Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy Alamy

ඡන්දයේ සැබෑ පරමාර්ථය විමසා බලන්න.
එය යමක් නිර්මාණය කිරීම සඳහා ජනතාව සතු උපාංගයක් උපකරණයක් වැනි දෙයක්.

එය විටෙක තියුණු ආයුධයක් වැනි දෙයක්. ඒ නිසාම එය කුඩා දරුවන් අතට හෝ මානසික රෝගීන් අතට පත් නොවිය යුතුයි.

ඡන්දයෙන් කෙරෙන්නේ ජනතා පරමාධිපත්‍යය නියෝජිතයින් පත් කර ගැනීමේ ක්‍රියාවලියක් බවට පරිවර්තනය කිරීමයි. පරමාධිපත්‍යයට ප්‍රායෝගික අර්ථයක් ලබා දීමයි.

සීනි වලින් රසකැවිලි මෙන්ම කසිප්පු පෙරීම සඳහා ගෝඩා හැළිය ද සකස් කළ හැකියි.

ඡන්දයක් හොඳට හෝ නරකට දෙකටම පාවිච්චි කළ හැකියි.

දැනට බලයේ සිටින, තමන්ට බලය අහිමි වේයැයි බියෙන් පසුවන පාලක මෙන්ම විපක්ෂයද පාර්ලිමේන්තුව තුළ ද ඉන් පිටතද හැසිරෙන්නේ මන්ද බුද්ධිකයින් ලෙසින්. නැතිනම් මරු විකල්ලෙන්.

ඡන්දය තිබ්බත් දිනා ගන්නේ ඔවුන්. ඡන්දය නොතිබ්බත් බලයේ සිටින්නේ ඔවුන්.

දැනට පාර්ලිමේන්තුවේ සිටින බහුතරය සාමාන්‍ය හොරුන් නොව අපරාධකරුවන් වෙති. ඒ අතර කුඩුකාරයින් මිනිමරුවන්, ගෙවල් බිඳින්නන්, මං පහරන්නන් ඇතිපදම් ඇත.

මැතිවරණයකින් පරාජය වී ඔවුන් සියතින් ගෙල වැළලාගනී විද?

අවාසනාවකට වර්තමාන පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය කියන්නේත් අපරාධකරුවන්ගෙන් පැවත එන පිරිසක් මයි. රතු සහෝදරයින් වේවා කොළ සහෝදරයන් වේවා නිල් සහෝදරයින් වේවා, මේ කවුරුත් තාළ වර්ගයට අයත් එකම ගහේ ගෙඩි.
කලට වෙලාවට පොල් ගෙඩිය නො කැඩුවහොත් වියළි පොල් හිස මතට වැටෙන්නත් ඉඩ තිබෙනවා. ඒවා රන් තැඹිලි ද ගොන් තැඹිලිද නැත්නම් නිකංම පොල් ද කියා වෙනසකින් තොරව හිස මතට වැටුනොත්
දකින්න වෙන්නේ එළොව පොල්.

මැතිවරණයක් පැවැත්වූවත් ජනතාවට හිතකර අන්දමින් එහි ප්‍රතිඵල තීරණය නොවන්නේ බලයේ සිටින සිටින පිරිසට අභියෝගයක් දෙන පිරිසක් ජනතාවට සේවය කිරීම කෙසේ වෙතත් හුදු බලය ලබා ගැනීම සඳහා පමණක් බලු පොරයක යෙදී සිටින නිසයි.

හැමදාමත් තැලී පොඩි වී දුක් විඳින ජනතාව දැනටත් පොර කමින් සිටින මේ සුනඛ රැළට විළි වසා ගැනීම සඳහා ජංගි ඇන්ඳ විය යුතුද?

බලය ලැබුණු දාක දැනට බලයේ සිටින අයව අල්ලා සක්වළ ගලේ ගසනවා කීවට බඩගින්නේ සිටින ජනතාවගේ කුසගින්න පිරෙන්නේ නැත.

දේශපාලනයේ මනා දැනුමක් ඇති මෙතෙක් පාර්ලිමේන්තුවට නොගිය එහෙත් රට මේ ව්‍යසනයෙන් ගොඩ ගත හැකි බුද්ධිමත් බවෙන් හා සුවිශේෂී හැකියාවන් ගෙන් යුත් ස්වාධීන ජනතා කමිටු මුළු ලංකාව පුරාම පිහිටු විය යුතුයි.

පාර්ලිමේන්තුවෙන් පිටත සෑහෙන ජන බලයක් ගොඩනගා ගත් පසු ස්වේච්ඡා සංවිධාන ලෙස ග්‍රාමීය හා නාගරික වශයෙන් ප්‍රශ්න වෙන් වෙන්ව හඳුනා ගෙන ඒවාට පිළියම් ලබාදෙමින්, ගෘහස්ථ බෝග වගාවට මුල්තැන දෙමින්, ආහාර ද්‍රව්‍ය වලින් රට ස්වයං පෝෂිත කරමින් දේශපාලන නොවන ගමනක් යා යුතුයි.

ප්‍රතිඵලය:

මෙතෙක් කල් රට සූරා කෑ, ජනතාවගේ ධනය පිටරට පැටවු දේශපාලන හතුරන්ට ජනතාව පිටුපසට පයින් ගසා දොට්ට දමනු ඇත.

එතෙක් නිළනොවන අන්දමින් ජනතාවගේ නියෝජිතයින් ලෙස ජනතාව සමඟ ම ජීවත් වූ නිර්පාක්ෂික ස්වාධීන කණ්ඩායම් ජනතාව ඔවුන්ගේ කරමත තබාගෙන මැතිසබය දක්වා ගෙන යනු ඇත.

බැලූ බැල්මට මෙය හීනයක් සේ පෙනෙනු ඇත.
එහෙත් ලෝකයේ මීට වඩා විස්මයජනක දේ සිදුවී ඇත.

සර්ව සුභවාදීත්වය හා අධිෂ්ඨානය IMF ණය වාරිකයන්ට වඩා බලවත් බව මනසේ ගැඹුරින් තැන්පත් කර ගත් විට ණයට කෑ යුගය අවසන් කළ හැකියි.

ඔව් ! අපට පුළුවන්.

මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා

23.03.2023