Wed. Jul 3rd, 2024
Spread the News

බංකොලොත් වූ විටක ගේ දොර ඉඩකඩම් උගස් තියා හෝ විකුණා කෑමට බීමට හා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මිනිසුන් ඉන්න ප්‍රධානම රට ශ්‍රී ලංකාව වෙන්නත් පුළුවන්.

මෙය පුද්ගල අනාරක්ෂිත භාවය මෙන්ම සමාජ (පවුල් ඒකකය ද ඇතුළුව) අනාරක්ෂිත භාවය ද පැහැදිලිවම පෙන්වන ප්‍රබල සාක්ෂියක්.

උගසට තැබූ ඉඩම හෝ ගේදොර කවදා හෝ බේරා ගැනීමට හැකිවේ යැයි අනුමාන කර මේ තීරණය ගනු ලැබුවද, ක්‍රමයෙන් ගරා වැටෙන ආර්ථිකය ගමන් කරන්නේ උගසට තැබූ දේපල සින්න වෙන විදිහට බව මෑත අතීතය විසින් ඔප්පු කර ඇත.

පුද්ගල මට්ටමින් එය කළත් උගස් බැංකුවක් හරහා එය කළත් ප්‍රතිඵලය එකමය.

දුර්වල පාලකයින් කරන්නෙත් ආරම්භයේ දී වටිනාම ඉඩම් කැබලි කර වෙනත් රටවල්වලට විකිණීමත්, සමහර දේපල (ලාභ ලබන ව්‍යාපාර සහ කර්මාන්ත වැනි) 39 වසරක බද්දට දීමත් වැනි රටේ අනාගත පරපුර උගසට තබන අන්දමේ ආර්ථිකයක් පවත්වාගෙන යාමයි.

ගේදොර උගසට තබන මධ්‍යම පංතිකයා සමහර විට බලාපොරොත්තු වෙන්නේ එක දරුවකුට හෝ හොඳට උගන්වා, උදාහරණයක් ලෙස පවුලේ පුතෙකු වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කර ඒ දරුවා විවාහ වන අවස්ථාවේ වෘත්තීය සුදුසුකම් වලට ලැබෙන ඉහළ දෑවැද්දක් තුළින් ප්‍රශ්නය විසඳාගැනීමටයි.

බලාපොරොත්තුව අහිංසක විය හැකියි.
එහෙත් කාලය දිව යන්නේ අපට ඕනෑ අන්දමටම නොවෙයි.

ගෙවී ගිය කාලය තුළ අපට දකින්නට ලැබෙන්නේ නටඹුන් වූ ආර්ථිකය පමණක් නොව අහිංසක මිනිසුන්ගේ හෙට පිළිබඳව තිබුණු සිහින ද ඒ කාලය තුළ බොඳ වී ගොස් ඇති බවද පෙනී යනවා.

පවුලේ දියණියන් උසස් අධ්‍යාපනයක් තුළින් ගෞරවනීය රැකියාවල් ලබාගෙන පවුලේ නමද රැකගනී යන බලාපොරොත්තුව සුන් කරමින් ඔවුන් SPA සේවයට යාම ශෝචනීය ද නැද්ද යන්න තීරණය කිරීම මෙය කියවන ඔබටම භාර කරමි.

ඇය එම ආයතනය තුළ කරන්නේ සම්බාහනය පමණක්ද යන ප්‍රශ්නය නොඅසාම මම මග හැර යන්නේ ප්‍රශ්නයෙන් පළා යාමට නොව, ඒ ගැන සිතන විටත් වේදනාකාරී සිතුවිල්ලක් මනසට ඇතුළු වන නිසයි.

ආර්ථික සාධකය තුළින් පමණක් රටක් දියුණු කළ නොහැකි බව අප පවසන්නේ වසර 40ක පමණ කාලයක සිටයි.

මේ කාලය තුළ වාමාංශික යයි කියාගන්නා ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂ තම පාක්ෂිකයින්ට හා වෘත්තිය සමිති සාමාජිකයන්ට කියා දුන්නේ වීදි සටන් වලින් අයිතිවාසිකම් දිනා ගන්නා ක්‍රමවේදයක්.

නමුත් රටේ ජනතාව හෝ එම පක්ෂ විසින් දිනා ගන්නා ලද අයිතිවාසිකමක් ඇත්දැ යි සිතෙන තරමට ඔවුන් ඉතිහාසය තුල ප්‍රතික්ෂේප වී ඇත.

නව පරපුරේ “වාමාංශිකයන්” වන
ජාතික ජන බලවේගය වැනි කණ්ඩායම් අලුතින් දරුවෙක් වැදීමට ගැබ්බර වී ඇති බවක් පෙන්නුම් කරයි.
ඉතාමත් බලාපොරොත්තු සහගතව පීඩිත ජනතාව විශ්වාස කරන්නේ උපදින්න ඉන්න එම දරුවාගේ ජීව විද්‍යාත්මක පියා ජවිපෙ කියායි.

රජවරු තිදෙනෙක් ජේසු බිළිඳා බැහැදැකීමට බෙත්ලෙහෙමට පැමිණෙන්නේ ජේසු තුමන් ඉපදුණාට පසුවයි.

එහෙත් අලුතින් උපදින්න ඉන්න ජා.ජ.බයේ “නව සංස්කෘතියේ” සැබෑ පියා ජවිපෙද කියා සැකයක් ඇති වන්නේ ගැබ්බර වූ මව බැහැ දකින්න ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මෙන්ම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තුමිය ද තෑගි බෝග රැගෙන පැමිනෙන්නේ පියා කවුරුන්ද කියා ඔවුන් නිසැකවම දන්නා නිසා යයි කරන උපකල්පනය සාවද්‍ය විය නොහැකියි.

අදහස සංවාදයට විවෘතයි. එහෙත් කුණුහරුප වළින් කරන සංග්‍රහ වලින් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

17.03.2023