Fri. Sep 6th, 2024
Spread the News

ආරියතිලක
2024.07.18


අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසා අතිබව මාධ්‍ය වාර්තා කර තිබිණි.


ණය ඉල්ලීම, ණය ගැනීම, සහ ණය දීම මෙරට නීතිය අනුව නීති විරෝධී නැත. මිය ගිය පුද්ගලයාට ඔහුගේ වටිනා ම දේ නැති වී ඇත. එනම්:- ඔහුගේ පණ ය. ඔහුගේ  පණ බලහත්කාරයෙන් අහිමි කර ඇත. ලංකා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවෙහි 3 වෙනි ව්‍යවස්ථාවේ  “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාවකෙරෙහි  පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ ය.  පරමාධිපත්‍යයට පාලන බලතල,  මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ ය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි “ජනතාවගේ පරමාධිපත්‍ය” යන වචනය මත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉදිරි ව්‍යවස්ථා සියල්ල පිහිටා ඇත.   මෙතෙක් ඇමරිකා, මහා බ්‍රිතාන්‍ය (අලිඛිත), ප්‍රංශය ඉන්දීය ඇතුලු  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ද ඒ ස‍‍‍‍‍‍‍ඳහා දී ඇති  අර්ථයන්, එහි  සැබෑ තේරුම සෘජුව ස්පර්ෂ නො කරයි.  “ජනතාවගේ පරමාධිපත්‍ය” නම් සෑම කෙනෙකුගේ ම පණට තිබෙන අයිතිය යි.  සෑම කෙනෙකුට ම පණ රැක ගැනීමට තිබෙන අයිතිය යි. සෑම කෙනෙකුම විසින් සියලු දෙනාගේ පණ රක්ෂා කර දීමට ඇති අයිතිය යි. 


“පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ ය.”  කිසිවෙකුගේ පණ කිසිවෙකුටත් ම අත්හැරිය නො හැක. අනෙකාගේ පණ නො තකා හැර කටයුතු කිරීමට ඉඩක් නැත; සෑම කෙනෙකු ම
අනෙකාගේ පණට ගෞරව කළයුතු නොවන්නේ ද? සැම දෙනා විසින් ගෞරවයෙන් රැකිය යුතු තමාගේ මෙන් ම අනෙකාගේ පණ, මිය ගිය පුද්ගලයාට ඇහිමි වී ඇත. නිකන් ම නොව සහාසික අපරාධ කරුවන් විසින් අහිමි කර  ඇත.
එසේ නම් ඒ අපරාධය විමර්ශනය කිරීමේව්දී මියගිය තැනැත්තා රට වටේට ණය වී ඇති බව අනාවරණය වූ පසු මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කියා සිටින්නේ මේ අපරාධයේ,  රටේ ජනතාව විසින් දැන ගතයුතු ප්‍රධන ම දේ එයයැයි කියා ද? එය රටේ ජනතාවට දැන ගැනීමෙන් ඵලය කිම? මේ පරාධය සම්බන්ධව සොයා ගත් අවශ්‍යම වූ ප්‍රධානත ම වූ සහ හොඳ ම සොයා ගැනීම එය නිසා ද? පණ ආරක්ෂා කර  දීමේ ප්‍රධාන වගකීම රජය සතු ය. මිය ගිය පුද්ගලයාගේ පණ රැක දී ගත නොහී, ඔහු මිය ගිය පසු මිය ගිය පුද්ගලයා “මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බව” කීම ඔහුගේ පණට කළ නිගාවක් නොවන්නේ ද? ණය වී ඇති නම් අතේ සතේ නැති නම් මිය ගියාට කමක් නෑ කියන්නා සේ ය.  මිය ගිය තැනැත්තාට එසේ නම් ජීවත් ව සිටින පුද්ගලයන්ට ද එය එසේ ම යැයි කියා අපට නො සිතා සිටීමට  නො හැක.