Fri. Jul 5th, 2024
Spread the News

කරුණානිධිගේ ඊලම තවත් සිහිනයක්‌ පමණි

එරික්‌ ගාමිණී ජිනප්‍රිය SOURCE:

මෙරට උතුර සහ නැගෙනහිර යන දෙපළාත තුළ ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පැවතියාය යන විශ්වාසය පදනම් කර ගනිමින් එම භූමිය තුළ යළිත් දෙමළ ඊළම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා පසුගිය දශක කිහිපය පුරාම විවිධ උත්සාහයන් මෙන්ම ක්‍රියාමාර්ගයන් ද දරා ඇත. උපවාසයේ සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දක්‌වා විවිධ උත්සාහයන් දැරුවත් දිනා ගැනීමට නොහැකි වූ ඊනියා දෙමළ ඊළම ලබා ගැනීම සඳහා පසු ගිය 14 වැනි දා ද ඉන්දියාවේ චෙන්නායි හි රායප්පෙන්නේ හි පිහිටි වයි.එම්.සී.ඒ. ශාලාවේදී යළිත් උත්සාහයක්‌ දරා ඇත.

එම උත්සාහය නම් තමිල්නාඩුවේ හිටපු මහඇමැති සහ ද්‍රවිඩ මුන්නෙත්‍ර කලහම් පක්‍ෂයේ නායක මුතුවෙලි කරුණානිධිගේ ප්‍රධානත්වයෙන් පැවැති ද්‍රවිඩ ඊළාම් සහයෝගිතා සමුළුවයි. මෙම සමුළුවේ සංවිධිත කටයුතු පැවැති සමයේ දී ලංකාව ද ඇතුළුව ලෝකය පුරා විසිරී සිටින දෙමළ ඊළාම් හිතවාදීන් මෙම සමුළුවට සහභාගි වන බව වාර්තා වී තිබුණත් අවම වශයෙන් තමිල්නාඩු කොටි හිතවාදීන් වන වයි. ගෝපාලස්‌වාමි හෙවත් වයිකෝ, නැදුමාරන් සහ සීමන් පවා සහභාගි වී නොමැත. මෙරට නියෝජනය කරමින් සහභාගි වී ඇත්තේ ඊනියා නිර්ධන පංති විඥණයක්‌ පහළ වී ඇති උඩරට වලව්වක හාමු කෙනකු වන වික්‍රමබාහු කරුණාරත්න පමණි. ඔහුට කිසිදු ජන පදනමක්‌ නොමැති බැවින් ඔහු සහභාගි වූ පමණින් මෙම ඊනියා ද්‍රවිඩ ඊළාම් සහයෝගිතා සමුළුවට වැදගත් කමක්‌ ලැබෙන්නේ නැත.

දෙමළ ජාතික සංධානය මෙම සමුළුව නියෝජනය නොකළත්, මෙම සමුළුව සංවිධානය කිරීම සඳහා මුතුවෙලි කරුණානිධිට බලපෑ ප්‍රධාන සාධකය ලෙස සැලකිය හැක්‌කේ එම සංවිධානයයි. එම සංවිධානය මෙම සමුළුව සඳහා බලපෑ ප්‍රධාන සාධකය ලෙස සැලකිය හැකි වුවත් ඔවුන් මෙම සමුළුව නියෝජනය නොකිරීම සඳහා නීතිමය තත්ත්වයත් මෙන්ම ඔවුන් තුළ පවත්නා සැක සංකාවත් හේතු වී ඇති බව පෙනී යයි.

මීට මාස කිහිපයකට ඉහත ජිනීවා හි පැවැති මානව හිමිකම් සමුළුවට දෙමළ ජාතික සංවිධානය සහභාගි නොවීම සඳහා බලපා ඇති එක ප්‍රධාන සාධකයක්‌ වී ඇත්තේ, ඔවුන් එම සමුළුව නියෝජනය කළහොත් රට තුළ යළිත් 1983 ජුලි මස ඇති වූ තත්ත්වයන්ට සමාන තත්ත්වයක්‌ යලිත් ඇතිවේය යන බවට ඔවුන් තුළ පවත්නා සැක සංකාවයි. එම සැකසංකාවම ඔවුන් තමිල්නාඩුවේ පැවැති ඊනියා ද්‍රවිඩ ඊළාම් සහයෝගිතා සමුළුව නියෝජනය නොකිරීම සඳහා බලපාන්නට ඇත.

කෙසේ වුවත් අවසානයේ දී පසුගිය 14 වැනිදා පැවැති සමුළුවේදී යෝජනා 14 ක්‌ සම්මත කර ගැනීමට මුතුවෙල් කරුණානිධි සමත් වී ඇත.

එම යෝජනා අතර,

* දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය මත දේශපාලන විසඳුමක්‌ ලබාදීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මැදිහත් වීම මත ජනමත විචාරණයක්‌ පැවැත්වීම. (ස්‌වයං පාලනය සඳහා)

* දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදුකළ සැකකරුවන්ට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් නීතිමය පියවර ගැනීම.

* දෙමළ ජනතාවගේ ඉඩම් වල සිටින සිංහලයන් වහාම ඉවත් කිරීම.

* එක්‌සත් ජාතීන්ගේ නිරීක්‍ෂණයට යටත්ව උතුර සහ නැගෙනහිර පළාත් වල හමුදා කඳවුරු ඉවත් කිරීම.

* දෙමළ සලකුණ (ස්‌මාරක) ඉවත් කිරීම නතර කිරීම.

* දෙමළ සිරකරුවන් නිදහස්‌ කිරීම.

* කච්චතිව් දූපත යළි අත්පත්කර ගෙන එහි මණ්‌ඩතිව් හෝ ධනුෂ්කොඩිහි ඉන්දීය නාවික කඳවුරක්‌ පිහිටුවීම.

* ශ්‍රී ලංකා හමුදාවට ඉන්දියාව තුළ පුහුණුව ලබාදීම අත්හිටුවීම.

* දෙමළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය සඳහා ජාත්‍යන්තර කමිටුවක්‌ පත්කිරීම.

* දෙමළ ජනතාවගේ ඉඩම් වලින් හමුදාව ඉවත් කිරීම ආදී වූ යෝජනා ඒ අතර වේ.

මෙම යෝජනා පිළිබඳ විමසා බැලූකල ඉතා හොඳින්ම පැහැදිළි වන්නේ මෙරට උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශ තුළ ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පැවැතියාය යන ස්‌ථාවරයේ සිට මෙම යෝජනා සම්මත කර ඇති බවයි. මෙම යෝජනා සම්මත කිරීමට සීමා නොවී එම ප්‍රදේශ වල ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පැවැති බවට තමිල්නාඩුවේ පවත්නා සාධක ඉදිරිපත් කිරීමටත් කරුණානිධි කටයුතු කළේ නම් ඉතා වැදගත් බව සඳහන් කළ යුතුය. කරුණානිධි එසේ නොකළේ මෙරට උතුරු සහ නැගෙනහිර යන ප්‍රදේශ තුළ ඓතිහාසිකව දෙමළ ඊළමක්‌ තිබූ බවට එක අකුරක්‌ හෝ කුමන සාධකයක්‌ හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිසා විය යුතුය. උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශවල ඓතිහාසිකව දෙමළ ඊළමක්‌ පැවතියේ නම් ඒ බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය සාක්‍ෂි ප්‍රධාන වශයෙන්ම තමිල්නාඩුවෙන් සපයා ගත හැකි විය යුතුය. නමුත් මහා වංශයේ සඳහන් සිංහල ඉතිහාසය ඔප්පු කිරීම සඳහා සාධක තමිල්නාඩුවෙන් සපයා ගත හැකි වුවත් දෙමළ ඊළමක්‌ පැවැති බව සනාත කිරීම සඳහා කිසිදු සාධකයක්‌ තමිල්නාඩුවෙන් තබා මුළු ඉන්දියාවෙන්ම සපයා ගත නොහැකි බව නම් ස්‌ථිර ලෙස සඳහන් කළ හැක.

කිසිදු සාධකයක්‌ මත පදනම් නොවී කටයුතු කළත් දෙමළ ඊළාම් රාජ්‍යය බිහිවන දිනය වැඩි ඈතක නොවන බව නම් කරුණානිධි එම සමුළුවේදී ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. කරුණානිධි පමණක්‌ නොව මීට දශක තුනකට පමණ පෙරදීද දෙමළ ඊළාම් රාජ්‍යය බිහි වන දිනය ඉතා නුදුරු දිනයක්‌ සේ සලකා කටයුතු කළ අය මේ රට තුළම ජීවත් වී ඇත. ඒ අතර ප්‍රධාන වන්නේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ බිරිඳ සහ ත්‍රස්‌තවාදී නායකයකු වූ කුට්‌ටමනීය. අමිර්තලිංගම් මහතාගේ බිරිඳ එදා දෙමළ ඊළම බිහිවන තුරු සිය කොණ්‌ඩය නොබඳින බව ප්‍රකාශ කර ඇති අතර කුට්‌ටමනී ප්‍රකාශ කර ඇත්තේ තමා මියගියහොත් දෙමළ ඊළම දැකීම සඳහා තමාගේ ඇස්‌ වෙන අයකුට ලබාදෙන ලෙසයි. එසේ වුවත් කොටි සංවිධානය විසින් අමිර්තලිංගම් ඝාතනය කළ පසු විදේශ ගතවූ අමිර්තලිංගම් මහත්මිය පසු ගියදාක හොඳින් කොණ්‌ඩය බැඳ මෙරටට පැමිණ තමාට ආරක්‍ෂාව ලබාදුන් සිංහල පොලිස්‌ නිලධාරින් පවා මුණගැසී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එමෙන්ම කුට්‌ටිමනීගේ ඇස්‌ දෙකද දෙමළ ඊළම නොදැකම මීට දශක තුනකට පමණ පෙර පොළවට පස්‌විය. ඒ අනුව දෙමළ ඊළම බිහිවීම වැඩි ඈතක නොවන බවට කරුණානිධි කළ ප්‍රකාශයත් කාලයේ වැලි තලාවෙන්ම වැසී යනු ඇත.

ඒ බව නිසැක ලෙසම සඳහන් කළ හැක්‌කේ දෙමළ ඊළමක්‌ බිහිකර ගැනීම සඳහා මෙම සමුළුව හරහා කරුණානිධි ඇතුළු පිරිස යොදා ගෙන ඇති උපායට ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවද ඉඩ නොදෙන බැවිනි. කරුණානිධිගේ උපාය වී ඇත්තේ තුවක්‌කුවේ බටය තුළින් ප්‍රභාකරන්ට යැමට නොහැකි වූ දෙමළ ඊළම වෙත ජනමත විචාරණයක්‌ ඔස්‌සේ ගමන් කිරීමයි. කරුණානිධි සිය සමුළුවේදී ප්‍රකාශ කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලවා එබඳු මැතිවරණයක්‌ පැවැත්වීමට ඉන්දියාව ද මැදිහත් විය යුතු බවයි. මෙරට උතුර සහ නැගෙනහිර යන පළාත් වල ජීවත් වන දෙමළ ජනතාව සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට ඉන්දීය රජය මැදිහත් වුවත්, එම රජයට ඉන්දියාවේ ජම්බු-කාශ්මීරය, පන්ජාබය, නාගලන්තය ඇතුළු ප්‍රදේශ වල දීද ඒ ආකාරයටම ජනමත විචාරණ පැවැත්වීමට සිදුවනවා ඇත. එබැවින් එක්‌සත් ජාතීන් ලවා එබඳු යෝජනාවක්‌ ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය කටයුතු කරනු ඇතැයි මෙම අවස්‌ථාවේ විශ්වාසය කළ නොහැක.

එමෙන්ම තමිල්නාඩුවේ සාමාන්‍ය දෙමළ ජනතාව තුළින් ද මේ සඳහා සහයෝගයක්‌ නොලැබෙන බව පැහැදිලි වන්නේ, කොටි සංවිධානයට එරෙහිව වන්නි මානුෂික මෙහෙයුම පැවැති සමයේ දී කොටින් වෙනුවෙන් හඬ නැගූ වයිකෝ සහ නැදුමාරන් එම කාල සීමාව තුළදීම තමිල්නාඩුව තුළ පැවැති මැතිවරණයෙන් පරාජයට පත් වූ බැවිණි. එබැවින් කරුණානිධිගේ ඊනියා දෙමළ සහයෝගිතා සමුළුව පිළිබඳව අවධියෙන් කටයුතු කළ යුතු වුවත් එතරම් බිය විය යුතු නැති බව නම් සඳහන් කළ හැක.

මේ…ඊළම ඉල්ලන හැංගි හොරා සෙල්ලමක්‌..!


පසුගිය 14 වැනිදා තමිල්නාඩුවේ පැවැති දෙමළ සහයෝගිතා සමුළුව පිළිබඳ ගුණදාස අමරසේකර මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – කරුණානිධිගේ ප්‍රධානත්වයෙන් පැවැති සමුළුව ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – මූලික වශයෙන් මෙම සමුළුව පිටුපස තමිල්නාඩුව පමණක්‌ නොවෙයි, මධ්‍යම රජයත් සිටිනවා. තවත් සමුළුවක්‌ ආජන්ටිනාවේදී පැවැත්වීමේ සූදානමක්‌ තිබෙනවා. මේකෙ තියෙන්නේ හැංගි හොරා සෙල්ලමක්‌. මෙම සමුළුවේ මූලික අදහස තමයි ලෝකයට කියන්න ඊළම හදල දෙන්න කියල.

මෙතන තිබෙන කාලකන්නි කම තමයි මේකට ප්‍රතිචාරයක්‌ නොමැති වීම. අනෙක්‌ එක තමයි අපි පැහැදිළිව වටහා ගන්න ඕනි ඉන්දියාවේ ආනන්ද ශර්මාගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්‌ ද කියන එක. එය කුමක්‌ද කියන එක බිස්‌නස්‌ ස්‌ට්‌ටඩි සඟරාවේ සඳහන් වෙලා තියෙනවා.

ප්‍රශ්නය – මෙම සමුළුවේදී සම්මත වූ යෝජනා ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – එම යෝජනා තුළින් අවසාන වශයෙන් අන්තර් ජාතියට කියනවා ඊළමට පාර කපල දෙන්න කියලා. දෙමළ ජාතික සංධානය නොගිහින් ඔවුන්ගේ අදහස මෙම සමුළුව හරහා ඉදිරිපත් කර තිබෙනවා. මෙම සමුළුව හරහා මේක ලෝක ප්‍රජාවගේ අවශ්‍යතාවයක්‌ය කියල කියන්න උත්සාහ දරනවා.

ප්‍රශ්නය – වික්‍රමබාහු කරුණාරත්න මෙම සමුළුව නියෝජනය කිරීම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – ඒ ගැන කතා කරන්න දෙයක්‌ නෑ.

ප්‍රශ්නය – මෙම සමුළුව හරහා ඇති කිරීමට උත්සාහ දරණ තත්ත්වය පරාජය කිරීම සඳහා ගැනීමට බලාපොරාත්තු වන පියවර මොනවාද?

පිළිතුර – මෙම තත්ත්වය පිළිබඳ මිනිසුන් දැනුවත් කළ යුතුයි.