Mon. Jul 8th, 2024
Spread the News

දිවයින

මම එදින කොළඹ ගියේ රෑ බෝ වීමට පෙර නිවසට පැමිණීමේ අදහසිනි. ඒ දැනට අවුරුදු තිහකට පමණ පෙරය. වැදගත් කටයුතු කිහිපයක් කර ගැනීමට සිදු වූ බැවින් කොළඹින් පිටත් වීම ප‍්‍රමාද විය. රෑ දොළහට පිටත් වන මහනුවර බස් රිය පිටත් වී තිබුණි. නැවත මහනුවර බස් රියකට පැය දෙකකට වැඩි කාලයක් බලා සිටිය යුතු බැවින් එහි නවතා තිබූ බදුල්ල බස් රියකට ගොඩ වුණෙමි. බස් රිය ගමන් කළේ සෙමෙනි. බසයේ සිටි සැම දෙනාම රියැදුරාට ශාප කළේ ඔහුගේ වේගය මදි බැවිනි. ඒ අතර තුර කෑගල්ල කිට්ටු වන විට තද වර්ෂාවක් ආරම්භ විය. පාරේ යන වතුර කඳන් නිසා බස් රියේ වේගය තවත් අඩු විය.

වේලාව උදෑසන හතරට කිට්ටුය. මම පේරාදෙණියෙන් බස් රියෙන් බැස මහනුවරට යන වාහනයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුමේ අඩපැයකට වඩා නතර වී සිටියෙමි. වර්ෂාව පායා ඇතත් අහස තද අඳුරුය. වර්ෂාවේ තෙතමනයට පාරේ තවම හෙමින් වතුර ගලයි. උදය වාහන ආරම්භයට තවමත් වේලාව ඇත.

අහම්බෙන් ආ වාහන දෙක තුනකට අත එස වූ නමුදු ඒවා නැවැත්වූවේ නැත. මම තවත් විනාඩි පහළොවක් පමණ බස් නැවතුමේ නතර වී සිටියෙමි. රියදුරු පමණක් සිටින ති‍්‍රරෝද රථයක් කොළඹ පාරෙන් පැමිණ මහනුවර දෙසට හැරෙව්වේය. මම පාරට බැස අත දිගු කළෙමි. ත‍්‍රිරෝද රථය නතර විය. රියැදුරා අඩ සිනාවක් පා මා දෙස බැලූවේය.

‘‘ මහත්තයා කොහේ යන්නද?’’

‘‘ ඩ‍්‍රයිවර් මහත්තයා නුවර යන්න පුළුවන්ද’’

‘‘නගින්න පුළුවන්’’

මම පසුපස ආසනයේ හොඳින් හාන්සි වී අසුන් ගතිමි. රියැදුරු කණ්නාඩියෙන් මා දෙස බලා කතා කළේය.

මහත්තයා රෑ දෙගොඩහරි යාමේ කොහේ ගියාද?

මම කොළඹ ගියා, කොළඹින් එනකොට නුවර බස් ඔක්කොම ඇවිත්, ඊට පස්සේ බදුල්ලේ බස් එකක ඇවිත් පේරාදෙණියෙන් බැස්සා

මහත්තයා මොකද කරන්නේ

මම විදුහල්පතිවරයෙක්

කොහෙද ගම් පළාත

නුවර කිට්ටුව

මමත් මේ දුර, නුවරට යන එක තනියම යන්න පාළුවෙන් ආවේ. මොකද මේ වෙලාවේ පාර පාළුයි. එක එක විකාර පාරෙදී හමුවෙනවා.

ඒ කිව්වේ?

එකක් නොවෙයි. රෑ දොළහට, පාන්දරට ඇවිදින හොල්මන් අවතාර තනියම පාරේ යන ඩ‍්‍රයිවර්ලට අනන්ත මුණ ගැහෙනවා. ඒකේ අමතක වෙන්නේ නැති අවතාරය තමා ඇහැළේපොළ කුමාරිහාමිගේ අවතාරය. මට දෙතුන් සැරයක් ත‍්‍රීවිල් එක එලවද්දී මුණ ගැහිලා තියෙනවා. හැබැයි ඒ කිසිම වෙලාවක බය වුණේ නෑ. ඒත් රෑ තනියම යනකොට හිතට චකිතයක් එනවා.

මම දැක්ක අවතාරේ කියන්නම්. මට ඇහැළේපොළ කුමාරිහාමිගේ ඉතිහාස තොරතුරු ටිකක් දන්නව නම් කියන්න.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මහ අදිකාරම් තුමා තමයි ඇහැළේපොළ, ඇහැළේපොළට සෙංකඩගල වලව්වක් තිබුණේ නෑ. එයාගේ සහෝදරිය විවාහ වෙලා හිටියේ කැප්පෙටිපොළ දිසාවේ එක්කයි. දැන් නුවර ජනාධිපති මන්දිරය කිට්ටුව තමා කැප්පෙටි පොළ වලව්ව තිබුණේ. දැන් ඒක රිමාන්ඞ් හිර ගෙදර. 1815 උඩරට රජ්ජුරුවෝ අල්ලා ගන්නා ඉංගී‍්‍රසි හමුදාවේ පෙරමුණේ ගියේ ඇහැළේපොළ. ඒ හිලව්වට ඇහැළේපොළ උඩරට රජකම බලාපොරොත්තු වුණා, ඉංග‍්‍රීසින් එයාට රජකම දුන්නේ නෑ.

1817-1818 උඩරට කැරැුල්ලේදී ඇහැළේපොළ කැරැුල්ලට උදව් කරනවා කියලා ඉංග‍්‍රීසීන් සැකපිට ඇහැළේපොළ අල්ලා කොළඹට පිටුවහල් කළා. ඒ වෙලාවේදී ඇහැළේපොළ කරපු වැරැුද්දට වන්දි ගෙවන්න වුණේ ඇහැළේපොළ කුමාරිට හා දරු පවුලටයි. රජ්ජුරුවෝ ඇහැළේපොළ කුමාරිහාමි ගැන කැමැත්තෙන් හිටියා. ඈ දෙමළ රජු ප‍්‍රතික්ෂේප කළා. මේ වරදට ඇහැළේපොළගේ දරු පවුලෙන් රජ්ජුරුවෝ පළි ගත්තා.

වැඩිමල් මද්දුම බණ්ඩා හිස ගැසීමට යන කොට අම්මගේ ඇගේ එල්ලූනා. බාල පුතා මද්දුම බණ්ඩාර නිර්භීතව වධකයාට ගෙල පෑවා. එදා සම්මත නීතියට පටහැනිව තෙවැනි දරුවා වූ ඩිංගිරි මැණිකාගේ හිස ගසා දැම්මා. ඒක මුළුමනින්ම නීති විරෝධී. උඩරට නීතිය අනුව ගැහැණුන්ගේ හිස සිඳින්න බෑ. ඊට පසුව අතේ වඩාගෙන සිටි කුඩා දරුවා වංගෙඩියෙළා කොටන්න අණ කළා. නැත්නම් ඇයව රොස් අයට පාවලා දෙන බව කීවා. කුමාරිහාමි එක මෝල් ගස් පහරක් වංගෙඩියට කොටා සිහි නැති වී වැටුණා.

පසුව ඈත් සමග ඇගේ කිට්ටු නෑදෑයින් හතර දෙනෙක්ව බෙල්ලේ ගල් බැඳලා බෝගම්බර පරණ වැවේ ගිල්ලූවා. බෙල්ලේ ගල් එල්ලූවේ සිරුරු වතුරෙන් ගොඩට නොඑන්න. ඇහැළේපොළ කුමාරිහාමි ගිල්ලපු පරණ බෝගම්බර වැව ටවුමේ අද බාගයක් දුරට විහිදිලා තිබුණා. ඈ ගිල්ලවපු ස්ථානය තමයි, ජොර්ජ් ඊ ද සිල්වා උiානය කිට්ටුව තියෙන අද කොඩිතුවක්කු බිල්ඩිම. කාලෙකට ඉස්සර එතන තිබුණේ එලිෆන්ට් හවුස් ගොඩනැගිල්ල. දවස් කිහිපයකට පස්සේ ඇගේ සිරුර බෝගම්බර බන්ධනාගාරය මැද පිහිටි වැවේ කොටසකින් මතු වුණා. මේ අපරාධයට පස්සේ මහනුවර හැම ගෙදරකම දින තුනක් යන කල් ලිප ගිනි මෙළෙව්වේ නෑ කියලා තියනවා. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු ගැන රට වැසියාගේ හිත බිඳෙන්න මේ සිද්ධිය තදින් බලපෑවා.

මගේ කතාව නිහඬව අසා සිටි රියැදුරු ඔහුගේ කතාව ආරම්භ කළේය.

‘‘මට මතක විදිහට මම තුන්පාරක් ඇහැළේපොළ කුමාරිහාමිගේ අවතාරය දැකලා තියෙනවා. ඒ හරියට ඇය හිස ගසා දාපු දවසේ කියලා තමා මිනිස්සු කියන්නේ. උස මහත ඉතා ලස්සන සුදු ඇඳගත්ත කාන්තාවක් කොණ්ඬේ කඩාගෙන අත්දෙකෙන් හිසට ගසා ගනිමින් ගස්වැල් මැද්දෙන් පාරට එනවා. ඒ උසස් බාලිකා විදුහල අසලින් ගහකොළ මැදින් ගුඞ්ෂෙඞ් බස් නැවතුමට යන පාරෙන් සාමාන්‍ය කාන්තා රූපය ඉන්පසු ටිකෙන් ටික උස යනවා. අඬනවා විලාප දෙනවා. හිසකෙස් අවුල් කරමින් අත් දෙක අහසට දික් කරනවා. පොදු වෙළෙඳපොළ ඉස්සරහින් ඔරලෝසු කණුව දිහාවට එයා ගමන් කරනවා. මම එක දවසක් කිසිම බයක් නැතිව ඒ පිටුපසින්ම ගියා. කොඩිතුවක්කු බිල්ඩිමේ ඈ ගිල්ලවපු ස්ථානය ඉස්සරහා හු`ගාක් වෙලා අඬ අඬා ශාප කරනවා. ඊට පස්සේ මාලිගාව කිට්ටුවට ගිහින් පත්තිනි දේවාලය ඉස්සරහින් පරණ ඇහැළේපොළ වලව්ව පැත්තට ගමන් කරනවා. එදා කුමාරිහාමිගේ වලව්ව තමා ඒ. ඇහැළේපොළ වලව්වේ ඉස්සරහා දෙතුන් වතාවක් ඇවිදලා උස් රූපය ටිකෙන් ටික මිටි වෙනවා. ඊට පස්සේ ඇහැළේපොළ වලව්ව මිදුලෙන් රූපය අතුරුදහන් වෙනවා.

රියැදුරු කතාව නවතා මා දෙස බැලූවේය. ඔරලෝසු කණුව ළග මාව දාලා යන්න මම ඔහුට කීවෙමි.

එස්. කේ. ජයවර්ධන