Wed. Jul 3rd, 2024
Spread the News

විද්වත් හමුව source:

ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා සහිත යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනෙන බවට බටහිර රටවල් දෙඩූ වහසිබස්‌ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස දක්‌වන ප්‍රකාශයකට සීමා වී ඇත. ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් ගෙනෙන චෝදනා මින් අවසන්ද?. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අප ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද? 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සමඟ එය කෙසේ ගැළපේද? ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි කරන විග්‍රහයකි මේ

උගත් පාඩම් නිර්දේශ ඉටුකළ යුත්තේ
ඇමරිකානු කාලසටහනට නොවේ
– ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

ජිනීවාවල දැන් මොනවද වෙන්නෙ?

අපේ රටට එරෙහිව ජිනීවාහිදී ඉදිරිපත් කළ යෝජනාවෙන් ඇමරිකාවට සහ යුරෝපා රටවලට යම් ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට නොහැකි වුවත් ඔවුන් උත්සාහය අත්හරී කියලා හිතන්න බෑ. අපි අපේ රටේ ත්‍රස්‌තවාදය සහමුලින්ම විනාශකර දැමීමෙන් ලබාගත් ගෞරවය හා කීර්තිය බාල්දු කිරීමේ උවමනාවක්‌ ඔවුන්ට තිබෙනවා. අප ලබාගත් මේ ජයග්‍රහණය හරහා ලෝකයේ වෙනත් රටවලට විශේෂයෙන් ආසියා, අප්‍රිකානු හා දකුණු අප්‍රිකානු රටවලට දෙන පණිවුඩයට මේ බලවත් රටවල් කිහිපය කැමැති නෑ. අපි මේ යුද්ධය ජයග්‍රහණය කළේ මේ බලවත් රටවල් කිහිපය අපට දුන් උපදෙස්‌ ගණන් ගන්නේ නැතිවයි. මේ බලවත් රටවල් කිහිප දෙනා ලොව පුරා පතුරුවාගෙන යන ඔවුන්ගේ ආධිපත්‍යයට එය මදිපුංචිකමක්‌.

එමනිසා මේ බටහිර රටවල් කිහිපය අපේ රටට එරෙහිව ජිනීවාවලදී ආරම්භ කළ මේ ක්‍රියාදාමය ඔවුන් නතර කරයි කියලා හිතන්න බෑ. මේ ආරම්භයක්‌ පමණයි. ව්‍යාජ මානව අයිතිවාසිකම් හා අසත්‍ය යුද අපරාධ චෝදනා හරහා ඔවුන් මේ වෑයම් කරන්නේ යුද ජයග්‍රහණයේ ප්‍රධාන නියමු චරිත දෙක වන මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂ ඉවත් කර ඔවුන්ට කීකරු ආණ්‌ඩුවක්‌ පත්කර ගැනීමටයි. එමනිසා හමුදා නායකයන්ටත් මේ ප්‍රධාන නියමු චරිත දෙකටත් එරෙහිව චෝදනා ගොනු කිරීම ඔවුන්ගේ අරමුණයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් හා ආරක්‌ෂක ලේකම් විසින් ලෝකයේ පරාජිත රාජ්‍ය ලේඛනයට අපේ රටත් ඇතුළත් කර තිබෙනවා. නමුත් ලෝක බැංකුවද ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කියන්නේ අපේ රට දැන් තුන්වැනි ලෝකයේ රටක්‌ නොව මධ්‍යම පංතියේ රටක්‌ බවයි. මේ එකිනෙකට පරස්‌පර විරෝධී ප්‍රකාශ කිරීමේ අරමුණ කුමක්‌ද?

පරාජිත රාජ්‍යයක්‌ ලෙස ඇමරිකාව අපේ රට නම් කළත් අපේ රට ජයග්‍රාහී රටක්‌ ලෙස ලෝකයේ සෙසු රටවල් පිළිඅරගෙන තියෙනවා. තමුන්ගේ රටවල ත්‍රස්‌තවාදය මැඬපවත්වන්න බටහිර රටවලට බැරිවුණත් අපි අපේ රටේ ත්‍රස්‌තවාදය මැඬපවත්වා ලෝකයේ වෙනත් රටවල ගෞරවයට පත්ව සිටිනවා. යුද්ධය අවසන් කර තිස්‌ වසරකට පසු උතුරේ හා නැගෙනහිරත් ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කර තියෙනවා. තවදුරටත් අපේ රට ආර්ථික වශයෙන් තුන්වැනි ලෝකයේ රටක්‌ නොව මධ්‍යම පාන්තික රටක්‌ හැටියට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක්‌ ගොඩනැගී තිබෙනවා. සමාජ හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර තුළත් අපේ රට තුළ ප්‍රගතියක්‌ ඇතිවී තිබෙනවා. එම නිසා අපේ රට පරාජිත රාජ්‍යයක්‌ ලෙස ඇමරිකාව නම් කළත් එය එසේ නොවන බව සෙසු ලෝකයා පිළිගෙන හමාරයි. ඇමරිකාව අපේ රට මෙසේ නම් කිරීම නැවත වරක්‌ මා දකින්නේ අපේ රටට නිග්‍රහ කිරීමට ඔවුන් තුළ ඇති උවමනාවයි.

ජිනිවා සමුළුවේදී ඇමරිකාව ප්‍රකාශ කළා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස. රට තුළ බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළකට යා යුතු බව එම කොමිසමේ නිර්දේශ අතර තිබෙනවා. මේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

මුලින්ම මේ උගත් පාඩම් කොමිසම අපේ රටට විරුද්ධවාදියො හැඳින්වුවෙ ආණ්‌ඩුවට සුදුහුනු ගාන්න පිහිටවපු එකක්‌ හැටියටයි. මෙම වාර්තාවේ යම් යම් අඩුපාඩු තිබුණත් අද අපට එරෙහිව සිටින බලවත් රටවල් පවා පිළිඅරගෙන තිබෙනවා මෙම වාර්තාවේ නිර්දේශ ක්‍ර්‍රsයාත්මක කළ යුතු බව. මේ වාර්තාවට මෙලෙස ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ලැබීමත් අපේ රට ලැබූ ජයග්‍රහණයක්‌. අපේ රටේ වර්තමාන ප්‍රශ්නවලට හොඳ පිළිතුරක්‌ හැටියට මේ කොමිසමේ වාර්තාව ඇමරිකාවත් පිළිගැනීම යම් ආකාරයක විසඳුම් මාවතකට ගමන් කිරීමක්‌. එමනිසා අප කළ යුතු වන්නේ බටහිර රටවල් අපට එල්ල කරන අභූත චෝදනා ප්‍රතික්‌ෂේප කරන අතරම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි. නමුත් එය කළ යුත්තේ ඇමරිකාව හෝ අනෙකුත් බටහිර රටවල් දෙන කාලසටහනකට අනුව නොවේ. එහිදී මුල්තැන ලබාදිය යුත්තේ අපේ රටේ අවශ්‍යතාවන්ටයි. එසේම මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී කිසිදු රටකට ඊට අතපොවන්නට ඉඩ නොතැබිය යුතුයි. අපි අපේ රටේ අවශ්‍යතාව මත යුද්ධය ජයග්‍රහණය කළ පරිදිම රටේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ ක්‍රියාදාමයද ක්‍රියාත්මක විය යුත්තේ රටේ අවශ්‍යතාව මතයි. එය සිදුවන ආකාරය පිළිබඳ වෙනත් රටවල් දැනුවත් කිරීම අප කළ යුතු වුවත්, එම ක්‍රියාදාමයට මැදිහත්වීමට හෝ බලපෑම් කිරීමට කිසිදු රටකට ඉඩ දිය යුතු නැහැ.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන අතර එය සිදුකරන ආකාරය පිළිබඳ සියලුම රටවල් දැනුවත් කරන ප්‍රචාරක වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. අපේ විදේශ අමාත්‍යාංශය හා තානාපති සේවය මෙහිදී ක්‍රියාත්මක විය යුතු අතර අපේ රට යුද්ධය අවසන් කිරීමෙන් පසු ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ බොහෝ රටවල් නිසි ලෙස දැනුවත් වී නැහැ. යුද්ධයෙන් පසු අපේ රට කිසිවක්‌ කර නැහැ කියලා එල්ල වෙන චෝදනාවලට මෙයත් එක හේතුවක්‌.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුත්තේ අපේ රටේ සාර්ථකත්වයට ප්‍රයෝජනවත් වන ආකාරයටයි. මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ඇමරිකාව කරන ප්‍රකාශය තුළ තිබෙන්නේ මෙයට පෙර තිබූ අවබෝධතා ගිවිසුම හරහා එය ක්‍රියාත්මක වන ආකාරය අධීක්‍ෂණය කිරීමට ස්‌කැන්ඩිනේවියානු නිරීක්‍ෂකයන් යෙදවීම වැනි උවමනාවක්‌ නම් අපේ රට ඊට කිසිසේත් ඉඩදිය යුතු නැහැ. මේ නිර්දේශ ක්‍රියාත්මක විය යුත්තේ අපේ රටේ සාර්ථකත්වයට ඉවහල්වන පරිදි ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙසයි. එය අධීක්‍ෂණය කරන්නට කිසිදු රටකට ඉඩ දිය යුතු නැහැ.

මේ නිර්දේශවල පදනම වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂාව සහ සාමයයි. සාමය සඳහා පදනම සැකසෙන බලය බෙදා හැරිය යුතු ආකාරය පිළිබඳත් මේ නිර්දේශවල අඩංගුවී තිබෙනවා. නමුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේම කොටසක්‌ ලෙස තිබෙන 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මේ කොමිසමේ නිර්දේශ සමඟ කෙසේද ගැළපෙන්නෙ.?

උගත් පාඩම් කොමිසමෙන් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව කියන්නෙ නැහැ. නමුත් රට තුළ බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළකට යා යුතු බව එයින් නිර්දේශකර තිබෙනවා.

අපේ රටේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් බරපතළ හානිකර තත්ත්වයක්‌ නිර්මාණය කර තිබෙන්නේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ පොලිස්‌ හා ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීම තුළිනුයි. ඇත්ත වශයෙන්ම මේ යෝජනා එදා එල්. ටී. ටී. ඊ. සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගේන්න ඉන්දියාව බලෙන් අපේ රටට පැටවූ දේවල්. දැන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගේන්න එල්ටීටීඊයත් නෑ. ඒ යුගය ඉවරයි. දැන් වර්තමානයට ගැළපෙන පරිදි මේ කොන්දේසි සකස්‌ විය යුතුයි. එදා එල්. ටී. ටී. ඊ. සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගෙනැත් උතුර – නැගෙනහිර සාමය ස්‌ථාපිත කරන්න ගෙනා යෝජනා අද ගෙනාවොත් වෙන්නෙ උතුරු නැගෙනහිර දැන් තිබෙන සාමය නැතිවීමයි.

උතුර – නැගෙනහිර ප්‍රධාන ඇමැතිවරුන්ට පොලිස්‌ බලතල දුන්නොත් සිදුවෙන්නෙ එල්. ටී. ටී. ඊ. යේ සිටි ආයුධ පරිහරණය හුරු සටන්කාමීන් ඒ පොලිසිවලට බැඳිල නීත්‍යනුකූල සන්නද්ධ හමුදාවක්‌ ඒ දෙපළාතේ නිර්මාණය වීමයි. ඉඩම් බලතල ලබාදුන්නෙත් එම දෙපළාතේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් වැදගත්කමක්‌ ඇති ස්‌ථාන ඔවුන් අත්පත් කර ගැනීමෙන් කිසියම් අවස්‌ථාවක රටේ ආරක්‌ෂක හමුදාවන්ට පාලනය කිරීමට අසිරූ තත්ත්වයක්‌ යළි ඒ දෙපළාතේ නිර්මාණය විය හැකියි. එම නිසා ත්‍රස්‌තවාදය අවසන් කර සාමය හා සමෘද්ධිය ස්‌ථාපිත කිරීමේදී අප ක්‍රියාත්මක කළ යුත්තේ බෙදුම්වාදය යළි නොඑන, ඊට ඉඩප්‍රස්‌ථා නොසපයන රටේ ආරක්‌ෂාව තහවුරු කරන ක්‍රියාදාමයක්‌. ව්‍යවස්‌ථාවක්‌. දැනට ක්‍රියාත්මක නොවන නමුත් වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පවතින මෙම වගන්ති එලෙස තිබෙන්නට ඉඩහැරීමත් රටේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් භයානක අනාගත ව්‍යසනයකට අතවැනීමක්‌. යම් හෙයකින් බෙදුම්වාදයට හිතකර රජයක්‌ මේ රටේ ඇතිවී එබඳුම අදහස්‌ දරන ශ්‍රේෂ්ඨාධිකරණයකුත් ඇති වුවොත් දැනට ලබා නොදී ඇති ව්‍යවස්‌ථාවේ මේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතුය යන අර්ථ නිරූපණය යටතේ යම් දිනක මේ බලතල ප්‍රධාන ඇමැතිවරුන්ට ලැබීමට ඉඩ තිබෙනවා. එවිට තුනෙන් දෙකක ජනබලයක්‌ නැති මධ්‍යම රජයකට එය වෙනස්‌ කළ නොහැකිය.

එම නිසා වර්තමාන ආණ්‌ඩුව මේ අවස්‌ථාවේ දූරදර්ශීව කල්පනාකොට සිදු කළ යුත්තේ ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබාදීමට ඇති ඉඩ ව්‍යවස්‌ථාවෙන්ම වළක්‌වාලීමයි. මේ මොහොත එය කළ හැකි අවසාන අවස්‌ථාවයි.

සාකච්ඡා කළේ- පාලිත සේනානායක