Wed. Jul 3rd, 2024
Spread the News

By

Keerthi Mendis

Courtecy Mawubima

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (ජන. 29) උදය වරුවේ බස්නාහිර සහ දකුණු පළාත් තුළ කරන ලද පැය 7ක විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

මෙය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෑත ඉතිහාසයේ සියලු ම විමර්ශන ඒකක සම්බන්ධීකරණයෙන් කළ සුවිශේෂී මෙහෙයුමකි.

මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බළකායත් මූලිකත්වය ගත්තේ ය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ බුද්ධි අංශ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙහෙයුමට සහාය දැක්වීය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ඍජු අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම සුවිශේෂී මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

මීට සති කිහිපයකට පෙර සිට බුද්ධි අංශය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් කරන ලද රහස්‍ය සැලසුමකට අනුව බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් හඳුනා ගැනීමට රහසිගත බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

මෙම බුද්ධි මෙහෙයුමේ මූලික අරමුණ වූයේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කොටු කර ගැනීමට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගැනීම ය. එම තොරතුරු ඔස්සේ මෙම ඒකාබද්ධ මෙහෙයුම ඇරඹුණේ ඊයේ අලුයම පහට ය. ඒ සඳහා ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා යොදා ගෙන තිබිණි. මෙහෙයුම කරන කාලය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නවුන්, සංවිධානාත්මක අපරාධකරුවන් පළා යාම වළකා ගැනීම සඳහා ගුවන් හමුදාව විසින් එම ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබීම දැකිය හැකි විය.

උදෑසන හය හත වෙද්දී බස්නාහිර පළාතේ හඳුනාගත් ස්ථාන වටලනු ලැබූ අතර සෝදිසි මෙහෙයුම් දිගින් දිගට ම පොලිස් කණ්ඩායම් විසින් කරනු ලබද්දී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කෙළින් ම හඹා ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් අත්අඩංගුවට ගන්නා අයුරු දකින්නට ලැබිණි.

ජාවාරම්කරුවන් පළායන්නේ ද යන්න දැක ගැනීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවල නැගුණු ගුවන් භටයන් අධිතාක්ෂණික කැමරා උපයෝගි කර ගනිමින් ගුවනේ සිට නිරීක්ෂණය කරන්නට විය. ඊට අමතරව ඩ්‍රෝන කැමරා ද කොළඹ හා ඒ අවට අහස් කුස තුළ සැරිසරන අයුරු දැකගත හැකි විය. මෙම මෙහෙයුමේ විශේෂත්වය වූයේ සියලු ම ආරක්ෂක අංශ නිලධාරීන් එකිනෙකාට සම්බන්ධ වෙමින් ක්‍රියාකිරීම ය. එය ද මෑත ඉතිහාසයේ දක්නට ලැබූ සුවිශේෂී සිදුවීමකි.

මෙම මෙහෙයුම රහස්‍ය සැලසුමකට අනුව එක වර ම ක්‍රියාත්මක වීම නිසා බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිය නිවෙස්වලින් සහ තිප්පොළවලින් පැන යාමට නොහැකි විය. කෙසේ වෙතත් දහවල් 12.00ට ආසන්න වෙද්දී ඒ ඒ වසම් තුළ ස්ථාපනය කර ඇති පොලිසිවලට අල්ලාගත් සැකකරුවන් කොටු කර ගනු ලැබීය. මෙම මෙහෙයුම නිසා ප්‍රාදේශීය පොලිස් වසම් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නවුන් විශාල පිරිසක් කොටු වූහ. බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 285 දෙනකු අත්අඩංගුවට ගැනීම මෙම ඒකාබද්ධ මෙහෙයුමට හැකිවිය. ඒ අතරට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සහ ඒවායේ යෙදෙන්නන් 60 දෙනෙක් ඇතුළත් වූහ.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථාන වූ බැවින් නිලධාරීන්ගේ මූලික ඉලක්කය වූයේ එම පළාත් දෙක තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන එම පළාත් තුළ මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කර දැමීමය.

පැය 7ක් තුළ කළ එම මෙහෙයුමෙන් නුගේගොඩ කොට්ඨාසයෙන් සැකකරුවන් 33ක් ද, ගල්කිස්ස කොට්ඨාසයෙන් පුද්ගලයන් 70ක් ද, මීගමුව කොට්ඨාසයෙන් 4ක් ද, ගම්පහ කොට්ඨාසයෙන් 13ක් ද, කොටු කර ගැනීමට නිලධාරීන්ට හැකි විය.

මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තව පැවැතෙන කොළඹ දිසාවට අයත් කොළඹ උතුර කොට්ඨාසයෙන් සැකකරුවන් 24ක්, කොළඹ දකුණෙන් 30ක් සහ කොළඹ මධ්‍යම කොට්ඨාසයෙන් සැකකරුවන් 10ක් ද අත්අඩංගුවට ගැනිණි.

එමෙන් ම, පානදුර කොට්ඨාසය සහ කළුතර කොට්ඨාසවල හඳුනාගත් ස්ථානවලට කඩාපැන්න නිලධාරීහු පානදුර කොට්ඨාසයෙන් පුද්ගලයන් 12ක් ද, කළුතර කොට්ඨාසයෙන් පුද්ගලයන් 14ක් ද අත්අඩංගුවට ගත්හ.

රාජ්‍ය බුද්ධි සේවය මෙම සුවිශේෂී මෙහෙයුමට දැක්වූ දායකත්වය අගය කළ යුතු ය.

සති කිහිපයකට පෙර සිට බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තව ඇති ස්ථානවල සැරිසරමින් ඔත්තුකරුවන් සහ මත්කුඩු පානය කරන්නන්ගෙන් තොරතුරු ලබා ගනිමින් එම ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ඔවුන් නිසියාකාරව ඉටු කර තිබිණි.

කොළඹ උතුර කොට්ඨාසය, වැල්ලම්පිටිය, මෝදර බබෝවිට, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, ගල්කිස්ස ආදී ප්‍රදේශවල ඉකුත් සතියේ බුද්ධි අංශයේ නිලධාරීන් ඒ සඳහා ම ක්‍රියාත්මක වී තිබිණි.

ඉදිරි කාලය තුළත් මෙවැනි මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් සකස් කර ඇති අතර සමහරක් විට දීපව්‍යාප්තව මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ද සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව අවධාරණය කළේ ය.

මෙම මෙහෙයුම් මත්ද්‍රව්‍යවලට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඊයේ (ජන. 29) අත්අඩංගුවට ගත් සියලු ම සැකකරුවන්ට එරෙහිව නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින්, ගංජා සහ කේරළ ගංජා ව්‍යාපාරයේ යෙදෙන්නන් වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොලිසිය සමග යුද්ධ හා ගුවන් හමුදාවන් ද ඊට අමතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බළකාය, රාජ්‍ය බුද්ධි සේවය ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කළ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කර තිබිණි.

ඉදිරියේදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් නොදී ඔවුන් ඉලක්ක කර ගනිමින් මෙවන් මෙහෙයුම් රට පුරා නොකඩවා දියත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම මෙහෙයුම් සිදු කෙරේ. ඒ සඳහා පොලිස්පතිවරයා විසින් සියලු ම පොලිස් නිලධාරීන්ට සහ විශේෂ කාර්ය බළකායට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබ තිබිණි.

මේ අතර, ඊයේ උදය වරුව තුළ සිදු කළ මෙහෙයුමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් ද, ගංජා කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.