Fri. Jul 5th, 2024
Spread the News

ආණ්‌ඩුව කරන්නේ නටපු නැටුමයි
බෙරේ පළුවයි දෙකම නැති වැඩ
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති
ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

සාකච්ඡා කළේ – දයා ලංකාපුර

ආණ්‌ඩුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා මහජනතාවගෙන් අදහස්‌ විමසීම මනමාලි පෙන්වන්නේ නැතුව විවාහ මංගල්‍ය සඳහා කැමැත්ත අහනවා වගේ වැඩක්‌ බවත්, ව්‍යවස්‌ථාව පිළිබඳව ප්‍රථමයෙන් ආණ්‌ඩුව ව්‍යවස්‌ථා රාමුවක්‌ ජනතාවට ඉදිරිපත් කළ යුතුව ඇති බවත්, ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘දිවයින ‘ සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ඔබ සභාපති ධුරය දරන කෝප් කමිටුවේ කටයුතු කොහොමද?

වැඩ කටයුතු ආරම්භ කරල තියෙන්නෙ. ඉතාම සාර්ථකයි. දැනට ආයතන කිහිපයක්‌ අපි කැඳෙව්වා. විගණකාධිපති දෙපාර්තමේන්තුවෙනුත් පාර්ලිමේන්තුවේ සීමිත කාර්ය මණ්‌ඩලයෙනුත් අපට විශාල සහයෝගයක්‌ ලැබෙනවා. ඒ වගේම කමිටුවේ සාමාජිකයන් වන ආණ්‌ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් මන්ත්‍රීවරු ඉතාමත් උෙද්‍යාaගයෙන් එහි කටයුතුවලට සහභාගි වෙනවා. අපි දැනට ආ ගමන හැටියට ලංකා විදුලිබල මණ්‌ඩලය, ලංකා බැංකුව, ජයවර්ධනපුර රෝහල, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, යන ආයතන කැඳවලා තිබෙනවා. පසුගිය කාලයේ අපට කරගන්න බැරි දෙයකට තිබූ රජයේ අයිතිය 50% ට වැඩි පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචිකොට ඇති සමාගම් කෝප් කමිටුව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළා. ලංකා විදුලිබල මණ්‌ඩලය යටතේ එවැනි සමාගම් 23 ක්‌ තිබෙනවා. එල්. ටී. එල්. හෝල්ඩිංස්‌ සමූහයට අයත් ලංකා ට්‍රාන්ස්‌ෙµdaමර්ස්‌ සමාගම යටතේ සමාගම් 15 ක්‌ තිබෙනවා. මේ සමාගම් අදාළ ඇමැතිවරයාටවත් පාර්ලිමේන්තුවටත් වගකියන්න බැඳීමක්‌ තිබුණේ නැහැ. නමුත් අපි සාකච්ඡා කිරීමෙන් පසු එල්. ටී. එල්. හෝaල්ඩිංග්ස්‌ කෝප් කමිටුව හමුවට ආවා. මේක එක අතකින් පාර්ලිමේන්තුව ලැබූ ජයග්‍රහණයක්‌. තවත් මේ වගේ සමාගම් තිබෙනවා. රක්‌නාලංකා සමාගම, ඇවන්ගාඩ් සමාගම සමඟ ඉතාම අවාසිදායක කොන්දේසි යටතේ ගිවිසුම් ඇතිකරගෙන තිබුණා. ඒ ගිවිසුම් සියල්ල දැන් අපි පාර්ලිමේන්තුව භාරයට අරන් තියෙනවා. ඒ ගිවිසුම්වල නීත්‍යනුකූල භාවය පරීක්‍ෂා කරගෙන යනවා.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුව පරීක්‍ෂණ කළේ නැද්ද?

පෙබරවාරි 25 දා අපි මහ බැංකුවේ ප්‍රධානීන් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. බැඳුම්කර වංචාව, බැඳුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාරික කාරක සභාවේ (කෝප් කමිටුවේ) අනුකාරක සභාවක්‌ විසින් සිදුකළ පරීක්‍ෂණයක වාර්තාවක්‌ තියෙනවා. එය ඉදිරියට ගෙන යැම පිළිබඳ කාරක සභාව තීරණයක්‌ ගනීවි.

කලෙකට පෙර කෝප් කමිටුවේ කටයුතු පහසු කිරීම සඳහා උපදේශකවරයකු ඇතුළු කාර්යමණ්‌ඩලයක්‌ සිටියා. නමුත් පසුගිය ආණ්‌ඩුව විසින් ඒ උපදේශකවරයා ඉවත්කොට කාර්ය මණ්‌ඩලයද අඩුකළා. මේ නිසා කෝප් කමිටුවේ කටයුතුවලට බාධා එල්ලවුණා. තාමත් ඒ තත්ත්වය තිබෙනවාද?

අපට කාර්ය මණ්‌ඩලයට තවත් අය අවශ්‍යයි. මොකද අපිට ඕන යම් යම් ආයතනවලට ගොස්‌ ඒ මොහොතේම පරීක්‍ෂණ පැවැත්වීමට. අපට දැනට එහෙම කණ්‌ඩායමක්‌ නැහැ. දැන් අපට සිදුවෙලා තිබෙන්නේ විගණකාධිපති වරයාගෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ලැබෙන වාර්තා අනුව පරීක්‍ෂණ සිදුකිරීමටයි.

ඒ කටයුතු කිරීමට අප දැන් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්‌ථාවර නියෝග සංශෝධනය කර ගැනීමටත් අවශ්‍යයි. මන්ද දැනට යම් ආයතනයක්‌ පිළිබඳ කෝප් කමිටුව විසින් පරීක්‍ෂණ පැවැත්වීමේදී අදාළ නිලධාරීන් පමණයි. නමුත් ඒ පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන වෘත්තීය සමිති නියෝජිතයන්ට සහ මහජනයාටත් එහිදී අදහස්‌ දැක්‌වීමට ඉඩදිය යුතුයි. ඒත් දැන් තිබෙන ස්‌ථාවර නියෝග අනුව එහෙම කරන්න බැහැ. ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග වෙනස්‌ කිරීම ගැන මා කථානායකතුමා සමඟ සාකච්ඡා කොට තිබෙනවා. ඒ වගේම කෝප් කමිටුවට විශේෂඥ මණ්‌ඩලයක්‌ පත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. හිටපු විගණකාධිපතිවරුන් වන සරත් මායාදුන්නේ, පී.ඒ. ප්‍රේමතිලක හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන යන මහත්වරු ඒ සඳහා පත් කිරීමට යෝජනා කොට තිබෙනවා.

කෝප් කමිටුව විසින් පරීක්‍ෂණ පැවැත්වීමේදී යම්යම් ආයතනවල වංචා දූෂණ පිළිබඳව හෙළිවූවිට ඒවා පිළිබඳ පරීක්‍ෂණ සිදුකිරීම සඳහා එµa. සී. අයි. ඩී.එක, අල්ලස්‌ කොමිසම බරපතළ වංචා විමර්ශන කොමිසම වගේ ආයතනවලට භාර දෙන්න බැරිද?

මෙහෙමයි. අපට පාර්ලිමේන්තුවට සම්බන්ධකම් ඇති අනිකුත් ආයතන සමඟ කටයුතු කරන්න පුළුවන් වේවි. දැනට අපි අපේ විමර්ශන කටයුතු යොමු කරල තිබෙන්නේ නීතිපතිතුමාට සහ අමාත්‍යාංශ ලේකම්තුමාට. අපට සෘජුව ඒ ආයතනවලට ඉදිරිපත් කිරීමේ හැකියාවක්‌ නැහැ. අපට තියෙන්නේ ඒවා අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ඇමැතිවරයාට යොමු කිරීමයි. ඒ අනුව ඇත්තටම අමාත්‍ය මණ්‌ඩලය තමයි ඒ තීරණය ගත යුත්තේ. අමාත්‍ය මණ්‌ඩලය එවැනි තීරණ නොගන්නේ නම් ඊට පස්‌සෙ අපට පුළුවන් වේවි නැවතත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡාකොට තීරණයක්‌ ගන්න.

පසුගිය දිනවල විශාල උද්ඝෝෂණයක්‌ ඇතිවුණා. එµa. සී. අයි. ඩී. එක විසුරුවා හැරිය යුතුයි කියලා. මේ හඬ ආවේ යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමත් සමඟයි. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?

අබ කෑ මිනිහගෙ නහය දනවනේ. වැරදි කරපු අය අල්ලන විට වැරදි කරන අය බයවෙනවා. වරදකට අත්අඩංගුවට ගත්විට එය පළිගැනීමක්‌ය කියා කියනවානම් මා හිතන්නෙ නෑ කවදාවත් වැරදි කරපු අය අල්ලන්න පුළුවන් වේවි කියලා. මොකද එතකොට වැරදි කරන්න ඉන්න අයත් ආරක්‌ෂා වෙනවා. එµa. සී. අයි. ඩී. එකක්‌ ඕනෑ වෙලා තියෙන්නේ ඉදිරියේදී වැරදි කරන අයටත් එක්‌කයි. මොකද හැම ජනාධිපතිවරයෙකුගෙම පුතෙක්‌, හැම ඇමැතිවරයෙකුගෙම පුතෙක්‌ ඔතනට ගනිහින් නැහැනේ. මේවා කව්රුත් දන්න රහස්‌නේ. කවුරුත් දන්න රහස්‌ හෙළිවනවිට හැම දෙනාම කලබල විය යුතු නැහැ. කඳුළුවලින් රටේ නීතිය යටපත් කරන්නත් බෑ.

ජනතා විමුක්‌ති පෙරමුණේ ගොවි සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහත්තයා පී. හැරිසන් ඇමැතිතුමාට විරුද්ධව වී අලෙවි මණ්‌ඩලයේ වී පෞද්ගලික වී මෝල් හිමියන් කිප දෙනෙකුට අඩු මිලට විකුණා ඇති බවට චෝදනා කරමින් ඒගැන පැමිණිලි කරන බව කියා තිබුණා.

ඒ ගැන දැනටමත් පැමිණිලි කරලා තිබෙනවා. ඒ ගැන විභාග නොකොළොත් අපි පාරට බහිනවා. අපි අඬ අඬ ඉන්නෙ නෑ. අපි කෙඳිරි ගාන්නේ නෑ කොතනකවත්. විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරිපත් කරල තියෙන සියලු පැමිණිලි පිළිබඳව අප ඒ ආණ්‌ඩුවද මේ ආණ්‌ඩුවද කියල ප්‍රශ්නයක්‌ නෑ. අපිට කොයි ආණ්‌ඩුවත් එකයි. අපි ඉදිරිපත් කරල තියෙන චෝදනා ගැන පරීක්‍ෂණ නැත්නම් අපි මහජනතාවත් එක්‌ක පාරට බහිනවා.

මෙවර ආණ්‌ඩුවේ අයවැය පාර්ලිමේන්තුවෙන් ඇත්තටම සම්මත වෙලාද? මොකද අයවැයේ බදු සංශෝධන පිළිබඳ ගැසට්‌ පත්‍රය තාම නිකුත් කරල නෑ. අයෑවැයෙන් වැඩිකළ ජාතිය ගොඩනැඟීමේ බද්ද හා වැට්‌ බද්ද අය කිරීම මුදල් අමාත්‍යාංශයෙන් අත්හිටුවා තිබෙනවා. ඒවා පාර්ලිමේන්තුවෙන් සම්මත වනතුරු මේ නිසා බදු අයකරගත නොහැකිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අර්බුදයක ඉන්නවා. මොකක්‌ද මේකෙ තත්ත්වය?

පසුගිය අයවැය වගේ විකාර අයවැයක්‌ ඉතිහාසයේ කවරදාකවත් ඉදිරිපත් වෙලා නැහැ. ඒක නිසා රටේ අර්බුද ගොඩක්‌ මතුවුණා. අයවැය කාල සීමාව තුළත් විවිධ සංශෝධන කළා. ඊට පස්‌සෙ දැන් තිබෙන ගැටලුව තමයි ආණ්‌ඩුව අයවැයෙන් ඉදිරිපත් කරපු සමහර සංශෝධන අයවැය ඉදිරිපත් කළදා මධ්‍යම රාත්‍රියෙ සිටම ක්‍රියාත්මක වුණා. සමහර ඒවා ආණ්‌ඩුව අතරමගදී අකුල ගත්තා. සාමාන්‍ය තත්ත්වය තමයි අයවැයෙන් පස්‌සෙ ඒ අයවැයෙන් පනවන බදු පිළිබඳව ගැසට්‌ නිවේදනය හා ඒ බදුවලින් පැනනඟින සංශෝධන පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න ඕන. ඒක තවම වෙලා නෑ. මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය ඇත්තටම තියෙන්නෙ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු මත පමණයි පාර්ලිමේන්තුව තියෙන්නෙ ගහගන්නයි, බැණගන්නයි විතරයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාවට දැන් මොකද වෙලා තියෙන්නේ. ඒකත් දින නියමයක්‌ නොමැතිව කල්දාලද?

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මේ දවස්‌වල රටේ ජනතාවනේ හදන්නෙ. ඒකට කමිටවුක්‌ පත්කරල තියෙනවා මහජන අදහස්‌ විමසීමට. යෝජනාවක්‌ නැතිව අදහස්‌ විමසීම මහ විකාරයක්‌නේ. මේක හරියට මනමාලි නැතිව කසාදෙට කැමැත්ත අහනවා වගේ වැඩක්‌නේ. මගෙන් කැමැත්ත අහනවා මෙම නොදැක්‌ක, නොදැකපු මනමාලියෙකුට. ඒවගේ තමයි ආණ්‌ඩුව මේ ව්‍යවස්‌ථාවට ජනතාවගෙන් අදහස්‌ විමසන්නේ. ගමේ ඉන්න සිරිපාලද, සුබ්‍රමනියම්ද, තංගමනිද, ගුණපාලද දෙන අදහස්‌වලින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදන්න බැහැනේ. ප්‍රධාන වශයෙන් ඒකෙ මූලික රාමුව බලයේ ඉන්න ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරන්න ඕනෙ. ජනතා විමුක්‌ති පෙරමුණට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදන්න බැහැනේ.

අගමැතිතුමා කියනවා අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නව මැතිවරණ ක්‍රමයක්‌ ඇති කළ යුතුයි කියලා. ජනාධිපතිතුමා කියනවා ඒක දැනට තිබෙන ව්‍යවස්‌ථාවට සංශෝධන ගෙනැවිත් කරන්න පුළුවන් කියලා. මේ මත ගැටුම නිසා නේද ව්‍යවස්‌ථා යෝජනාව කල් යන්නේ?

ඒක තමයි එහෙනම් මේ අදහස්‌ විමසන්න සල්ලි වියදම් කරන්නෙ මොකටද? මේවාට යන වියදම් ගැන සොයන්න වෙනම කොමිසමක්‌ දාන්න වෙයි. ඔය වගේ අදහස්‌ විමසීම්, කොමිෂන් සභා පත්කිරීම කොච්චර දාල තියෙනවාද? කෝ තිස්‌ස විතාරණ කමිටුවේ වාර්තාවට මොකද වුණේ? සර්ව පාක්‌ෂික කමිටු කීයක්‌ කැඳවල තියනවාද? මේ වර්තමාන ජනාධිපතිතුමාත් සර්වපාක්‌ෂික කමිටුවක්‌ කැඳෙව්වානේ මානව හිමිකම් ගැන ව්‍යවස්‌ථා සංශෝධන ගැන කතා කරන්න. කෝ ඒකෙ ප්‍රතිඵල. මේව ඇවිල්ල ඒ මොහොතෙ කරන මෝස්‌තර වැඩ.

මේ ආණ්‌ඩුව පත්වෙලා දැන් මාස 7 ක්‌ පමණ වෙනවා. මේ කාලය තුළ කිසිදු වැදගත් පනතක්‌ සම්මත වුණේ නැහැනේ.?

නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ” වගේ තමයි මේ ආණ්‌ඩුවේ වැඩ. මිනිස්‌සුන්ට මොකුත් වෙන්නෙ නෑ. ආණ්‌ඩුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලරයකින් වැඩිවුණා නම් ඒ වැඩිවුණු සැණෙකින් මෙහේ තෙල් මිල වැඩිකරනවා රුපියල් 10 කින් විතර. එතකොට ඒ තෙල් ඕඩර් කරන්නත් කලින් ආණ්‌ඩුව මිල වැඩිකරනවා. කොම්පියුටරෙන් බලලා. ඕකනේ සාමාන්‍යයෙන් කරන්නෙ. මේ වෙනකොට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉතාම පහළ මට්‌ටමට වැටිලා තියෙනවා. එතකොට අපි අහන්නෙ තෙල් මිල ඩොලර් බිංදුවට වැටුණහමද ලෝක වෙළෙඳපොළේ තෙල් නොමිලේ දෙන්න පටන් ගත්තහමද ආණ්‌ඩුව තෙල් මිල අඩු කරන්නේ