Mon. Jul 8th, 2024
Spread the News

උතුරේ ජල අර්බුදයට ඩයස්‌පෝරාවෙන් විසඳුම්
– චන්ද්‍රිකා කියයි

රසී වීරසිංහ

යාපනය අර්ධද්වීපයේ උග්‍ර පානීය ජල අර්බුදය විසඳීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඉදිරිපත් වී සිටින බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

පසුගියදා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනපතිනිය මේ බව පැවසුවාය.

යාපනය අර්ධද්වීපයේ පානීය ජල අර්බුදය විසඳීමට ලීටර් 6500 ක පමණ ධාරිතාවකින් යුත් වැසි ජල ටැංකි 1000 ක්‌ ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඉදිරිපත් වී සිටින බව පැවසූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 4 දෙනකුගෙන් යුත් පවුලකට මාස 3 ක පමණ කාලයකට අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමට මෙම ජල ටැංකියක්‌ හොඳටම ප්‍රමාණවත් බව පැවසුවාය.

යාපනය පුරා ඇති හුණුගල් තට්‌ටුව ජලය සමඟ දියවී යැමෙන් පානීය ජලයට ලුණු ජලය මිශ්‍රවීම වේගවත් වී ඇති අතර ඉදිරි වසර පහ ඇතුළතදී යාපනය අර්ධද්වීපය පුරා ලුණු ජලය පැතිර යා හැකි බවට පාරිසරික විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබිණි.