Mon. Jul 8th, 2024
Spread the News

වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වී ඇති අතර එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රයෝජන සළසා ගත්තේ සාමාන්‍ය ජනතාව නොව ඉංග්‍රීසි පඬි නැට්ටන්‍ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන විධාන අනුව ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවද අනුමත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මිස කළ නොහැකිය. එහි වඩා වැදගත් වන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට අදාලව යන්නය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ අවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක්ව පැවති අතර වර්ෂ 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එකී ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 සිට වසර 5කට අඩු කරනු ලැබීය. ඒ ජනමතවිචාරණයක් මගින් නොව නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් මගින් පමණි.

ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යව‍ස්ථාවේ 83 ව්‍යවස්ථාව දක්වා තිබුණද වසර 6 සිට වසර 5ක් කිරීමට හෝ දැන් පවතින වසර 5 නැවත වසර 6ක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධාන මගින් නියම කර නැත.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 5ක් වුවද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් එකී ධූර කාල මුල් තත්ත්වයට එනම්  වසර 6 දක්වා ගෙන ඒමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් මගින් පමණක් සිදු කළ හැකිය.

එවිට වත්මන් ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වාත්, වත්මන් පාර්ලිමේන්තුවට 2026 දක්වාත් පැවතිය හැකිය.

වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙයට ඇති කැමැත්ත කෙසේ වෙතත් ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ වැඩි ඉඩක් මේ වන විට පවතී.

http://neethiyalk.blogspot.com/2024/01/6-23-22.html?m=1

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.01.06)