Fri. Jul 5th, 2024
Spread the News

ඊනියා දෙමුහුන් උසාවි එපා;
ජිනීවා වාර්තාව ප්‍රතික්‍ෂේප කරන්න
– හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක්‌

අනුර බාලසූරිය

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාව ප්‍රතික්‍ෂේප කළ යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රජයට යෝජනා කර සිටී.

ශ්‍රී ලංකාවේ සිදුවූවා යෑයි කියන යුද අපරාධ විමර්ශනය කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන්, අධිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගිත්වය ඇතිව පිහිටුවීමට යෝජනා කර ඇති ඊනියා දෙමුහුන් (හයිබ්‍රිඩ්) යුද අපරාධ අධිකරණය ඇති නොකළ යුත්තක්‌ බව ද හිටපු ජනාධිපතිවරයා නිවේදනයක්‌ මගින් වැඩිදුරටත් කියා සිටී.

මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ වාර්තාවේ අඩංගු නිර්දේශ බරපතළ ලෙස ප්‍රශ්න සහගත බවත් අපේ ආරක්‍ෂක හමුදාවන්වල ඇතැම් සාමාජිකයන්ට එරෙහි චෝදනා ඇත්නම් එම චෝදනා ලංකාවේ පවතින නීතියට අනුව අපේ උසාවි පද්ධතිය යටතේ අපේ විනිශ්චයකාරවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පමණක්‌ විභාගයට ලක්‌කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් කියා සිටී.

මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණක්‌ පිහිටුවිය නොහැකි බවත් එවැන්නක්‌ කිරීමට බලය ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට පමණක්‌ බවත් එහි සඳහන් වේ.