Mon. Jul 8th, 2024
Spread the News

කතරගම අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේ රෝපිත බෝධි මළුව පරිශ්‍රය තුල කතරගම දේවාලය, ගණපති කෝවිල, තවත් කුඩා ප්‍රමාණ සමන්, ,දැඩිමුන්ඩ, පත්තිනි හූනියම් යන දේවාල පද්ධතියකින් ද ප්‍රාකාරයෙන් පරික්ෂේපව තේවානි අම්මා නම් කෝවිල ද පවත්වා ගෙන යයි. දේවානම්පියතිස්ස රජ දවස , ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ රෝපණය කීරීමේ පූජාවට සපැමිණි කාචරගාම (කතරගම) ක්ෂ්ත්‍රීයයන් වෙත, මහ මිහිදු මහරහතන් වහන්සේගේ අනුමැතිය පරිදි, ලබා දුන් අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ, එකී ක්ෂ්ත්‍රීහු විසින් කතරගම බිමෙහි රෝපණය කරන ලද බව වංශ කථා තහවුරු කරයි. මහා වංශයේ 19 වන පරිච්ඡේදයේ කාචරගාම ක්ෂ්ත්‍රීයයන්ට අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේ නමක් දුන් බව සදහන් වේ. “චේතිය පබ්බතාරාමෙ –
තථා කාචරගාමකෙ, චන්දනගාමකෙ චාති,
එකෙකං බොධිලට්ඨිකං” (මහා වංසො 19 වන පරිච්ඡේද) එම බෝධින් වහන්සේ අදත් කතරගම පුදබිමෙහි වැඩ සිටී. බෝධීන් වහන්සේ වැඩ සිටින බෝධි අංගනය පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ දොරටුව ඇතුලෙහි ශෛලමය සදකඩ පහනකි. එය පොලොන්නරුව යුගයට අයත් සදකඩ පහනකි. තවත් සදකඩ පහනක් කතරගම දේවාලය පවත්වන ගෘහය ඇතුලත ඇත. ලෝකයේ ම පුරාවිද්‍යාවෙන් ස්ථීර ලෙස ම සනාථ කළ කරුණ වනුයයේ සදකඩ පහන පිහිටුවාලනුයේ බෞද්ධ සිද්ධස්ථාන වල පමණක් බව ය. බෞද්ධ පුරාවස්තු අධ්‍යයන කිරීමේදී මෙය පුරාවිද්‍යාව මැනවින් තහවුරු කරයි.
කතරගම පුදබිම යනු බුදුරදුන්ට අයත් සිද්ධස්ථානයකි. දැනට කතරගම මහ දේවාලය යනුවෙන් භාවිතා කරන්නේ අතීත ආසනඝරයක් බව කිවයුතුය. කතරගම දෙවියන් උදෙසා දුටු ගැමුණු මහ රජු විසින් දේවාලයක් සෑදුවාලු! එහෙම මතයක් , කියමනක් ඇතැමෙක් ගේ ඇත. එය තහවුරු කිරීමට මූලාශ්‍ර තිබේද? මෙතෙක් කිසිදු මූලාශ්‍රයන් ලැබී නැත. මහා වංශය, ථූපවංශය, සෙල් ලිපි, ගිරි ලිපි, ටැං ලිපි, පුවරු ලිපි, ආදී කිසිදු මූලාශ්‍රක නැත. මහා වංශයේ නැතිනම් වංසත්ථප්ප්කාසනී මහා වංශ ටීකාවේද නැත. කිසිදු වංශ කථාවක නැත. අටුවාක, ටීකාවක නැත.ඕනෑම කෙනෙක්ට හිතළු කිව හැක. නමුත් එම හිතළු ශාස්ත්‍රීය ගවේෂණ සදහා යොදා ගත යුත්තේ පිළිගත හැකි මූලාශ්‍ර ඇත්නම් පමණි. ආචාර්ය උපාදි ලත් ඇතැම් උගතුන් කතරගම දේවාලය ඉදිකරනු ලැබුවේ දුටුගැමුණු මහ රජ තුමන් බව ප්‍රකාශ කර ඇත. ඇතැම් උගත්, රට පිළිගත්,භික්ෂුන් වහන්සේලා කතරගම දේවාලය ඉදිකරනු ලැබඇත්තේ දුටුගැමුණු මහ රජ තුමන් බව කියනවා අසා ඇත. මේ කියමන් සියල්ල සම්පූර්ණයෙන්ම බොරු අසත්‍ය ප්‍රකශ බව කිව යුතුව ඇත. යමෙක් යම් ප්‍රකාශයක් කරනවා නම් විශේෂයෙන් ම භික්ෂුන් වහන්සේලා විසින් සහ ශාස්ත්‍රීය වශයෙන් කරුණු ගෙන හැර දක්වන උගතුන් විසින් තම මතය, ශාස්ත්‍රීය වශයෙන් සනාථ කිරිමට වගකීමෙන් බැදී ඇත. තම අත්තනෝමතිය දක්වන්නේ නම් තම මතය සනාථ කිරීමට තරම් වන සාධාරණ හේතු ප්‍රකාශ කළ යුතුය.යමෙක් ජනවහර අනුව
හෝ අත්තනෝමතිය හෝ සමාජ ගත කරන්නේ නම් එය සනාථ කිරීමට කරුණු ගැන හැර දැක්වීම ඔහුගේ වගකීමය. තම උගත් කම, සමාජ පිළිගැනීම, භික්ෂුත්වය (බුදු සසුනේ භික්ෂුන් වහන්සේ නමක් වීම), තම මතය හේතු වියුත්තව, සමාජගත කිරීමට උත්සාහ කිරීම මූඪ, අශාස්ත්‍රීය කමකි. තම මතය අශාස්ත්‍රීය ක්‍රම තුලින් අනුන් පිට පැටවීමට, උත්සාහ කිරීම පුද්ගලයන්ට, සමාජයට කරන බලහත්කාරකමකි. එය උගතෙකුට, ශාස්ත්‍රීය පරයේෂකයේකුට,කිසි සේත්ම තරම් නොවේ. ඉදිරිපත් කරන ලද තම මතයට හේතු සාධක ඉදිරිපත් නොකර මග හරින්නේ නම් එය බියගුලු කමකි. කතරගම දේවාලය යනු බුද්ධ සංතක විහාරයක්(ආසනඝරයක්) දේවාලයක් බවට පසු කාලයේ පෙරලීමකි. හින්දු කෝවිල් බලය බුදු සසුන ආක්‍රමණය කිරීමකි. එබැවින් කතරගම පුදබිම බෞද්ධ පුදබිමක් මිස හින්දු දේවාල -කෝවිල් පුදබිමක් නොවන බව සදහන් කළ යුතුය.

.ආරියතිලක 2019.04.07