Fri. Jul 5th, 2024
Spread the News

කරුණානිධි සහ පුත්‍ර සමාගමේ “ඊළාම්” නාඩගම
SOURCE:
* ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමේ දකුණු අප්‍රිකානු සැලැස්‌ම ව්‍යාර්ථ වේ

* ඊළම ලබාදීමේ ජනමත විචාරණයක්‌ ඕනෑ

* උතුරු නැගෙනහිර වෙරළ තීරයේ සිංහල ධීවරයන් පන්නනු

* කච්චතිවු අල්ලාගෙන ඉන්දීය නාවික කඳවුරක්‌ පිහිටවනු

* ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල සහ විදේශ සිරගෙවල්වල
සිටින කොටි මිනීමරුවන් නිදහස්‌ කරනු

* උතුරින් හමුදා කඳවුරු ඉවත් කරනු

* කරුණානිධි සහ පුත් ස්‌ටාලින් සතුව ස්‌විස්‌ බැංකු 2 ක
ඇති කළු සල්ලි රුපියල් මිලියන 50000 ක්‌ යෑයි හෙළිවේ

* මියගිය කොටි ත්‍රස්‌තයන්ව සැමරීමට තන්ජවූර්හි ස්‌මාරකයක්‌

* අන්තර්වාර තමිල් ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ
සංවිධානයට රුද්‍රකුමාරන් සිංහල කොටියකු වූ
බ්‍රයන් සෙනවිරත්න ද පත් කරයි

* යුද අපරාධ ගැන සොයන්නැයි බෑන් කී මූන්ට ලිපියක්‌
යෑවූ මැලේසියානු සංවිධානය සමග සාකච්ඡා කළ ශ්‍රී ලංකා
තානාපතිව ආපසු කැඳවයි

තහනම් වචනය – ඉන්දීය රජය
තහනම ඉවත්වූ වචනය – ඊළම
ප්‍රධාන නළු නිළියෝ – තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි,
පුත් ස්‌ටාලින් හා දියණිය කනමෝෂි
දුෂ්ටයාගේ චරිතය – වික්‍රමබාහු කරුණාරත්න
සහයක දුෂ්ට නළු – කන්නන් (බ්‍රිතාන්‍යය)
විදෙස්‌ නළු කණ්‌ඩායම – අබ්දුල් රසාක්‌ මුමෝ
(නයිජීරියානු මන්ත්‍රී), නෂිම් මලික්‌ (ස්‌වීඩන් මන්ත්‍රී) සහ
යුස්‌මොඩි යූසුප් (මැලේසියානු මන්ත්‍රී)
අධ්‍යක්‍ෂණය, නිෂ්පාදනය, තිර රචනය සහ මෙහෙයවීම – මුතුවේල් කරුණානිධි

1. මියගිය කොටි මිනීමරුවන් සැමරීමට තමිල්නාඩුවේ තන්ජවුර්හි ඉදිවූ ස්‌මාරකය.
2. චෙන්නායි පැවැති ඊළාම් සමුළුවේදී වික්‍රමබාහු කරුණාරත්න.
3. චෙන්නායිහි දිනමලර් පුවත්පත කරුණානිධිව හාස්‍යයට ලක්‌ කර තිබූ අයුරු.
4. ඊළාම් සමුළුවේදී උඩරට කඳුකරය ද ඊළමට ඇතුළත් කරගත යුතු යෑයි හඬ නැඟූ බ්‍රිතාන්‍ය කොටියකු වූ කන්නන්.

 

කරුණානිධිගේ ඊළාම් සමුළුවට එරෙහිව කොළඹදී පැවැති විරෝධතාවය

පසුගිය අප්‍රේල් 25 වැනිදා තමිල්නාඩු චෙන්නායි නගරයේදී ප්‍රසිද්ධ රැස්‌වීමක්‌ ඇමතූ කරුණානිධි තමාගේ ඉටු නොවූ එකම සිහිනය ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යය පිහිටුවීම යෑයි ප්‍රකාශ කළේය. ඊට පස්‌ දිනකට පසු ඔහු යළිත් කීවේ තමිල් ඊළාම් ආධාරකරුවන්ගේ කණ්‌ඩායම මගින් සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකාවේ පවතින ද්‍රවිඩ ප්‍රශ්නයට එකම විසඳුම ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම බවයි.

ජුනි 3 වැනිදා චෙන්නායිහිදී යළිත් පැවැත්වූ රැස්‌වීමකදී හෙතෙම පළ කළේ ටෙසෝ (TESO) හෙවත් ඊළාම් සමුළුව අගෝස්‌තු 12 වැනිදා පවත්වන බවත් එහිදී “තමිල් ඊළාම්” රාජ්‍යය ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කිරීමේ ක්‍රමවේදය දියත් කරන බවයි.

එහෙත් ඉන්දීය බලධාරීහු කරුණානිධිට අනතුරු අඟවනු ලැබීය. ජුලි 16 වැනිදා කරුණානිධි මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් තමිල් ඊළම යනු අදහසක්‌ බවත් ඊළාම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවන බවට යෝජනාවක්‌ සම්මත කරගන්නේ නැතැයි ද කියා සිටියේය.

තමිල්නාඩු හිටපු මහ ඇමැතිවරයා එකවරම සිය ඊළාම් ක්‍රමවේදය වෙනස්‌ කළේ ඇයි? ඒ වන විට කරුණානිධිගේත් ඔහුගේ පුත් ස්‌ටාලින්ගේත් කළු සල්ලි  විශාල මුදලක්‌ ස්‌විස්‌ බැංකු දෙකක බැරවී තිබූ බව ඉන්දීය බලධාරීන්ට අනාවරණය වී තිබිණි. කරුණානිධි සතුව ස්‌විට්‌සර්ලන්තයේ බැලෝසේ බැංකුවේ රුපියල් මිලියන 35000 ක්‌ද, ඔහුගේ පුත් ස්‌ටාලින් සතුව ඕල්ටර්නේටිව් බැංකුවේ රුපියල් මිලියන 10500 ක්‌ද ඇතැයි තවදුරටත් හෙළි විය. එසේම කරුණානිධිගේ දියණිය වූ කනමෝෂි ජංගම දුරකථන ජාලයට සම්බන්ධ රුපියල් මිලියන ගණනක දූෂණ ක්‍රියාවකට සම්බන්ධ යෑයි ඉන්දීය රහස්‌ පොලිසිය විසින් නම් කර තිබිණි.

මේ පසුබිම යටතේ කරුණානිධි සිය ඊළාම් සමුළුවට පැමිණෙන පුද්ගලයන් කවුදැයි හෙළි කළේය. හිටපු ඉන්දීය ආරක්‍ෂක ඇමැති ෂාරාද් පවර්, ඉන්දීය ජම්බු කාශ්මීර් මහ ඇමැති පාරුක්‌ අබ්දුල්ලා, ඉන්දීය මන්ත්‍රී ෂාරුද් යාදෙව්, හිටපු ඇමැති රාම් විලාස්‌ පාස්‌ටන්, ද්‍රවිඩ සන්ධානයේ මාවයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්තිරන්, යෝගේශ්වරන්, තිරු සරවනබවන්, සෙල්වල් අඩෙයිකලානන්දන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රී සෙල්වරාජා ගෙජේන්ද්‍රන්, විශ්වලිංගම් මානිවන්නන්, පත්මිණිසිතම්පරම්, නාදන් සහ වික්‍රමබාහු කරුණාරත්න යන පිරිස ඊළාම් සමුළුවට සහභාගි වන බව ඔහු ප්‍රසිද්ධ කළේය. එහෙත් ද්‍රවිඩ සන්ධානයේ සහ හිටපු ද්‍රවිඩ දේශපාලකයන් මුහුණපෑමේ ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තෝ නසී යන තත්ත්වයකටය.

ඊළාම් සමුළුවට යන අයවළුන් ගැන නිරීක්‍ෂණය කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කිරීමත් සමගම ද්‍රවිඩ සන්ධානයේ පිරිස්‌ චෙන්නායි යැම නතර කළහ.

මේ වන විට තමිල්නාඩු රජය සහ පොලිසිය ද ඊළාම් සමුළුව පවත්වන ස්‌ථානය ජනතාවට දුෂ්කරතාවට පත්වන තැනක්‌ යෑයි කියමින් ඊට අවසර දුන්නේ නැත.

එසේ වුවත් කරුණානිධිගේ සගයෝ අධිකරණය වෙත පෙත්සමක්‌ යොමු කළහ. ඒ අනුව මදුරාසි මහාධිකරණයේ ධර්මරාම් සහ වේරුගෝපාල් යන විනිසුරුවන් දෙදෙනා පසුගිය සෙනසුරාදා විශේෂයෙන් රැස්‌වී ඊළාම් සමුළුව පැවැත්වීම තහනම් කරමින් පොලිසිය පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබීය. එසේම මේ සමුළුව තුළ “ඊළම” යන වචනය භාවිත කිරීම ඉන්දීය රජය විසින් තහනම් කර තිබිණි. එහෙත් සෙනසුරාදා සවස්‌ යාමයේදී එම තහනම ද ඉවත් විය.

මේ අතර ඊළාම් සමුළුවේදී යෝජනා 17 ක්‌ සම්මත වූ අතර ඉන් 14 ක්‌ම ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වී තිබිණි. අපේ පාඨකයන්ගේ දැන ගැනීම උදෙසා එකී යෝජනා මෙලෙස දක්‌වන්නෙමු.

1. ද්‍රවිඩ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදු කළ සැකකරුවන් ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නීතිමය පියවර ගැනීම, 2. ද්‍රවිඩ ජනතාවගේ ඉඩම්වලින් හමුදාව ඉවත්වීම, 3. ද්‍රවිඩ ජනතාවගේ අරමුණ මත දේශපාලන විසඳුමක්‌ සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතීන් වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම, 4. ද්‍රවිඩ ජනතාවගේ ඉඩම්වල සිටින සිංහල ජනතාව ඉවත් කිරීම, 5. කච්චතිවු දූපත පවරාගෙන එහි ඉන්දීය නාවික කඳවුරක්‌ ඉදිකිරීම, 6. ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල සිටින සියලුම ද්‍රවිඩ සිරකරුවන් නිදහස්‌ කිරීම, 7. ශ්‍රී ලංකා හමුදාවට ඉන්දියාවේදී හමුදා පුහුණුව ලබා නොදීම, 8. විදේශ රටවල සිටින ද්‍රවිඩ සිරකරුවන්ව නිදහස්‌ කිරීම, 9. ද්‍රවිඩ සලකුණු (කොටි ස්‌මාරක) විනාශ නොකිරීම, 10. ද්‍රවිඩ ප්‍රදේශවල සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුවක්‌ පත් කිරීම, 11. ඊළාම් සමුළුවට සහභාගි වන අය ගැන නිරීක්‍ෂණය කරන බවට ශ්‍රී ලංකා රජය කර ඇති ප්‍රකාශය හෙළාදැකීම, 12. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ට පුරවැසි බව ලබාදීම, 13. ද්‍රවිඩ ජනතාවගේ ඉඩම්වලින් හමුදාව ඉවත් කිරීම, 14. ද්‍රවිඩ ප්‍රදේශවල සාමය ඇති කිරීම සඳහා එක්‌සත් ජාතීහු ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතුයි.

මෙවන් ඉල්ලීම් සම්මත කරගත් කරුණානිධිගේ ඊළාම් සමුළුවේ ලාංඡනය වූයේ ද කොටින්ගේ ඊළාම් සිතියමයි. මීගමුවේ සිට පානම දක්‌වා ප්‍රදේශය ඊළමට අයත් යෑයි ඉන් නිරූපණය වී තිබිණි.

මෙහිදී කරුණානිධි සම්මත කරගත් යෝජනාවලින් කියා සිටියේ යාපනය පුස්‌තකාලය විනාශ කළේ ශ්‍රී ලංකා හමුදාව බවයි. එහෙත් යාපනය පුස්‌තකාලය විනාශ කළේ එදා පැවැති එ.ජා.ප. රජයට සම්බන්ධ ඇමැතිවරු දෙදෙනකුගෙන් යුත් මැර කණ්‌ඩායමයි.

උතුරු නැගෙනහිර වෙරළ තීරයේ සිංහල ධීවරයන් පදිංචි වී සිටිනවා. මේ නිසා ද්‍රවිඩ ධීවරයන්ගේ ජීවන මාර්ගය අහිමි වී තිබෙනවා. කොළඹ සිට යාපනය දක්‌වා ඇති ඒ-9 මාර්ගයේ ද්‍රවිඩ වෙළෙඳුන් සිටියා. දැන් සිංහලයන් වෙළෙඳසල් පවත්වාගෙන යනවා. උතුරේ හුණුගල් හාරා දකුණට ගෙන යනවා යෑයි කරුණානිධි තවදුරටත් කියා සිටියේය.

මේ යෝජනාවලින් කියන්නේ උතුරු නැගෙනහිර (ත්‍රිකුණාමලයේ සිටින) සිංහලයන්ට මෙන්ම කොළඹ සිට වවුනියාව දක්‌වා මාර්ගයේ වෙළෙඳපළේ පිහිටුවාගෙන සිටින සිංහල වෙළෙඳුන් ද ඉවත් කළ යුතු බවයි. එහෙත් පිටකොටුවේ ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ට තමිල්නාඩුවෙන් සීනි ආනයනය කිරීමෙන් වැලකිය යුතු යෑයි කරුණානිධි පවසා නැත.

මේ අතර නව සමසමාජ පක්‍ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න ද ශ්‍රී ලංකාවට එරෙහිව දේශනයක්‌ පවත්වද්දී කට වැරදුණි. වන්නි යුද මෙහෙයුමේ අවසාන අදියරේ දී ද්‍රවිඩ ජනතාවට එල්ලවූ සමූල ඝාතන ප්‍රහාරවලට ඉන්දීය රජය වගකිවයුතු යෑයි වික්‍රමබාහු කියද්දී නිලධාරීහු ඔහුගේ කතාව නතර කළහ.

වික්‍රමබාහුගේ කට වැසූ බව මුලින්ම හෙළි කළේ ද කොටි වෙබ් අඩවියයි.

එහෙත් ඔහු සිය දේශනය මුලින්ම අරඹමින් පැවසුවේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව සූදානම් බවයි. “සිංහල ජාතිවාදී ප්‍රතිපත්ති ගෙනයන්නේ නම් ජනතාව විසින් මහින්ද රාජපක්‍ෂ රජය පලවා හරිනවා. අපි සියලු පක්‍ෂ එක්‌වී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟයි. රජය තවදුරටත් ජාතිවාදී ප්‍රතිපත්ති ගෙනගියොත් බලයෙන් පහවනවා. ඉන් පසු බලයට පත්වන රජය එම නිර්දේශ ක්‍රියාත්මක කරනවා.”යෑයි හෙතෙම තවදුරටත් මුරගෑවේය.

ඔහු පසුගිය සඳුදා මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වමින් තවදුරටත් පැවසුවේ ද්‍රවිඩයන්ට වෙනම රාජ්‍යයකට හිමිකම් ඇතත් එසේ කරන්නැයි තමා කියන්නේ නැති බවයි. එහෙත් ද්‍රවිඩ ප්‍රදේශ සිංහලකරණයට ලක්‌වීම මිථ්‍යාවක්‌ යෑයි ද හෙතෙම තවදුරටත් පළ කළේය.

මේ පසුබිම යටතේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයන් වූ වයිකෝ චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන් සහ නෙඩුරාමන් මෙන්ම හිටපු ඉන්දීය ආරක්‍ෂක ඇමැති පවර් හා ජම්බුකාශ්මීර් මහ ඇමැති ද සමුළුවට පැමිණියේ නැත.

ඒ සම්බන්ධව යුරෝපා කොටි වෙබ් අඩවිය පැවසුවේ කරුණානිධිගේ ඊළාම් සමුළුව මුළුමනින්ම විහිළු නාටකයන් බවයි. මේ විකට නාටකයට සහභාගි වූයේ නියෝජිතයන් තිස්‌ දෙනෙකි. සම්මත කරගත් යෝජනා කුමක්‌දැයි යන්න ඔවුන්ට පසුවදා අමතක වුණා යෑයි කොටි වෙබ් අඩවිය කියා සිටියේය.

විදේශ රටවලින් නියෝජිතයන් විශාල පිරිසක්‌ පැමිණෙන බව කරුණානිධි පැවසුවත් නයිජීරියාවේ සිට අබ්දුල් රසාක්‌, ස්‌වීඩනයෙන් තෂිම් මලික්‌ සහ මැලේසියාවෙන් යුස්‌මොඩි යූසුප් නමැති වැදගම්මකට නැති මන්ත්‍රීවරු තිදෙනකු ඊළාම් සමුළුව අමතා ඇත.

මේ අතර බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කන්නන් නමැති ඊළාම්වාදියා තමා ඊළාම් ද්‍රවිඩයකු බවත් ඊළම සහ තමිල් ඊළම යන වචන ගැන ඉන්දීය රජය දන්නේ නැති බවට දොස්‌ නගද්දී සමුළුවේ සිටි හිටපු අමාත්‍යවරයකු වූ ටී. ආර්. බාලු විගස එම කතාව නතර කළේය.

එහෙත් කන්නන් යළිත් නැගී සිටිමින් උතුරු නැගෙනහිර පමණක්‌ නොව උඩරට කඳුකරය ගැන ද අවධානය යොමු කළ යුතු බවට හඬ නැගීය.

මෙයට ප්‍රතිචාරය දක්‌වූ කරුණානිධිගේ දියණිය කනමෝෂි උඩරට කඳුකරයේ ද්‍රවිඩ ජනතාව ගැන ද අවධානය යොමු කර ඇතැයි ප්‍රකාශ කළේය. මීළඟ ඊළාම් සමුළුව ආජන්ටිනාවේ පැවැත්වීමට ද කරුණානිධි සැලසුම් කර තිබේ. මේ තත්ත්වය යටතේ ජාතික දේශප්‍රේමී පෙරමුණ විසින් ඊළාම් සමුළුවට එරෙහිව කොළඹ ඉන්දීය මහකොමසාරිස්‌ නිල නිවස ඉදිරියේ දැඩි විරෝධතාවක්‌ පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමෙන් වළකින ලෙස මෙයට සහභාගි වූ විරොධතාකරුවෝ ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ නොවෙයි. ඉන්දියාව මෙයට පෙර ද්‍රවිඩයන්ට අවි සපයනු ලැබුවා. දැන් ඉන්දියාව මෙරට ආර්ථිකයේ ආධිපත්‍යය ගැනීමට උත්සාහ කරනවා”යෑයි ද ඔවුහු කියා සිටියහ.කරුණානිධිගේ හා ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන්ගේ පඹයන් මෙම විරෝධතාවේදී පිළිස්‌සීම නිසා වෙබ් අඩවිවලට සීමා වූ ආචාර්යවරයකු වූ ලක්‌සිරි ප්‍රනාන්දුට දැඩි කම්පනයක්‌ ඇති විය.

මේ පඹයන් පිළිස්‌සූ කවුරුත් අත්අඩංගුවට ගෙන නැහැ. පඹයන්ව පිළිස්‌සීම තහනම් කළ යුතු යෑයි ඔහු ප්‍රකාශයක්‌ කරමින් පවසා ඇත.

මේ පසුබිම යටතේ විරුද්ධ පක්‍ෂයේ සිට රජයට සම්බන්ධ වූ ඇමැතිවරයකු කරුණානිධිගේ ඊළාම් සමුළුවට රජය විරෝධය පළ නොකළ යුතු යෑයි පවසා තිබේ. 13 වැනි සංශෝධනය හා පොලිස්‌ හා ඉඩම් බලතල ද ද්‍රවිඩ සන්ධානයට දිය යුතු යෑයි පැවසුවේ ද මේ ඇමැතිවරයායි. එහෙත් ජනාධිපතිවරයා කුරුවිට හමුදා කඳවුරේ පැවති හමුදා වර්ණ රාත්‍රිය අමතමින් ඊළාම්වාදීන්ගේ අරමුණු සපුරා ගැනීම සඳහා තමා ඉඩදෙන්නේ නැතැයි කියා සිටියේය.

මේ අතර මුල්ලිවයික්‌කාල්හිදී මියගිය කොටි මිනීමරුවන්ව සැමරීමේ ස්‌මාරකයක්‌ තමිල්නාඩුවේ තන්ජවූර්හිදී ඉදිකර ඇත. ඊනියාර් ස්‌ථානය නමින් හඳුන්වන මෙම ස්‌මාරකයෙන් ඊළාම් දේශය උදෙසා දිවි පිදූවන් සමරන බවට දන්වා තිබේ.

මේ සඳහා ක්‍රියා කර ඇත්තේ ප්‍රභාකරන්ගේ සමීපතම මිත්‍රයකු වන පාසා නෙඩුමාරන් නමැති කොටි හිතවාදියෙකි. මෙකී තත්ත්වය මැද කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු විසිඅට දෙනෙක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මෙරට අභ්‍යන්තර කටයුතුවලට ගෙන්වා ගැනීම සඳහා සිරගෙවල් වල සිදුවූ සාහසික ක්‍රියා ගැන විමර්ශනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ සහාය පැතිය යුතු බව පවසා ඇත.

ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පාලනය යටතේ විමර්ශන කොමිසමක්‌ පත් කළ යුතු බවද විදේශ අරමුදල් මත යෑපෙන එකී සංවිධාන තවදුරටත් සඳහන් කර ඇත.

මෙකී අරමුණ එක්‌සත් ජාතීන්ට මෙරට කටයුතුවලට මැදිහත් විය හැකි ආර්.2.පී. නමැති උපක්‍රමය සාර්ථක කරගැනීමයි.

මේ අයුරින් කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු විවිධ උපක්‍රම දියත් කරද්දී දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඊබ්‍රහිම් ඊබ්‍රහිම් සහ හිටපු ආරක්‍ෂක ඇමැති රොල්ප් මේසර් මෙරටට පැමිණියේය. අපි ඔබලා දියත් කර ඇති සහජීවන ක්‍රියාමාර්ගයේ මැදිහත්කරුවකු ලෙස සම්බන්ධවීමට කැමැත්තෙමු. ද්‍රවිඩ සන්ධානය හා රජය අතර සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා ද මැදිහත්විය හැකි යෑයි ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් රජයේ බලධාරීන්ට කියා සිටියේය. එහෙත් මේ ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් යනු අංක එකේ කොටි හිතවාදියෙකි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව කියමින් පරීක්‍ෂණ පවත්වන්නැයි ඉල්ලා සිටියේ ද දකුණු අප්‍රිකාවයි. වසරකට අපරාධකාරී ක්‍රියා විසිලක්‍ෂයක්‌ සිදුවන්නේ ද දකුණු අප්‍රිකාවේයි. රමේෂ් නමැති කොටි මිනීමරුවාගේ බිරිය වූ වත්සලාදේවි දේශපාලන රැකවරණ දුන්නේ ද දකුණු අප්‍රිකාවටයි.

මේ තත්ත්වය මැද රජය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. 2002 සටන් විරාම ගිවිසුමත් සමගම දකුණු අප්‍රිකානු රජය අප්‍රිකානු කොන්ග්‍රසයේ හිටපු ත්‍රස්‌තයකු මෙරටට එවා උතුරේ අධි ආරක්‍ෂක කලාප ඉවත් කරලීමට උත්සාහ කළේය.

එම හිටපු ත්‍රස්‌තයා කොටි හමුවී උතුරින් බර අවි ඉවත් නොකරන්නැයි පවසා තිබිණි.

මේ අතර ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන අන්තර්වාර තමිල් ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ ආණ්‌ඩුවට රුද්‍රකුමාරන් නමැත්තා විසින් සෙනෙට්‌ මණ්‌ඩලයක්‌ පත් කර ඇත. ඊට ශ්‍රී ලංකාවට එරෙහිව කොටි පැවරූ නඩුවලට පෙනී සිටි ඇමරිකාවේ හිටපු තානාපතිවරයකු වන රැම්සේ ක්‌ලාක්‌, ඕස්‌ටේ්‍රලියාවේ සිට ඊළම ගැන හඬ නැඟූ බ්‍රයන් සෙනවිරත්න, ඇමරිකාවේ සිටින නාගලිංගම් ජයලිංගම්, ඉන්දීය මාධ්‍යවේදියකු යෑයි හඳුන්වන සත්‍යා සිවරාමන්, කැනඩාවේ කොටි ජාලයට අයත් ඌෂා ස්‌කන්ධරාජා, ජින් මොහාන්, ඊළම් නමැති ග්‍රන්ථය ලියූ රාජරත්නම්, ගනේෂ්වරන් සහ ඊළනාඩියන් යන පිරිස්‌ නම් කර තිබේ.

මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ක්‍රියා කළ කේ. ගොඩගේව ද රජය මේ සතියේදී ආපසු මෙරටට කැඳවා තිබේ. මැලේසියානු ද්‍රවිඩ සංවිධාන ගැන ඔහු සානුකම්පිතව අවධානය යොමු කිරීම ඊට හේතුව යෑයි කියති.

ඔහු සාකච්ඡා පවත්වා ඇති එක්‌ සංවිධානයක්‌ වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ ගැන විමර්ශනය කළ යුතු යෑයි බෑන් කී මූන්ගෙන් ඉල්ලා සිටි මැලේසියානු පොම්සෝ සංවිධානය යෑයි ආරක්‍ෂක බුද්ධි සේවාවන්ට වාර්තා වී තිබිණි.

එහෙත් ඊට පෙර ඔහු අහිංසක ද්‍රවිඩයන්ව අත්අඩංගුවට ගැනීම නිසා ප්‍රභාකරන්ලා රැසක්‌ බිහිවීමේ අනතුරක්‌ ඇති බවට ද ප්‍රකාශ කර තිබිණි. මෙම තානාපති නිලධාරියා සටන් විරාම ගිවිසුමට සම්බන්ධ වූ හිටපු දේශපාලනඥයකුගේ රාජ්‍ය නොවන සංවිධානයේ ද සේවය කර තිබූ එම බුද්ධි අංශවලට හෙළිව තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය