංහිඳියා ක්‍රියාමාර්ගයට සත්‍ය සෙවීමේ කොමිසමක්‌ මෙනම වගවීමට අදාළ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමටද කටයුතු කෙරේ. මේ වගවීම යාන්ත්‍රණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිවී නැත.

මේ අතර කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ තමිලිනිගේ ග්‍රන්ථය එළි දැක්‌වීම සඳහා රජයේ අවසරය ලබා ගැනීමට මැදිහත්වී ඇත්තේ මැතිවරණ සමයේ අටවාගත් සංවිධානයක ක්‍රියාකාරියකු වූ චිත්‍රපටකරුවකු බව අනාවරණයවී ඇත.

ප්‍රභාකරන් මිනිස්‌ ඝාතන සිදු කරද්දී තමිලිනිගේ කාන්තා බළකාය ද්‍රවිඩ තරුණියන් පැහැරගෙන යද්දී මොහු සිටියේ කොහේද? මේ අන්දමට ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනි හා බිරිය මදිවදිනි ගැන ග්‍රන්ථ එළිදැක්‌වුවොත් ඊටද ඉඩ දිය යුතුද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සතියේදී යළිත් වරක්‌ ප්‍රකාශයක්‌ කරමින් මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන සිදු කරන පරීක්‍ෂණයට විදේශ විනිසුරුවරුන් සම්බන්ධ කරගන්නේ නැතැයි කියා සිටියේය.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශකයකු පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන නිසි නිවැරැදි පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවයි.

කීර්ති වර්ණකුලසූරිය