Fri. Jul 5th, 2024
Spread the News

මැයි දිනයේ ඇද බළි ඇරියත් යාද?

ශ්‍රී ලංකාවේ දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ මෙන්ම කම්කරු සංවිධාන කිහිපයක් ලංකාවේ විවිධ පළාත්වල පැවැත්වූ මැයි දින පෙළපාලි හා රැස්වීම් ජනමාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමට හැකි වුණා.

කම්කරුවා රවට්ටන වර්ණය වන රතු පාට ඇඳගෙන ඉදිරි මැතිවරණයකදී දේශපාලන බලය තමන්ගේ අතට ගැනීම සඳහා මේ හැම තක්කඩියාම කම්කරු දිනය පැහැර ගැනීමක් (Hijack) කර තිබුණා. ඔවුන් සැරසී සිටියේ සීතාම්බර සළු පිළි වලින් නිසා, ඔවුන් වේදිකාවල කතා කළේ නිරුවතින් බව ඔවුන් නොදැන සිටියත් රූපවාහිනී මාධ්‍ය තුළින් මුළු ලොවම ඔවුන්ගේ නිරුවත දුටුවා.

මෙම මැයි නරී නාටක නැරඹීමෙන් පසු අතීත ආවර්ජනයක යෙදුණු මා හට එදා මැයි දින කෙසේ වීද යන්න විදහාපාන අත්දැකීමක් අනාගත පරපුර වෙනුවෙන් ලියා තබන්න කල්පනා කළා.

මා ඉපදුණේත් පාසල් ගියෙත් විශ්ව විද්‍යාලයට ගියේත් කෝට්ටේට අයිති බල ප්‍රදේශයේ නිසා මාගේ සියලුම දේශපාලන ක්‍රියාකාරකම් සිදුවූයේ එම භූගෝලීය ප්‍රදේශය හා ආශ්‍රිතවයි.

මේ කියන සිදුවීම මා හිතන අන්දමට සිදුවූයේ 1966 වසරේදීයි.

ඒ යුගයේ අපේ දේශපාලන වීරයා වූයේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසනයේ මන්ත්‍රීවරයා වූ ස්ටැන්ලි තිලකරත්නයි. ඔහුට නගර සභා ඡන්ද වලදී දේශපාලන වශයෙන් උදව් කිරීම මා ආරම්භ කළේ පාසල් සිසුවෙක් ලෙසයි. ඒ කාලෙදි ඔහු අපගේ ආදරණීය වාමාංශික සහෝදරයායි.

ඔහු මන්ත්‍රී වූ පසු ඔහුට සහෝදරයා කියා අමතන්න අපට තහනම් කරමින් ඒ වෙනුවට හාමු මහත්මයා එහෙමත් නැතිනම් මන්ත්‍රීතුමා කියන්න කියා අපට බල කළේ ඔහුගේ මාමණ්ඩිය වන බටු ගෙදරයි.

දිනක් ඔහුගේ නිවසේදී ඇතිවූ කතාබහකදී ස්ටැන්ලි තිලකරත්නගේ තර්කයකට මා එකඟ නොවීම නිසා, උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. ඔහු තවත් කිහිපදෙනෙක් ඉදිරියේ මට බැණ වදිමින් කියා සිටියේ
” You are a bloody Marxist” කියායි. අපට මාක්ස්වාදීන් වීමට බල කරපු, අපේ භද්‍ර යෞවන අපගෙන් උදුරා ගනිමින් මාක්ස්වාදී ප්‍රචාරක වැඩවලට පූර්ණ කාලීන ක්‍රියාකාරීන් වශයෙන් අපගෙන් වැඩගත් මිනිහාම දිනෙක මේ ආකාරයෙන් මාක්ස්වාදය ගැන ම සඳහන් කරමින් මා හට බැන වැදීම දෛවයේ සරදමක් විය හැකි බව මා එදා හිතා ගත්තා.

1966 මැයි පළමුවෙනිදා කෝට්ටේ ආසන බලමණ්ඩලයේ කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින රැළිය සූදානම් කිරීම සඳහා මාගේ පරණ පාසැල් මිතුරන් කීපදෙනෙක් මා සොයාගෙන පැමිණියා. නමුත් මම ඔවුන්ට පැවසූයේ මට කොමියුනිස්ට් කමත් එපා ස්ටැන්ලි තිලකරත්නත් එපා කියායි.

එහෙත් කෝට්ටේ වාමාංශික බලවේගය කඩාවැටෙන්නට ඉඩ නොදී තරහ මරහ අමතක කර කෝට්ටේ තරුණ ශක්තිය මැයි දින රැළියේ දී පෙන්වමු කියා මගෙ මිතුරන් කළ ඇවිටිල්ල නිසා පෙළපාලියට අවශ්‍ය සැරසිලි බැනර්, සටන් පාඨ පුවරු පාන්දර වෙනතුරුම සකස් කර අධික වෙහෙසට පත්ව සිටියත් පසුවදා මැයි දින පෙළපාලියටත් සහභාගි වුණා.

පෙළපාළි හා රැස්වීම් වලට සහභාගිවී ආපසු කෝට්ටේ ජුබිලි කණුව මංසන්ධියට අප ළඟා වන විට අඳුර වැටී තිබුණා.

අපි පිරිසේ බොහෝ දෙනෙකුට පිපාසය හා කුසගින්න තිබුණ බව කතා බහෙන් පැහැදිලි වුණා.

කවුද කෙනෙක් යෝජනා කළා ඒ අසළම ඇති ස්ටැන්ලි තිලකරත්නගේ නිවසට ගියොත් කන්න බොන්න හා බීමට යමක් ලැබෙයි කියා. ප්‍රතිපත්තියක් වශයෙන් මම ඊට විරුද්ධ වුණා. ඊට එක් හේතුවක් වූයේ ස්ටැන්ලි තිලකරත්න හා මා අතර තිබුණ විරසකයයි.

පිරිසේ පෙරැත්ත නිසා මා ඒ දෙසට ගමන් කලත්, ඔහුගේ වත්තට ඇතුළු වීම මා ප්‍රතික්ෂේප කළා. නමුත් සිදුවන්නට යන්නේ කුමක්දැයි බලා සිටියා.

ඒ වන විට ස්ටැන්ලි තිලකරත්න තවදුරටත් සහෝදරයෙකු නොව හාමු කෙනෙක් වී සිටි නිසා කිසිම කෙනෙකුට ගෙයි ඉදිරිපසින් ඇතුලුවීම තහනම් කර තිබුණා. ඒ අනුව තරුණ පිරිස මුලුතැන්ගේ පැත්තෙන් වත්තට ඇතුළු වුණා.

ස්ටැන්ලි තිලකරත්න හිතුවේ එම පිරිස පැමිණියේ ඔහුට ජය පතන්නට වෙන්නැති කියායි.

පිරිස දැකීමෙන් උද්දාමයට පත් වූ මන්ත්‍රීවරයා ඔහුගේ සුපුරුදු වාග් විලාශය මුදාහරිමින් හොඳටම හෙම්බත් වී සිටි තරුණ පිරිසට දේශනයක් පවත්වමින් ” දැක්කා නේද මන්ත්‍රීතුමාගේ බලය. මගේ දක්ෂකම හින්දා වැඩේ අතිශයින්ම සාර්ථක වුණා” ආදි පම්පෝරි ගැහීමක් කළා.
ඉවසන්නම බැරි තැන තරුණයින් කීවේ “මන්ත්‍රි තුමා අපට හරිම පිපාසයි” කියායි.
ස්ටැන්ලි තිලකරත්න ගෙතුළට ගොස් මෙහෙ කරුවෙකුට යමක් පවසන විට තරුණයින් සිතුවේ අඩු වශයෙන් කාට කාටත් සිසිල් බීම සංග්‍රහයක්වත් ලැබේවි කියායි.

සේවකයා මොහොතකින් පොල් කට්ටකින් වැසූ වතුර කළයක් ගෙනැවිත් ගේ පිටුපසින් තැබුවා.

පෙළපාලියේදී සටන් පාඨ කියා දිව ගිලෙන්න ගිය තරුණයින් පෝලිමක් සෑදී පොල් කටුවට හලා ගත් වතුර බී මා සිටි තැනට පැමිණියා.

ඔය සන්තෑසිය වන බව ඔවුන්ට මම අවවාද කර තිබුනත් ඔවුන් එයට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් මන්ත්‍රීතුමාගේ ආගන්තුක “සත්කාරයෙන් ” ඔද වැඩී බඩගින්නේම නිවෙස් බලා ගියා.

මා දේශපාලන වශයෙන් පන්නරය ලබන්නේ මෙවැනි අවස්ථාවාදී දේශපාලකයින්ගේ චරිත වල තිබූ පරස්පර විරෝධී බව අත්දැකීමෙන්ම අවබෝධ කර ගැනීම තුළින්.

මේ සිද්ධිය සිදුවී අදට වසර 57ක් ගෙවී තිබෙනවා.
එදා මාක්ස්වාදියාත් අද මාක්ස්වාදීයා අතර කිසිම වෙනසක් නැති බව අද දින මැයි දින රැළියේ දෑකැති මිටි සහිත රතු කොඩි ඔසවාගෙන ගිය, නිර්ධන පංතික කම්කරුවාට ජයවේවා කියා කෑ ගසමින් ගිය පිරිස් දෙස බැලූ විට ඉතා හොඳින් පැහැදිලි වුණා.

ආරම්භයේ සිටම කම්කරු විරෝධී එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයෙක් වී සිටි මහාචාර්යවරයෙක් දැන් තවත් අවස්ථාවාදීන් පිරිසකට එක්වී රතු කමිසයක් හැඳ වේදිකාවේ ඉදිරියෙන්ම වාඩි වී සිටියා. ඔහුගේ දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ජනතාවගේ මුදල් සොරා කෑ දේශපාලුවන් ආරක්ෂා කිරීමටයි.

මා තරුණ වියේදී සහභාගිවූ තවත් එක් මැයි දිනයකදී ලිප්ටන් වටරවුම අසල දී එක්සත් ජාතික පක්ෂයේ මැරයින් විසින් එල්ල කරන ලද ගල් පහරකින් අපට පිටුපසින් ගමන්කළ සෝමපාල නමැත්තෙක් මරණයට පත්වුණා.

අද 2023 මැයි දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමන් නිරන්තරවම කම්කරුවන් ආරක්ෂා කළ බවයි.
ඔහුගේ මාමණ්ඩිය වන ජේ ආර් ජයවර්ධන ජනාධිපති ධූරයේ සිටිමින් 1980 ජුලි මාසයේ 15 වෙනිදා පැවති දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජන යේදී සේවකයින් හතළිස් 40,356කට රැකියාව අහිමි කරන ලදී. 1988-89 වකවානුවේදී තරුණ තරුණියන් 80,000 ට අධික පිරිසක් ඝාතනය කරනු ලැබුවේත් කම්කරුවන් හා තරුණ තරුණියන් ආරක්ෂා කරන බවට හැමදාමත් පොරොන්දු දෙන එක්සත් ජාතික පක්ෂයමයි.

ගාලු මුවදොර අරගලයේ තරුණ තරුණියන්ගෙන් කපුටා යන විරුදාවළී නාමයෙන් පිදුම් ලත්
පොදු පෙරමුණේ සිහින කුමාරයාත් අතීතය අමතක කළ ජනතාව අතරට පැමිණියේ දොහොත් මුදුන් දී ආචාර කරමින්.

ලංකාවේ මෙතෙක් පැවති හැම මැයි දිනයක්ම සමරනු ලැබුවේ කම්කරුවන් විසින් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන කණ්ඩායම් විසින්.

මැයි දින පෙළපාලි වලදී සහ වේදිකාවලදී පාවිච්චි කළ සටන් පාඨ වල මුඛ්‍ය සහ සැඟවුණු කතාව නම් “ලබන සැරෙත් අපටම දීපල්ලා” යන්නයි.

අපගේ අත්දැකීම් අනුව ජනතාවට කීමට ඇත්තේ “එහෙමනම් ආයෙත් දීලම බලපල්ලා” කියායි.

– එඩ්වර්ඩ්- ( තෙවෙනි ඇස )

01.05.2023