Mon. Jul 8th, 2024
Spread the News

ඉන්දීය ගුවන් හමුදා කඳවුරට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌
පාකිස්‌තානය ප්‍රහාරය තරයේ හෙළා දකී

චතුර පමුණුව

පුරා දින දෙකක්‌ තිස්‌සේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට්‌ ගුවන් හමුදා කඳවුරට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වෙමින් පවතී.

ඊයේ (03 දා) සවස්‌ යාමයේත් හමුදාව හා කඳවුරු භූමියට ඇතුළු වී සිටින ත්‍රස්‌තයන් අතර වෙඩි හුවමාරුවක්‌ සිදුවෙමින් පැවතිණි.

මෙම ප්‍රහාර නිසා ඉන්දියාවේ හමුදා සාමාජිකයන් 11 දෙනෙක්‌ මියගොස්‌ ඇති අතර ත්‍රස්‌තවාදීන් 05 දෙනෙක්‌ මරණයට පත්ව තිබේ.

මියගිය පිරිස අතර ඉන්දීය කොමාන්ඩෝ බළකායේ ලුතිනන් කර්නල්වරයෙක්‌ද වේ.

මෙම කඳවුරට ප්‍රහාර එල්ල වීම ආරම්භ වූයේ සෙනසුරාදා අලුයම 3.30 ට පමණය.

පකිස්‌තානයේ සිට පැමිණි ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි.

ඊයේ සවස්‌ වන විටත් ත්‍රස්‌තවාදීන් දෙදෙනෙක්‌ කඳවුරු භූමිය තුළ රැඳී සිටිමින් හමුදාවට ප්‍රහාර එල්ල කරමින් සිට ඇත.

ඉන්දු පාකිස්‌තාන දේශ සීමාවේ පිහිටි ඉතා වැදගත් ඉන්දීය ගුවන් කඳවුරක්‌ වන මෙහි ප්‍රහාරක ගුවන් යානා හා ප්‍රහාරක හෙලිකොප්ටර් රඳවා තබා ඇත.

මෙම ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය පකිස්‌තාන රජය හෙළා දැක ඇත.

ඉන්දීය ආරක්‍ෂක අංශ පවසන්නේ මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ ජයිල් මොහොමඩ් නම් සංවිධානය බවයි.