Fri. Jul 5th, 2024
Spread the News

උතුරේ ජනතාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්’ සහ
ගඡේන්ද්‍රකුමාර් ප්‍රතික්‍ෂේප කිරීම

උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵලවලින් ආසන 16 ක්‌ ලබා තමිල් අරසු කච්චි පක්‍ෂය ජය ලබා ඇත. මෙම මැතිවරණයේදී පරාජිතයන් වූයේ හිටිහැටියේ අටවාගත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවෝ පක්‍ෂයට සම්බන්ධ හිටපු කොටි ක්‍රියාකාරීන් නව දෙනා සහ ඔවුන්ව මෙහෙය වූ විද්‍යාදරන්ය. එසේම වහසිබස්‌ දෙසූ ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණද අන්ත පරාජයට පත් විය ද්‍රවිඩ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ සුරේන් ප්‍රේමචන්ද්‍රන්ද පරාජයට පතක්‌ වුණි ඔහුට ලැබුණේ ඡන්ද 29906 ති. හිටපු කොටි ක්‍රියාකාරීන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 1979 කි. තමිල් අරසු කච්චි පක්‍ෂයට මෙවර මැතිවරණයෙන් ඡන්ද 543944 ක්‌ හිමි වූ අතර එය සියයට 4.62 ක ප්‍රකාශ යක්‌ විය.

යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ පක්‍ෂයට ඡන්ද 150222 ක්‌ද වන්නියෙන් ඡන්ද 1174 ක්‌ද මඩකලපුවෙන් ඡන්ද 865 ක්‌ද ත්‍රිකුණාමලයෙන් ඡන්ද 1144 ක්‌ද හිමි විය.

මෙහිදී මුස්‌ලිම් කොංග්‍රසය ලැබූ ඡන්ද සංඛ්‍යාවද නිරීක්‍ෂණයට ලක්‌ විය යුතුය. වන්නියෙන් මුස්‌ලිම් කොංග්‍රසයට ඡන්ද 5716 ක්‌ද මඩකලපුවෙන් ඡන්ද 384770 ක්‌ද හිමි වී ඇත. මුළු දිවයිනෙන්ම මුස්‌ලිම් කොග්‍රසය හිමිකර ගන්නේ ඡන්ද 44193 කි ඔවුන්ට හිමි වූයේ එක්‌ අසුනකි.

ඩී. පී. ඩී. පී. නායක ඩග්ලස්‌ දේවානන්දට ඡන්ද 16399 ක්‌ ලබා අසුනක්‌ හිමිකර ගැනීමට හැකි වීම විශේෂ සිද්ධියකි හිටපු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ බිරිය වූ විජය කලා මහේෂ්වරන්ට හිමි වූයේ ඡන්ද 13071 කේ පමණකි.

මෙම මැතිවරණයෙන් හිටපු මන්ත්‍රීවරුන් වූ පී. ආරිය නේන්ද්‍රන් සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හා විනෝනරාද ලිංගම් පරාජයට පත් වුණි.

ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියකු වූ එම්. කේ. සිවාජිලිංගම් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට තරග කළත් ඔහුට හිමි වූයේ ඡන්ද 91 කි.

උතුරු නැගෙනහිරට තරග වැදුණු දේශපාලන පක්‍ෂ අතරින් සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඉතා අසරණ තත්ත්වයට පත්විය. මුස්‌ලිම් කොංග්‍රසයේ දැඩි මතධාරී ක්‍රියා කලාපය මුස්‌ලිම් ජනතාවද ප්‍රතික්‍ෂේප කර ඇතැයි තහවුරු විණි. මේ පසුබිම මැද උතුරු නැගෙනහිර ජයගත් ද්‍රවිඩ සංධානයේ ඉදිරි ඉලක්‌කය කුමක්‌ද?

මැතිවරණයෙන් ජයගත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් මෙලෙස ප්‍රකාශ කර ඇත. දෙමළ ඊළාම් ජාතික නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පිහිටු වූ දෙමළ ජාතික සන්ධානය ඔහුගේ මගපෙන්වීමට අනුව කටයුතු කරන්නෙමු.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානයේ පරාජිත මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍ර පවසා ඇත්තේ දෙමළ සන්ධානයට ඩයස්‌ පොරාවෙන් ලත් සහය අගය කරන බවත් යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටින බවත්ය.

මෙහිදී නෝර්වේහි නෙදියවන් කණ්‌ඩායම මෙහෙය වූ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ හෙවත් හිටපු කොටි ක්‍රියාකාරීන් පරාජය වීම තුළින් නෝර්වේ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම්ගේ සැලසුමද බිඳ වැටිණි.

දෙමළ සන්ධානය අභිභවා හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිස ජයගනු ඇතැයි එරික්‌ සෝල්හයිම් බලාපොරොත්තු විය.

මෙම හිටපු කොටි ක්‍රියාකාරීන්ව මෙහෙය වූ විද්‍යාදරන් එරික්‌ සෝල්හයිම් සමගද දැඩි සබඳකම් පැවැත් වුවෙකි.

මෙම තත්ත්වය මත සැප්තැම්බර් 21 දා දහවල් ස්‌විස්‌ ඊළම් ඩයස්‌පෝරාව ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ උද්ඝෝෂණයේ ඉලක්‌ක දෙකකි.

1. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ වාර්තාවෙන් නම් කෙරෙන හමුදා සහ දේශපාලන නායකත්වයට දඬුවම් කිරීම.

2. උතුරු නැගෙනහිර සඳහා එක්‌සත් ජාතීන්ගේ අධීක්‍ෂණය මත ජනමත විචාරණයක්‌ පැවැත්වීම.

මෙකී පසුබිම මත හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් මෙලෙස පවසා ඇත.

එක්‌සත් ජාතීන්ගේ බලධාරීහු ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව කඩිනමින් බාරදෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා රජය එකී වාර්තතාව මත යුද්ධය පැවැති සමයේ වගවීම ගැන පැහැදිලි ක්‍රියාමාර්ගයක්‌ ගත යුතුයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යුද අපරාධවලට අදාළ රෝම සම්මුතියට එකඟ නොවීම නිසා ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට නොහැකි යෑයි ප්‍රකාශ වී ඇත.

එහෙත් යුද අපරාධ චෝදනා එල්ල කළ හැකි වගන්තියක්‌ රෝම සම්මුතියේ තිබේ. මේ බව විද්වතුන් යෑයි පවසන පිරිස්‌ අවධානයට ලක්‌ කර නැත.

එසේම ත්‍රස්‌තවාදීන්ට එරෙහි වන්නි මෙහෙයුම වෙනුවට ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට පිළිඹු කර ඇත්තේ ද්‍රවිඩ ජනතාවට එරෙහි ජාති ඝාතනයක්‌ සිදු කළ බව දක්‌වමිනි. මෙය ද්‍රවිඩ සන්ධානයේ තේමාවයි. එකී තේමාව ජාත්‍යන්තර තරණය කිරීමට කටයුතු කළේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ය.

කිර්ති වර්ණකුලසූරීය