Mon. Jul 8th, 2024
Spread the News

On May 12, 2019 Courtesy Lankaweb

අයි.එස්.අයි.එස්. නම් වූ ත්‍රස්ත සංවිධානය තරමට ලෝකයේ කතාබහට ලක් වූ වෙනත් මාතෘකාවක් නොමැති තරමට සියවසේ මහා අභියෝගය බවට පත් විය. පලස්තීනයේ සිට ජෝර්දානයට පලා ආ සරණාගත පවුලකට අයත් සුන්නි මුස්ලිම් තරුණයකු වූ අබු මුෂාම් අල් සර්කාවි විසින් මෙම ත්‍රස්ත කල්ලියට අඩිතාලම දමන ලද්දේ 2002 වසරේදීය. මෙම ත්‍රස්ත සංවිධානය එවකට හැඳින්වූයේ “තව්හිඞ් – වා – ජිහාඞ්” යන නමිනි. ඇමෙරිකානු නිර්මාණයක් වූ මෙම සන්නද්ධ කල්ලියේ ප්‍රථම කාර්යභාරය ඉෂ්ට කිරීමට පැවරුණේ ඇෆ්ඝනිස්ථානයේදී සෝවියට් හමුදාවට එරෙහිවය. පසුව මොහු ඉරාකයට පැමිණ සදාම් හුසේන්ගේ ‘බාත්’ පක්ෂයෙන් සක්‍රිය දේශපාලනයට පිවිසුණේය. ඉරාන – ඉරාක යුද්ධයේදී ඉරාකයට ඇමෙරිකානු සහය පළ විය. එහිදී මොහුගේ “තව්හිඞ් – වා – ජිහාඞ්” ත්‍රස්ත කල්ලියට ඇමෙරිකානු පූර්ණ සහය ලැබිණි. ඉන් පසුව ඇමෙරිකාව තෙල් සඳහා ඉරාකය ආක්‍රමණය කරන විට ලොව පැවති විශාලතම සන්නද්ධ ත්‍රස්ත කල්ලිය වන ‘අල් කයිඩා’ (Al Qaeda) හා සම්බන්ධ වෙමින් ‘අල් කයිඩා – ඉරාක්’ (AQI – Al Qaeda Iraq) යන නාමය තම සංවිධානයට එකතු කර ගත්තේය.2006 පමණ වන විට ජාත්‍යන්තර අල් කයිඩා ජාලයේ නායකයන් සහ සර්කාවි අතර න්‍යායික ගැටලු මතු වීමත් සමගම මෙම බැඳීම් ඉරිතළන්නට විය. සර්කාවිගේ අදහස වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට හිතවාදී සාම්ප්‍රදායික මුස්ලිම් නායකත්වයන් විනාශ කර දමා, කලාපීය රාජ්‍ය බලය අතට ගෙන Caliphate හෙවත් ඉස්ලාම් අධිරාජ්‍යයක් ගොඩනැඟීමය. එය අල්කයිඩාව ප්‍රතික්ෂේප කිරීමත් සමගම ඔවුනොවුන් වෙන් විය. මෙම මතගැටුම නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය විසින් බව පසු කලෙක හෙළි විය. 2006 ජූනි මාසයේ 6 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකදී ලොවක් භීතියට පත් කළ අංක එකේ ත්‍රස්ත සංවිධානයේ ආරම්භක නායකයා මිය ගියේය.ඉන් පසුව අබු අයුබ් අල් මස්සෙරි, අබු ඕමාර් අල් බග්දාදි පිළිවෙළින් සංවිධානයේ නායකත්වයට පත් වුවද, ඇමෙරිකානු ප්‍රහාරයන්ට බිලිවීමෙන් ඔවුහුද මිය ගියහ. 2010 වසරේදී අබු බකර් අල් බග්දාදිගේ නායකත්වයෙන් යළි සක්‍රිය තත්ත්වයට පත් වුවද, ඔහු ඇමෙරිකානු වගකීම් ඉටු කිරීම තම ප්‍රමුඛ කර්තව්‍යය බවට පත් කර ගත්තේය. දීර්ඝකාලීන සී.අයි.ඒ. හා ඊශ්‍රායෙල් මොසාඞ් ඔත්තු සේවාවේ පුහුණුව ලැබූ ඔහු, සංවිධානය වටා සිටි සියලු මූලධර්මවාදීන්ගේ සිත් ගත් නායකයා බවටද පත් විය. ඒ සමයේදී 2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා ටියුනීසියාවෙන් ඇරඹී, ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, යේමනය ආදී රටවල් රැසක පාලනයන් පෙරළා දමා සිරියාවේ මේ සියවසේ දැනට අපි දකින දරුණුම සිවිල් යුද්ධය ඉතිරි කළ මේ ‘අරාබි වසන්තය’ ආරම්භ විය. ඉරානයට පක්ෂපාතී සිරියානු පාලනය බිඳදැමීමට සුන්නි මුස්ලිම් රටවල සහයෙන් ඇමෙරිකාව විසින් කුමන්ත්‍රණය දියත් කරන ලදී. තුර්කිය, සෞදි අරාබිය, එමීර් රාජ්‍යය, කටාර් යන රටවලින් බසාර් ගේ සුළුතර ෂියා පාලනය පෙරළා දැමීම වෙනුවෙන් ඩොලර් ටි්‍රලියන ගණනක් ත්‍රස්ත නායක අබු බකර් අල් බග්දාදි අතට පත් විය. එවිට තම සංවිධානයේ නම ‘අල් කයිඩා – ඉරාක්’ සිට ‘නිදහස් සිරියානු හමුදාව’ (Free Syria Army) ලෙස ඇමෙරිකා නැටෝ වුවමනාව පරිදි මාරු කරන ලදී.එතෙක් ඉරාකයට පමණක් සීමා වූ අයි. එස්. අයි. එස්. ත්‍රස්ත කල්ලිය සමඟ සම්මුතියකට එළඹීමෙන් පසුව නැවත මෙම කුප්‍රකට ත්‍රස්ත කල්ලියේ නම ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය’ හෙවත් Islamic State of Iraq & Syria (ISIS) ලෙස වෙනස් කළේය. විනාඩි 33ක් ගුවන්විදුලි සහ අන්තර්ජාල සජීව විකාශයන් හරහා කලාපීය ජනතාව ඇමතූ අයි. එස්. අයි. එස්. නායක අබු බකර් අල් බග්දාදි, ‘ඉස්ලාම් කලීෆාවේ’ සිහිනය වෙත ගමන් ආරම්භ කළ බවත්, එයට කලාපයේ මෙන්ම ලොව පුරා පිහිටි ඉස්ලාමීය සටන්කරුවන්ට ආරාධනා කරන බවත් ප්‍රකාශ කළේය. සිරියාවේ අල් කයිඩාවට, සහ නිදහස් සිරියා හමුදාවට අනුබද්ධිතව සිටි පුද්ගල සටන්කරුවන් සහ කුඩා ප්‍රාදේශික සංවිධාන බුරුතු පිටින් තමන් පෙර නියෝජනය කළ සංවිධාන අතහැර ඉස්ලාමීය රාජ්‍යය සඳහා සටන් වැදීමට අයි. එස්. අයි. එස්. සමඟ එක්විය. ඒ සමගම අල්කයිඩා සංවිධානය ක්‍රමයෙන් පිරිහීමට පත් විය. ලොව ධනවත්ම ත්‍රස්ත සංවිධානය බවට පත් වන්නේද අයි. එස්. අයි. එස්. ය.අබු බකර් අල් බග්දාදි, තමන්ගේ ත්‍රස්ත ජාලය නව මාවතකට පෙරළමින්, සිරියාවේ සටන් වදින 35,000කට අධික ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන් අමතා 2014 ජූනි මස 29 වැනිදා ‘කැලිෆෙටයක්’ නොහොත් ඉස්ලාමීය කාලිෆාවක් (අධිරාජ්‍යයක්) සඳහා කලාපය මුදාගැනීමේ සටනට පිවිසෙන මෙන් ඉල්ලා සිටියේය. ඉන් පසුව තමාවම එහි ‘කාලිෆ්වරයා’ හෙවත් ‘කාලිෆා රසුල්’ (දේව පණිවිඩකරුවාගේ අනුප්‍රාප්තිකයා) ලෙස නම් කරගත්තේය. අන්ධ භක්තික සහචරයන් විසින් මෙම අමානුෂික ත්‍රස්ත කල්ලි නායකයා හඳුන්වනු ලැබුවේ ‘කාලිෆා ඉබ්‍රාහිම්’ ලෙසය. කෙසේ නමුත්, ක්‍රමානුකූලව සිදුවූයේ මෙම ත්‍රස්ත ව්‍යපාරය එක්සත් ජනපද අවනතභාවයෙන් ගිලිහෙන්නට විය. පසුව රටවල් ගණනාවක හමුදාවන් හා කළ සටන්වලින් පසුව අබු බකර් අල් බග්දාදි ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සදාකාලික ආබාධිතයකු බවට පත් විය. ඔහු මිය ගිය බවද විවිධ මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ මොහොත වන විට ඉරාකයේ හා සිරියාවේ ඔවුන් අත්පත් කරගෙන තිබු විශාල ප්‍රදේශයක් යළි මුදාගැනීමට එම රටවල් සමත් විය. එහිදී රුසියානු ජනාධිපති පුටින්ගේ මෙහෙයවීමෙන් සිදු කළ රුසියානු හමුදා ප්‍රහාර තීරණාත්මක විය. එම ප්‍රදේශවලින් දැවැන්ත පරාජයක් ලැබීමට අයි.එස්.අයි.එස්. සටන්කරුවන්ට සිදුවිය. අබු බකර් අල් බග්දාදිගෙන් පසුව අනුප්‍රාප්තිකයන් ලෙස අබු අබ්දුල්ලා කාදර්, අබු මුහම්මද්, අබු ලුවේ, අබු සලාහ්, අබු හජාර් අල් අසාෆි, අබු කාසිම්, අබු අබ්දුල් රහ්මාන් අල් බිලාවි පත් වුවද, ඊනියා ශුද්ධ වූ යුද්ධයේදී ඔවුන් සියලු දෙනා මරු තුරුලට යැවීමට ප්‍රතිවිරුද්ධ හමුදා සමත් විය. මේ වන විට එහි අවසන් නායකයා බවට වාර්තා වන්නේ 30 හැවිරිදි ෂකිර් වහිබ් අල් ෆාදාවි අල් දුලයිමි හෙවත් අබු වහිබ් නම් ත්‍රස්තයාය.අයි. එස්. අයි. එස්. ත්‍රස්ත කළලය බිහි වූයේ ඇමෙරිකානු ගර්භාෂය තුළය. කිරි පොවා ඇතිදැඩි කරමින්, තම පවිටු චේතනාවන් ඉෂ්ට කරගැනීමට බළල් අතක් සේ ඔවුන් මානන ලදී. සත්‍ය වශයෙන්ම තෙල් වෙනුවෙන් ලේ ඉල්ලන සටනේ පෙරගමන්කරුවකු බවට අයි. එස්. අයි. එස්. ත්‍රස්තයන් ඇමෙරිකානු බලාධිකාරිය විසින් මෙහෙයවනු ලැබීය. ලෝක තෙල් මිලේ මිල උච්චාවචනය තීන්දු කරනු ලබන්නේ ඇමෙරිකාව, සෞදි අරාබිය හා ඊශ්‍රායෙලයයි. මෙමඟින් ලෝක බොරතෙල් නිෂ්පාදනයේ පතාක යෝධයන් වන රුසියාවට, වෙනිසියුලාවට සහ ඉරානයට මාරු පහරක් වැදිණි. එයට විකල්ප ලෙස කටාරයේ සිට යුරෝපය දක්වා නළ මාර්ගයක් යොදා තෙල් ප්‍රවාහනයට රුසියාව සුදානම් විය. එයට සමගාමීව ඇමෙරිකාව විසින් සෞදිය හරහා යුරෝපයට තෙල් නළයක් එළීමට සුදානම් විය. දෙපාර්ශ්වය තෙල් නළ කුමන ප්‍රදේශයෙන් රැගෙන ආවද, සිරියාව මධ්‍යයෙන් එය යුරෝපය වෙත ළඟා විය යුතුව තිබිණි. එහෙත්, ඇමෙරිකානු සැලසුම උඩුයටිකුරු කරමින් සිරියානු නායකයා බෂාර් අල් අසාද් විසින් තෙල් නළය එළීමට අවසර දෙනු ලැබුවේ පුටින්ටය. සිරියානු ම්ලේච්ඡ යුද්ධයේ ආරම්භය මෙන්ම අමානුෂික ත්‍රස්ත කල්ලිය වන අයි. එස්. අයි. එස්. හි පුනරාගමනය සිදු වන්නේ එතැන් සිටය. අද එම ත්‍රස්ත කල්ලිය බලය අහිමිව අරාබිකරයෙන් ආසන්න රටවල් සමීපයට පැමිණෙමින් ඇත. ශ්‍රී ලංකාවෙන් 35 දෙනකුට ආසන්න ප්‍රමාණයක් මෙම ත්‍රස්ත කල්ලියෙන් පුහුණුව ලබා නැවත ලංකාවට පැමිණ ඇති බව මීට වසරකට පෙර මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය කිසිසේත්ම නවසීලන්ත සිදුවීමට ලඝු කොට කිසිවකුට අත පිසදා ගත නොහැකිය. මෙය දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයකි. ඇමෙරිකානු නව යටත්විජිතවාදය හා අයි. එස්. අයි. එස්. ත්‍රස්ත කල්ලිය අතර ඇත්තේ ලොවට වසන් වූ පෙම් පුවතකි. මතුපිටින් පෙණය. නමුත්, යටින් වේගයෙන් ගලා යන දිය පහරකි. ශ්‍රී ලංකාව යනු එක් පැත්තකින් වේගයෙන් චීන කොලනියක් බවට පත් වෙමින් තිබෙන කුඩා දිවයිනකි. භූමියෙන් කුඩා වුවද, ලෝක දේශපාලනයේ මෙන්ම සංග්‍රාමිකවද වටිනාකමක් ඇති ලොව විශේෂ කලාපයක පිහිටා ඇති බිමකි. මෙය අත්පත් කරගැනීමට ලෝක බලවතුන් අතර දීර්ඝ කඹ ඇදිල්ලක් තිබිණි. චීනයේ ධනයට ලොව අවනත වන විට ලංකාව ක්‍රමයෙන් චීන උගුලේ පැටලී ගියේය. එය නැවත වටයකින් ඉන්දියාවට, ඇමෙරිකාවට අත්පත් කර ගැනීමට නම් උපාය උපක්‍රම යෙදිය යුතුය.දීර්ඝ යුද්ධයක් තුළ මේ රටට පය නොතැබූ ඇමෙරිකානු බුද්ධි අංශ එෆ්.බී.අයි. භටයෝ, විශේෂ හමුදා භටයෝ මේ රටට ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයත් සමඟ ක්ෂණිකව ගොඩවූහ. ජයික් හිල්ටන් හෝටලයේ (Jaic Hilton Hotel) ලැගුම්ගෙන සිටින ඇමෙරිකානු චරපුරුෂයන් අතේ බෝම්බ නිෂ්ක්‍රීය යන්ත්‍ර පවා තිබුණු බව පසුගිය දිනක එම හෝටලය පරීක්ෂාවට ගිය ආරක්ෂක අංශවලට හෙළි විය. කිසිදු ත්‍රස්ත ප්‍රහාරයකට එම හෝටලය ඉලක්ක නොවීය. මේ පසුබිම ගොඩනැඟීමට බොදු බල සේනාවද තමන්ගේ නෝර්වේ, ප්‍රංශ හා ඇමෙරිකානු සංචාරවලදී මනා පුහුණුවක් ලැබීය. ඒ පිළිබඳව දිලන්ත විතානගේ ලා බොහෝ දේ සමාජයෙන් වසා දැමූහ. මේ දිස් වන්නේ සියල්ලන් විසින් නිෂ්පාදනය කළ නාට්‍යයේ ජවනිකාය. මේ සියලු සිදුවීම් සිදු වන්නට පෙර සී-2 ඒ ග්‍රේහවුන්ඞ් (C-2A Greyhound) යුද්ධෝපකරණ ප්‍රවාහන කාගෝ ගුවන් යානය මේ වසරේ ජනවාරි 24 වැනිදා මෙරටට ගොඩබැස්සේය. එහි රැගෙන ආ කිසිවක් පරික්ෂා කිරීමට නොහැකි වූයේ පසුගිය පාලනය තුළ ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු මිලිටරි ප්‍රධානීන් අත්සන් කළ ගිවිසුමකට අනුවය. මේ සිදුවන්නේ මතුපිටින් පෙනෙන සිවිය නොවේ. රටවැසියන් දැන් අවධානයෙන් සිටින්න. ප්‍රහාරය පිළිබඳව රනිල්, සිරිසේන, මහින්ද ඇතුළු මේ රටේ ඉහළ ඇවරිය දැනසිටියද මුනිවත රැක්කේය. ගෝඨාභය රාජපක්ෂ මෙරට අයි. එස්. අයි. එස්. නියෝජිතයා වන තවුහීද් ජමාත් ත්‍රස්ත කල්ලිය පෝෂණය කළ බවට අසාද් සාලි ප්‍රසිද්ධියේ චෝදනා කළේය. විමල් වීරවංශ වැනි තක්කඩියන් විසින් එය ශුද්ධ කරනු ලැබුවේ ඔවුන් බුද්ධි අංශ නිලධාරීන් ලෙසය. අප ඉදිරියේ විද්‍යමාන වූයේ ජඩ දේශපාලනයේ තවත් එක ජවනිකාවක් පමණි. මේ රට ත්‍රාඩ දේශපාළුවන්ගෙන් මුදා ගන්නා තුරු සත්‍යය වෙනුවෙන් මා පෙනී සිටිමි. ඔබට තව දුරටත් තිත්ත වූ ඇත්ත ගෙන එන්නෙමි. අපට බෙදී වෙන් වී පටු දේශපාලන නරා වළේ වැටී මියෙන්නට අවැසි නැත. සිදුවීම් පිටුපස ඇති භයානක කුමන්ත්‍රණය හඳුනාගන්න. මේ පාදඩ දේශපාළුවන් නිරන්තරයෙන් සැකයට ලක් කරන්න. මේ රටේ දේශපාලනඥයන් යනු සදා ලෝකපූජිත ඩීල්කරුවන්ය.

චූලක බණ්ඩාරවත්ත