Mon. Jul 8th, 2024
Spread the News

එමිල් කාන්තන්ගේ
වරෙන්තුව අහෝසියි

දුටු තැන අල්ලන්න නිකුත් කළ
රතු නිවේදනයත් අවලංගුයි

ඒ. ඡේ. ඒ. අබේනායක

උතුරු නැගෙනහිර පළාත්වල මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ ප්‍රධාන පෙළේ එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරිකයකු වන එමිල් කාන්තන් හෙවත් ඇන්ටන් චමිල් ලක්‍ෂ්මි කන්නන් නමැත්තා දුටු තැන අත්අඩංගුවට ගැනීමට නිකුත් කොට ඇති විවෘත වරෙන්තුව හා රතු නිවේදනය අහෝසි කිරීමට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්‌ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඊයේ (1 දා) නියෝග කළාය.

හිටපු අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා මහතාට උල් ආයුධවලින් හා මොට ආයුධවලින් පහරදී ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ පවරා ඇති නඩුවේ දෙවැනි විත්තිකරු වන ඔහු අධිකරණයට පැමිණ භාරවීමට අපේක්‍ෂා කරන බව කියමින් විත්තිය වෙනුවෙන් පෙනීs සිටි නීතිඥ සාරංග වාදසිංහ මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ කොමසාරිස්‌ විනිසුරුවරිය එම නියෝගය කළාය. මේ වනවිට විදේශ ගත වී සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කොට තිබීම හා විදේශ රටවල් වෙත නිකුත් කොට ඇති රතු නිවේදන ඔහුව අධිකරණය හමුවට පැමිණීමට බාධාවක්‌ වී ඇතැයි ද විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම කරුණු සලකා බැලූ කොමසාරිස්‌ විනිසුරුවරිය තම අධිකරණ නියෝගය වහාම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ආගමන හා විගමන අංශ නිලධාරීන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, ත්‍රස්‌ත විමර්ශන අංශයට හා රාජ්‍ය බුද්ධි අංශ වෙත නිකුත් කිරීමට ද නියෝග කළාය. විත්තිකරු ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට නොගන්නා ලෙසත්, පැමිණි බව තම අධිකරණයට දැනුම් දෙන ලෙසත් එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන්ට විනිසුරුවරිය නියෝග කළාය.

විත්තිකරු ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක්‌ ඇතුළත තම අධිකරණය හමුවට පැමිණවීමට පියවර ගන්නා ලෙස විත්තියේ නීතිඥවරයාට නියෝග කළ විනිසුරුවරිය නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට නියෝග කළාය.

1998 ජුනි 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කළුතර දී උල් ආයුධවලින් හා මොට ආයුධවලින් පහරදී හිටපු අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා තුනක්‌ යටතේ එම විත්තිකරු ඇතුළු විත්තිකරුවන් 16 දෙනකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ගොනු කර තිබුණි.