Mon. Jul 8th, 2024
Spread the News



මගේ උගත් මිත්‍ර මහත්මයාණෙනි!

ඔයාට උගත්කම තිබෙනවා. ඒ ගැන විවාදයක් නෑ. නමුත් බුද්ධිය පිළිබඳ ගැටළු සහගත තැන් තිබෙන බව පෙනෙනවා. දැනුම කළමනාකරණය කර ගැනීමට බුද්ධිය අපොහොසත් වීම මීට ප්‍රධානම හේතුවයි.

සමහරු යුග දෙකක් අතර අතරමං වෙනවා. තවත් සමහරුන් න්‍යායන් අතර අතර මං වෙනවා. හොඳටම අසරණ මිනිසුන් අඳුරේ අතපත ගාමින් යමක් සොයනවා. අන්තිමට සඳහන් කළ පිරිස සතු එකම ධනාත්මක වටිනාකම අඳුරේ හෝ යමක් සෙවීමට පෙළඹීමයි.

ඔබ සිටින්නේ කොතැනදැයි මම නොකියමි. මා විසින් යෝජනා කරන කණ්ඩායම් අතර ඔබ සිටින්නේ කොතැනදැයි ඔබම විමසා බලන්න.

ඔබ කැමති නම් ඔබට ආගම් දෙකක් අතර අතරමං විය හැකියි. එහෙත් ඔබට දහම් දෙකක් අතරට මැදි විය නොහැකියි.

බුදු දහමයි කිතු දහම යන සංකල්ප දෙක මම පිළිගනිමි.
එහෙත් යමෙකුට නිර්වාණය හා ස්වර්ගය අතර මැද තැනක රැඳෙනු නොහැකියි.

ජේසුතුමන් දෙවි කෙනෙක් ලෙස සලකන ඔබට බුදුන්ට සමීප වීම දුෂ්කර විය හැකියි.

එහෙත් ජේසුතුමන් බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස පිළිගන්නා මා හට දෙදෙනෙක් අතර මැදිවීමේ ප්‍රශ්නයක් පැන නගින්නේ නැත.

ජේසුතුමන්ගේ කන්ද උඩ දේශනාව තුළින් එතුමා ළංවන්නේ රෝමවරුන්ගේ නිෂ්පාදනයක් වන ක්‍රිස්තියානි ලෝකයට නොව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලටය.
මේක ප්‍රථමයෙන්ම කීවේ කවුරුන් ද යන ප්‍රශ්නය පැන නොනගින්නේ ජේසුතුමන් ලොවට බිහි වෙන්න වසර පන්සියයකට එහා යුගයකදී බුදුන් වහන්සේ ලොවට බිහි වුණු නිසයි.

කාල්මාක්ස් ලෝක ඉතිහාසය, නිෂ්පාදන ක්‍රියාවලිය හා ශ්‍රමය පිළිබඳව තමන් නොදන්නා දේවල් මොනවා ද යන්න නිහතමානිව පිළිගන්න පැකිලුනේ නැහැ.

ජේසුස් වහන්සේත් තමන් සොයන දෙය ජෙරුසලමෙන් සොයා ගැනීමට නොහැකි වුන නිසා එය පෙර දිග දාර්ශනික සන්දර්භය තුළින් අවබෝධ කරගත්තා.

තමන් නොදන්නා දෙයක් පිළිගැනීමට මිනිසුන් බිය විය යුතු නැහැ. බියවිය යුත්තේ නොදන්නා දේ සත්‍යය ලෙසින් ප්‍රකාශ කරන්නට යෑම පිළිබඳවයි.

ලෝක දෙකක් අතර අතරමං වෙන බොහෝ දෙනෙක් තෝරාගන්නේ සත්‍ය වෙනුවට බොරුවයි.

ශ්‍රී ලංකාවේ ඊනියා නිදහසෙන් පසු දෙලොවක් අතර අතරමං වුණු පාලකයින්ට අයත් වුනේ ඔය ඉරණමමයි.

ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාවගේ හෙට දින විමුක්තිය නිර්වාණය හා ස්වර්ගය එකට ගැළපීම තුළින් සිදු කළ හැකි යැයි සිතන අමන පිරිසකට රටේ පාලන බලය හිමි වුවහොත් අප නතර වන්නේ ගල් යුගයේ යයි යමෙක් අනුමාන කිරීම බොහෝ දුරට සාධාරණ යයි මට සිතේ.

– Edward –
04.01.2023

Picture Courtesy by Picturequotes.com