Mon. Jul 8th, 2024
Spread the News

තරංග රත්නවීර –Divaina

n1 1

 

* අපේ ගමේ මිනිස්සු දෙකට බෙදිලා නෑ, අපිව කොටවන්න හදන්න පිටින් එන විවිධ කණ්ඩායම්…
* ගමේ මිනිස්සු අලූත්  සහල් කන්න ඉස්සර වෙලා කිරිබත් හදලා ගෙනත් පූජා කරන්නේ මේ ගල් ආසනයට…
* අපි තමයි  කුස තණ පැළ ගෙනත්  පන්සල් වත්තේ හිටෙව්වේ…

n1 2

හිරිවඩුන්න පූජා භූමිය අවුල් විමානයක් බවට පත් වෙමින් තිබේ. එහෙයින්  පසුගිය දිනක අපි හිරිවඩුන්න ශ‍්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනයට ගොස් එම ඓතාහාසික භූමිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූකාරී තත්ත්වය ගැන ලිපියක් සකස් කළෙමු. ‘ගමක් දෙකට බෙදූ හිරිවඩුන්න බෝධිය’ මැයෙන් එම ලිපිය 2020 දෙසැම්බර් මස 27 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයෙහි’ පළ විය. එම ලිපිය පළ වූ දින සිට විවිධ මතධාරීහු දුරකථන ඇමතුම් ඔස්සේ විවිධ අදහස් අප වෙත පළ කළහ. එම අදහස් තුළ අප පළ කළ ලිපිය සම්බන්ධයෙන් හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් ඉදිරිපත් වූහ. එහෙත් අප කැමති මල් වැසිවලට වඩා ගල් වැහිවලටය. නැවත අපට හිරිවඩුන්න ගමට යෑමට ශක්තිය ලබා දුන්නේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් පැමිණි විවේචනය. එහෙයින් පසුගිය 15 වැනිදා නැවත අපි හිරිවඩුන්න ශ‍්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනයට ගියෙමු. ඓතිහාසික හිරිවඩුන්න බෝධීන් වහන්සේ වැඩ සිටින එම පින්බිම පුරා ඇවිද යමින් විසිරී තිබූ බොහෝ පුරාවිද්‍යා නටබුන් දැක බලා ගත්තෙමු.

දැන් අපි නතර වී සිටින්නේ හිරිවඩුන්න පූජා භූමිය පිටුපස ගස්, වැල්වලින් වට වූ වන ලැහැබේ ගල් ආසනයක් අසලය. ගහ කොළ සිය ග‍්‍රීෂ්ම විඩාව හැර සිත් සේ පැන් උරා බී සිටිනයුරු හරිත වර්ණයෙන් දිදුළන ප‍්‍රාණවත් වන ලැහැබ දකින විට පෙනේ. එම වන ලැහැබ තුළ ගතට මෙන්ම සිතට ද සිසිලකි. එහෙත් හුඹස්වලින් වට වූ ඒ ගල් ආසනය අවට සිත භීතියට පත් කරවන සුළු ගුප්ත ස්වභාවයක් ඉස්මතු වී තිබිණි. හිරිවඩුන්න ශ‍්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසන දායක සභාවේ භාණ්ඩාගාරික සුගත් ප‍්‍රසන්න මහතා දෙසට මම හැරිණි. හිරිවඩුන්න පූජා භූමිය පුරා විසිරී තිබෙන පුරාවිද්‍යා නටබුන් ගැන විස්තර කිරීමට අපට මඟපෙන්වන්නකු ලෙස පැමිණ සිටිනුයේ ඔහුය.

‘‘මේ අපේ උපන්ගම. අපේ මුතුන්මිත්තොත් මේ ගමේ. අපි දන්න කාලෙ ඉඳලා මේ බෝධීන් වහන්සේ වැඳ පුදාගන්න එනවා. පෝය දවසට ගමේ වැඩිහිටියො බෝධීන් වහන්සේ ළඟ සිල් සමාදන් වෙනවා. මේ තියෙන ගල් ආසනය මත තමයි වාර්ෂික කිරි ආහාර පූජාව කරන්නෙ. ගමේ කුඹුරුවල ගොයම් කැපිලා, වී ගෙට ගත්තට පස්සෙ හාල් ඉඳුල් කිරීමට පෙර මුළු ගමේම මිනිස්සු කතිකා කරගත් දවසට කිරිබත් හදාගෙන ඇවිත් මේ ගල් ආසනය මත තැන්පත් කරනවා. එදාට මේ ආසනය කිරිබත්වලින් පිරෙනවා. ඒක පුරාණයේ ඉඳලා පැවත එන චාරිත‍්‍රයක්. අදටත් ඒ චාරිත‍්‍රය කරනවා. ඊට අමතරව මේ ස්ථානය ගැන විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කරනවා. ඒ මත අපිට නම් අපැහැදිලියි. මේ ස්ථානය හාස්කම් තියෙන බලගතු තැනක් කියලා නම් අපිට විශ්වාසයි…’’

n1 3‘‘බැලූ බැල්මට මේ ආසනය හතරැස් සාමාන්‍ය ගල් කුට්ටියක්. ඒත් අයහපත් චේතනාවකින් මේ ගල් ආසනයට අත තියන්නවත් බෑ. මේ ගල පෙරළන්න උත්සාහ කරපු අයට ගමේවත් ඉන්න බැරිව ගියා. ඒ වගේම මේ ගල් ආසනය පෙරළන්න ඉඩ ලබා දුන්න හාමුදුරුවන්ට මේ ආරණ්‍ය සේනාසනයෙනුත් යන්න වුණා. ඒ නිසා මේ ස්ථානය ගමේ මිනිස්සු හඳුන්වන්නේ මහ බලගතු ස්ථානයක් විදිහට. අර පහළින් ගලා බහින්නේ හිරිවඩුන්න වැවේ පිටාර වතුර ගලා යන ඇළ. ඔය ඇළටත් පිට පළාත්වලින් පැමිණෙන මිනිස්සු අමුතු කතා කියනවා…’’ ගල් ආසනයට ඉහළින් ප‍්‍රසන්න දකුණත දිගු කළ ප‍්‍රදේශයට අපේ දෑස් පාවිණි. හිරිවඩුන්න ප‍්‍රදේශයට වැසි ඇදහැළෙන කාලයක් වුවද වතුර ගලා බහින ශබ්දයක්වත් නැත. ගල් ආසනය අසලින් ඈත් වූ අපි ගස් වැල් අතරින් ඇළ දෙසට ගියෙමු. අඩි දෙකක්වත් ඇළේ වතුර නැති තරම්ය. කොළ රොඩුවලින් පිරුණු ඒ ඇළේ වතුර ගලා බහින සේයාවක් හෝ නැත. ගස් වැල් බේරමින් ඇළ මාර්ගයේ ඡුායාරූප කිහිපයක් ලබාගැනීමට අප සූදානම් වනු දැක ප‍්‍රසන්න එයට බාධා කළේය.

‘‘අපි ඇළේ මුලට ගිහින් පින්තූර ගමු. පැහැදිලිව ගන්න පුළුවන්…’’

‘‘ඇළෙන් එගොඩ වෙන්නෙ කොහොමද? ඇඳුම් තෙමෙනවා නේ…’ ප‍්‍රසන්නගේ යෝජනාවට මම කලබල වෙමි.

‘‘එච්චර වතුර නෑ. පහළ තැනක් තියෙනවා වැලි පිරිලා වතුර ඇත්තෙම නෑ…’ ප‍්‍රසන්න කට කොණින් සිනා සී ඇළ ඉවුර දෙසට ගමන් කළේය.

කතාව සැබෑය. ප‍්‍රසන්න ඇළෙන් ගොඩ වූ තැනින් විලූඹ තෙමුණා පමණි. කාලෙකින් ලොකු වතුරක් ගලා ගිය සේයාවක් හෝ නැත. අපිදු ඔහු පිටු පසින් ඇළෙන් එගොඩ වී උස් වැටියකට ඇවිද ගියෙමු. ඒ වැටිය හිරිවඩුන්න වැවේ බැම්මය. වැව නම් වතුරෙන් පිරී ඇති සැටි පෙනේ. එහෙත් පිටාර ගලන්නට තරම් ජලය ප‍්‍රමාණවත් නැත.

‘අර තියෙන්නෙ බන්ට් එක. ඒ බන්ට් එක දිගේ එහා පැත්තට යන්න පුළුවන්….’ ප‍්‍රසන්න වැව් කණ්ඩියෙන් බන්ට් එකට අඩිය තැබුවේය. එක පැත්තක වතුර පිරුණු වැවය. අනිත් පැත්තෙ කලූ ගලින් බැඳුණු තරමක් විශාල බැම්මක් පහළට බෑවුම් වේ. බන්ට් එක අඩි දෙකකට වඩා පළල නැත. වැල් ඇදුණු, දිවසෙවළ බැඳුණු බන්ට් එක දිගේ ගමන් කිරීම දැඩි අවධානමකි. එහෙත් බන්ට් එක මැදට ගිය පසු අපූරුවට ඇළ මාර්ගය ඡුායාරූපගත කළ හැකි බැවින් අවදානම සිත තුළ තුරුළු කරගෙන බන්ට් එක දිගේ එහා ඉවුරට අපි ගමන් කළෙමු.

‘‘මේ ඇළ හිරිවඩුන්න ගම මැදින් ගලාගෙන ගිහින් හබරණ වැවට වැටෙනවා. වැවේ වතුර පිටාර ගලන දවස්වලට තමයි මේ ඇළ පහළට ගලා යන්නෙ. නැති නම් ඇළ මේ විදිහම තමයි…’’ කොළ රොඩු, රොන් මඩ තැන්පත්ව ඇළේ ඉතිරි වී තිබෙන වතුර ඩිංගිත්තෙන් කාසය හැළියක පැහැය දිස් වේ. බන්ට් එකෙන් එගොඩ වූ අපි නැවත හිරිවඩුන්න ආරණ්‍ය සේනාසනය දෙසට ඇවිද ගියෙමු. ගුරු පාර දිගේ ඇවිද ගිය ප‍්‍රසන්න වන ලැහැබට ඇතුළු වී විශාල ගසක් අසල නතර විය.

‘‘මේ නුග ගහක්. ගමේ මිනිස්සු කිරි ආහාර පූජාව කරන ගල් ආසනයට ටිකක් දුරින් තියෙන්නේ. පිට පළාත්වලින් එන විවිධ පිරිස් මේ නුග රුකත් විවිධාකාරයෙන් හඳුන්වනවා. ඉස්සර මේ නුග ගහ කැලයෙන් වැහිලා තිබුණේ. පිට පළාත්වල මිනිස්සු මේ ස්ථාන දැක බලාගන්න පැමිණෙන නිසා දැන් නම් එළිවෙලා තියෙනවා…’’

බැලූ බැල්මට එම නුග ගසෙන් දීර්ඝ ඉතිහාසයක් නොපෙනේ. නුග ගස හැර වෙනත් ඓතිහාසික ස්මාරකයක් ද නුග ගස සමීපයෙන් දෑස් හි නොරැුඳේ. නුග රුක මුල අසල මොහොතක් රැුඳී සිටි අපි නැවත ඉදිරියට ගමන් කළෙමු. අඩි කිහිපයක් ඉදිරියට ගිය ප‍්‍රසන්න ගල් කණු, ගල් වැටි, ගල් ආසන සහිත පුරාවිද්‍යා නටබුන් බහුල ප‍්‍රදේශයක නතර විය. එම ඉසව්වේ නම් ඇස, ගැටෙන සෑම තැනම පුරාවස්තු ය. මහා කැලයට මෙන්ම පොළවට යට වී ගිය විශාල ස්මාරක ප‍්‍රමාණයක් මේ ඉසව්වේ නම් ඇති බව නොකියමනාය. එමෙන්ම අතීතයේ මේ ස්ථානයේ බෞද්ධ පුදබිමක් තිබූ බවට එම පුරාවිද්‍යා ස්මාරක සාක්‍ෂි දරන බව ද පැහැදිලිව පෙනේ.

‘‘අපේ මුතුන්මිත්තො මේ ස්ථානය හඳුන්වන්නේ හතරැුස් කොටුව කියලා. අපි පුංචි සන්දියේ ඉඳලා දෙමව්පියො එක්ක මේ ස්ථානයට ඇවිත් තියෙනවා. ගල් කණු විවිධ නටබුන් තියෙනවා. සෙල් ලිපියක් තියෙන තැනක් නම් පේන්න නෑ. ඒත් පිට පළාත්වලින් එන විවිධ පිරිස් මේ ස්ථානය හඳුන්වන්නේ වෙනත් නම්වලින්. මේ ස්ථානයේ පුරාණ සිද්ධස්ථානයක් තියෙන්න ඇති කියලා අපිත් විශ්වාස කරනවා. සමහර විට මහරහතුන් වහන්සේලා වැඩ සිටින්නත් ඇති. රිටිගල, පිදුරංගල, ඓතිහාසික ස්ථානවලට හිරිවඩුන්නෙ ඉඳලා වැඩි ඈතක් නෑ. හබරණ ගලේ සෙල් ලිපියකුත් තියෙනවා. ඒ සෙල් ලිපිය කියෙව්වා නම් මේ ස්ථානය සම්බන්ධයෙන් මතු වෙලා තියෙන සියලූ ගැටලූවලට විසඳුම් ලැබෙයි කියලා අපි හිතනවා…’’ අප අතර දැඩි නිහඬතාවයක් රජයන්නට විය. අපේ දෑස් නටබුන් සොයාගෙන එහේ මෙහේ දිව යන විට කුරුළු නාදයෙන් දෙසවන් රසවත් විය. අතු, පතර සැඟ වී සිටින විවිධ කුරුළු, කොබයියන්ගේ මිහිරි නාදය සිතට ද ආශ්වාදයක් විය.

‘‘මේ පරිසරයේ පුදුමාකාර නිස්කලංක බවක් තියෙන්නෙ. පැය ගණන් ඉන්න පුළුවන්. කුරුල්ලන්ගේ කිචි, බිචිය විතරයි. වෙන කිසිම ශබ්දයක් නෑ. ආරණ්‍ය සේනාසනයේ කුටි සෙනසුන් තියෙන්නෙත් මේ ඉසව්වේ. කුටි පහක් තියෙනවා. දැනට ස්වාමීන්වහන්සේලා තුන් නමක් වැඩ ඉන්නවා. අපේ ගමේ මිනිස්සු බොහෝ ශ‍්‍රද්ධාවෙන් යුක්තව උන්වහන්සේලාට දාන මාන කටයුතු සිද්ධ කරනවා…’’ ප‍්‍රසන්නගේ මුව එක දිගට කතා කරගෙන යන අතරේ කුටි සෙනසුන් පසු කර අපි පූජා භූමිය ඉදිරිපිටට පැමිණ සිටියෙමු.

හිරිවඩුන්න ගමේ මිනිසුන් විශාල පිරිසක් ආරණ්‍ය සේනාසන භූමියට පැමිණ සිටිති. ඔවුන් සියලූ දෙනා පැමිණ සිටින්නේ මේ සිද්ධස්ථානය ගැන දන්නා කරුණු අපට පැවසීමටය. ප‍්‍රථමයෙන් අදහස් ඉදිරිපත් කළේ චමින්ද සෙනරත්ය. ඔහු හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය සේනාසන දායක සභාවේ ලේකම්ය.

‘‘මහත්තයො… අර අතන තියෙන කුස තණ පඳුර පැළ කරලා තියෙන්නෙ මෙන්න මේ මාමා…’’ සෙනරත් වියපත් මිනිසෙක් දෙසට දකුණත දිගු කළේය. අප ඔහු අසලට යෑමට පෙර හේ අප අසලට පැමිණියේය. ඇවිද ගැනීමටවත් නොහැකි තරමට හේ වියපත්ය. එහෙත් ආරණ්‍ය සේනාසනයේ යම් කටයුත්තක් සිදු වේ නම් ඔහු පෙරමුණේ සිටින බව

රැුස්ව සිටි ගම්මු වර්ණනා කළහ. හේ ටිකිරිබණ්ඩයා. වයස අවුරුදු අසූවකි. මුණුපුරු, මිණිපිරියන් පිරිවරාගෙන සිටින පස්දරු පියෙකි.

‘‘මගෙ උපන්ගම මාතලේ. අක්කා කසාද බැඳලා මේ ගමේ පදිංචියට ආවට පස්සෙ අපි මේ ගමට ආවා ගියා. එතකොට මම පුංචියි. ඒ සන්දියේ ඉඳලා මේ බෝධීන් වහන්සේ වන්දනා කරන්න ආවා. උස් මහත් වෙනකොට මේ ගමෙන්ම කසාදයක් කරගෙන බින්න බැස්සා. ඒ කාලේ මෙතැන ගොඩනැඟිල්ලකට තිබුණේ පුංචි ධර්මශාලාවක් විතරයි. ස්වාමීන්වහන්සේලා වැඩ සිටියේ නෑ. හතර පෝයට සිල් සමාදම් වෙන උපාසක, උපාසිකාවන්ට ස්වාමීන්වහන්සේ නමක් වඩම්මවලා ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ සන්දියේ ධර්ම දේශනාව අහන්න මේ ගමේම මිනිස්සු පන්සලට එකතු වුණා. අපි තරුණ කාලේ තමයි මේ ස්ථානයට ස්වාමීන් වහන්සේනමක් වැඩ හිටින්න පටන් ගත්තේ. මේ පන්සලේ මුලින්ම වැඩ සිටියේ විහාරහේනේ චන්ද්‍රවංශ හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි මේ ස්ථානයේ විහාර ගෙයක්, කුටි සෙනසුන් හදලා දියුණු කළේ. ඒ සියලූ ගොඩනැඟිලි හදන්න අපි තමයි අත්වැඩ දුන්නේ…’’

‘‘දවසක් මමයි, තවත් අයියා කෙනෙකුයි පන්සලේ වැඩට එනකොට ගමේ ගෙදරක මිදුලක කුස තණ පඳුරක් තියෙනවා දැක්කා. කුස තණ කොළවල සිරිපතුල ලාංඡුනය තියෙන නිසා අපි දෙන්නා කතා වෙලා වත්ත අයිති සිරිපාලටත් කියලා පැළයක් උදුරගෙන ඇවිත් විහාර ගේ ආසන්නයේ හිටෙව්වා. ඒ පැළ බලාගෙන හිටිද්දී පඳුරු දාලා මහා විශාලයට හැදුණා. අන්තිමේ නායක හාමුදුරුවෝ කැලෑව කියලා ගලවලා විසි කළා. ඒත් වඳ වුණේ නෑ. නැවත පඳුරු දාලා හැදුණා. මේ තියෙන්නෙත් අපි හිටෙව්ව කුස තණ පැළේකින් හැදුණු පඳුරක්. බලන්න මහත්තයො මේ කොළ දිහා පැහැදිලිව සිරිපතුල තියෙනවා…’’ ඩිංගිරිබණ්ඩා කුස තණ කොළයක් දෑතින්ම අල්ලා අපට පෙන්නුවේය.

එහෙම නැතිව මේ ඉබේ හැදුණු කුස තණ පඳුරු කියලා කවුරුහරි කියනවා නම් ඒක මුසාවක්. නොදන්නාකමට කියන කතා. කවුරු මොනව කිව්වත් මෙතැන හරියට අනුහස් තියෙන තැනක් කියලා නම් ඒ කාලේ ඉඳලා අපි දන්නවා. මේ ස්ථානයේදී ඒ දේවල් අත්විඳලා තියෙනවා. ඒ වගේම හිත ඇතුළේ ප‍්‍රශ්න කන්දරාවක් තිබුණත් මේ බෝධීන් වහන්සේ ළඟ හිඳගෙන ඉන්නකොට පුදුම සැහැල්ලූවක් දැනෙනවා. ගමේ කෙනෙකුට අසනීපයක් වෙච්ච වේලාවට මුලින්ම පිහිට ප‍්‍රාර්ථනා කරන්නේ මේ බෝධීන් වහන්සේගෙන්. මේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙනවා කියලා හොඳටම විශ්වාසයි…’’ ඩිංගිරිබණ්ඩා බෝධීන් වහන්සේගේ අනුහස් ගැන කියන්නට ප‍්‍රවේශය ගන්නා විට හිරිවඩුන්න ශ‍්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසන දායක සභාවේ ලේකම් චමින්ද සෙනරත් නැවතත් අපේ කතාවට එකතු වී ගමේ සමඟිය ගැන විස්තර කරන්නට විය.

‘‘ඉස්සර අපේ ගම දෙකට බෙදිලා තිබුණ එක ඇත්ත. ඒත් මේ ස්වාමීන්වහන්සේ බෙදිලා තිබුණු අපේ ගම එකමුතු කළා. දැන් අපේ ගම බේද භින්න කරන්න වලි කන්නේ පිටගම්වලින් එන පිරිස. ඒත් දැන් අපි තේරුම් අරගෙන ඉන්නෙ. එක, එක්කෙනාගේ වහසි බස්වලට අපේ මිනිස්සු රැුවටෙන්නෙ නෑ. රවට්ටන්න දෙන්නෙත් නෑ. ඒ වගේම අපි කොරෝනා වසංගතයට බයයි. මේ කාලේ කොළඹ පළාත්වලින් මිනිස්සු එනවට ගමේ අය බයයි. ඒ නිසා ගමේ මිනිස්සු ස්වාමීන්වහන්සේ සමඟ සාකච්ඡුා කරලා ආරණ්‍ය සේනාසනයට ගේට්ටුවක් දාලා ඉබි යතුරු දාන්න තීරණය කළා. එහෙම නැතිව මිනිස්සු ඇවිත් බෝධීන් වහන්සේ වන්දනා කරගෙන යනවට අපේ අකමැත්තක් නෑ. මේ කොරෝනා වසංගතය තුරන් වෙලා ගියාට පස්සෙ ඕනෑම කෙනෙකුට ඇවිත් මේ බෝධීන් වහන්සේ වන්දනා කරගෙන යන්න පුළුවන්. නියම බෞද්ධයන් විදිහට සංවරව ඇවිත් බෝධීන් වහන්සේ වන්දනා කරගෙන යන බැතිමතුන්ට ස්වාමීන්වහන්සේත් ආශීර්වාද කරනවා. ස්වාමීන්වහන්සේ බෝධීන් වහන්සේ වන්දනා කරන්න දෙන්නෙ නෑ කියන කතාව අමූලික බොරු…’’ තවත් බොහෝ කරුණු කාරණා හිරිවඩුන්න ප‍්‍රදේශවාසීහු අපට කීහ.

හිරිවඩුන්න බෝධීන් වහන්සේගේ සහ එම පූජා භූමියේ ආශ්චර්යවත් විත්ති ගැන ගම්මු කියන විට මගේ සිත වික්ෂිප්ත විය. ඒ සියලූ කතාන්දර ලබන සතියේ ඉදිරිපත් කිරීමේ අදහසින් මෙතෙකින් අපි මේ සටහන මතුසම්බන්ධ කරන්නෙමු…