Mon. Jul 8th, 2024
Spread the News

එ.ජා.සංවිධානය බළල් අතක් කරගනු එපා

රුසියාව තරයේ කියයි

අරුණි මුතුමලී

source link:

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි ආරක්ෂක මණ්ඩලය පටු අරමුණු සඳහා බළල් අතක් ලෙස යොදා ගැනීමෙන් වළකින ලෙස රුසියාව ඉකුත් දා තරයේ කියා සිටියේ ය.

’දාරුස්මාන්ගේ වාර්තාව‘ මඟින් ශ්‍රී ලංකාව අසීරුවට ලක්කිරීමට දරන වෑයම තරයේ හෙළා දුටු රුසියාව, සිරියාව හා ලිබියාව සම්බන්ධයෙන් ඇතැම් බලවේග ක්‍රියාකරන ආකාරය ද දැඩි විවේචනයට ලක් කෙළේය.

මේ අතර රුසියාව එල්ල කරන ලද දැඩි විරෝධතාව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව ගොනු කළ, චෝදනාව සඳහා එකඟත්වයට එළැඹීමට නොහැකි වී තිබේ. මෙහිදී රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිරියාවේ පවතින ප්‍රචණ්ඩත්වය නිසා විරෝධතා කරුවන් මෙන්ම හමුදා නිලධාරීන් ද මියගොස් ඇති මුත් එය අන්තර්ජාතික සාමයට තර්ජනයක් ඇති නොකරන බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජ්‍ය තානාපති ඇලෙක්සැන්ඩර් පැන්කින් අනතුරු හඟවා ඇත්තේ සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට පක්ෂපාතී ලෙස අතදැමීම හා පැළැස්තර විසඳුම් ලබාදීමට ඉදිරිපත්වීම නිසාම කලාපීය ආරක්ෂාවට තර්ජනයක් ඇති වන අතර මෙය දිගින් දිගට සිදුවීම සිවිල් යුද්ධයක් කරා වුව යොමු වීමට ඇති ඉඩකඩ ඇති බවයි.

මේ අතර ලිබියානු ගැටලු පිළිබඳව අදහස් දැක්වූ රුසියානු විදේශ කටයුතු ඇමැති සර්ජි ලැවිරොව් ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යයේ හා ප්‍රංසයේ වත්මන් සැලැස්මට අනුව යුද උපදේශකයන් ලිබියාවට යැවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ බල සීමාවෙන් ඔබ්බෙහි පවතින තත්ත්වයක් බවත් ඒ ක්‍රියාවලිය මඟින් මුළු ලෝකයම අවසානයක් නොමැති යුද්ධයකට ඇද දැමීමක් සිදුවන බවත් ය.

ශ්‍රී ලංකාවට එරෙහිව මතභේදාත්මක දරුස්මාන් වාර්තාව පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වැල්දිමීර් පී.මිඛයෙලොව් පවසා ඇත්තේ වාර්තාව සැකසූවන් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ වේදනාව සමනය කරනවා වෙනුවට තවත් පෑරීම නොවන බවයි. එසේම බටහිර මාධ්‍ය එල්.ටී.ටී.ඊ.යට පක්ෂපාතී ලෙස ශ්‍රී ලංකාවේ මානුෂික මෙහෙයුම පිළිබඳ වාර්තා කළ බවයි. එම මාධ්‍යායතනවල ව්‍යවස්ථාවලට ගැළපෙන පරිදි ඒකපාර්ශ්වික වාර්තා සැපයීම කොතරම් ද යත් ලොව පුරා එවැනි මෙහෙයුම් පිළිබඳ ඒකමිතික පිවිසුමක් ප්‍රකට කරන්නට අසමත් වී ඇති බවද ඔහු පැවසී ය.