Wed. Jul 3rd, 2024
Spread the News
Kanchan Wijesekara

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අලුත්ම ඥාති සංග්‍රහය; විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ළඟදීම විවාහ වන ව්‍යාපාරික පවුලට මෙරට ඛනිජතෙල් බෙදාහැරීමට අලුතෙන්ම ඇතුල්වන සමාගමේ නියෝජිත බව ලබා දී ඇත….
(සමාජ මාධ්‍ය ජාලාවෙන් උපුටාගැනීමකි)


කාංචන ගේ පියා මහින්ද විජේසේකර මගේ දේශපාලනය ගෝලයෙක්.

හැටේ දශකයේ අග භාගයේ ඔහු එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන විට සැබැවින්ම නිර්ධන පංතිකයෙක්.

ඒ නිසාම ඔහු විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙක් ලෙස සිටින අතරතුරයි 1968 රෝහණ විජේවීර හා මා අතර තිබූ සාකච්ඡාවකින් පසුව, මහින්ද විජේසේකර ව විජේවීරට හඳුන්වා දුන්නේ.

සන්නද්ධ අරගල වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් ව ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනයේ ව්‍යුහමය වෙනසක් කිරීමට විජේවීරට මා යෝජනා කළ බව මහින්ද විජේසේකරටත් පවසා තරුණ පරපුරට නායකත්වය දෙන්නේ නම් හිංසාවෙන් තොරව එය කරන ලෙස මහින්දට මා තරයේ අවවාද දුන්නා.

ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී බොරු නමක් පාවිච්චි කරමින් බන්ධනාගාරයට ඇතුල් වී හිතවත් ජේලර් කෙනෙකුගේ ද සහය ලබාගෙන, ඔහුට නඩුවෙන් බේරීමට යම් උපදෙස් මාලාවක් ලබා දුන්නා. මහින්ද විජේසේකරව අන්තවාදීන්ගෙන් මුදවාගෙන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් සඳහා තරුණ නායකත්වයක් ගොඩනැංවීමට මා කළ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1971 වසරේ මා ජවිපෙ නායකයෙක් ලෙස හංවඩු ගසා කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කළත්, එම නිලධාරීන් පැහැදිලිවම තේරුම් ගත්තා මා උත්සාහ කර ඇත්තේ තරුණයින්ව හිංසාකාරී ක්‍රියා වලින් ඈත් කර තැබීමට බව. ඒ නිසාම මට නිදහස ලැබුණා.

1985 වන විට අප දෙදෙනාම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් ලෙස කටයුතු කළා.

තරුණ කාලෙදි තිබුණු ආර්ථික අමාරුකම් නිසාදෝ, ඔහු පසු කලෙක මුදලට, බලයට පුදුම විධිහට ආදරය කළා.

මුදල් ඉපයීමේ ක්‍රියාදාමයේදී එහි නීතිගරුක බවක් හෝ සදාචාරයක් තිබිය යුතු බව ඔහුට කවදාවත් අදාළ වුණේ නැහැ.

නිර්ධන පංතියට විමුක්තියක් දෙන්න මා ඔහුට යෝජනා කළ අවධියේ ජීවත් වුණු මහින්ද නොවෙයි පාර්ලිමේන්තුවේ පෙනී සිටියේ.

1998 දී එවකට ධීවර අමාත්‍යව සිටි මහින්ද රාජපක්ෂට අනාගත වාක්‍යයක් ලෙස මා කියාසිටියේ ජී එල්. පීරිස්, එස්.බී, මහින්ද විජේසේකර ලඟදීම ශ්‍රීලනිපය පාවාදි එජාපයට යන බවයි.
මා එසේ කියන විට එම ස්ථානයේ වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ පසු කලෙක බන්ධනාගාර ඇමතිව සිටි චන්ද්‍රසිරි ගජධීරත් හිටියා.

මා කියූ දෙය මහින්ද රාජපක්ෂ පිළි නොගත්තත්, මා කිව් ලෙසටම එම තිදෙනා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසින් පක්ෂයට ද්‍රෝහි වුණා.

විශ්ව විද්‍යාලයට එන විට සාමාන්‍ය පාපැදියක් මිලදී ගැනීමටවත් වත්කමක් නොතිබුණු මහින්ද විජේසේකර මුහුදේ මසුන් අල්ලන ට්‍රෝලර් යාත්‍රා හා සුඛෝපභෝගී මෝටර් රථ විශාල ගණනක් අයත්ව තිබුණා.

මා ඔහු සමග තිබූ මිත්‍ර සම්බන්ධකම් අතහැරියේ ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතය ඇරඹීමත් සමගයි. රජෙක් වුවත් දූෂිත නම් එවන් පුද්ගලයෙකුට මාගේ ජීවිතේ කිසිදාක ඉඩක් ලැබෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවට ආ තාත්තලගෙ පුත්තු වැඩ අල්ලන ක්‍රමය දුටුවිට හිතාගන්න පුළුවන් පුතාලා යන්නේත් මොන පාරෙද කියලා.

මේ වගේ තාත්තලගෙන් මෙන්ම ඒ තාත්තලගෙ මේ වගේ පුතුන් ගෙන් ද ලංකාවට සිදු වූ හානිය ගැන සිතන විට ශ්‍රී ලාංකික ජනතාව මොනතරම් අවාසනාවන්තයින්
පිරිසක් ද කියා මගේ හිත මටම වධ දෙනවා.

සජිත්ගේ පියා මහා ප්‍රේමදාස ලංකාවේ හමුදාවන් කොටි ත්‍රස්තයන් ට පාවාදීමේ වන්දිය ජීවිතෙන් ගෙව්වා.

මහින්ද විජේසේකර විසින් කර ඇති අපරාධත් බලයෙ ඉන්නතාක් යට ගැහුනත්, නිසි අවස්ථාවේදී කර්මය
ඔහු සොයාගෙන ආවා.

මෙම අතීත ආවර්ජනය කාගෙවත් චරිත ඝාතනය පිණිස කරන ලද්දක් නොව
අසීමිතව ධනයට හා බලයට ආදරය කරන මිනිස්සුන්ගේ ඉරණම පිළිබඳ කරනු ලබන සත්‍ය ගවේෂණයක් බව
කාරුණිකව සඳහන් කරනු කැමැත්තෙමි.

– තෙවැනි ඇස-

03.06.2023